ශ්‍රී ලංකා අන්නාසි සඳහා පකිස්ථාන වෙළෙඳපොළ විවෘත වෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි පකිස්ථාන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා අවශ්‍ය වූ තාක්ෂණික හා ශාක නිරෝධායන (Phytosanitary) අවශ්‍යතා සම්පූර්ණ කිරීමත් සමඟ දෙරට අතර කෘෂිකාර්මික වෙළෙඳාම ශක්තිමත් කිරීමේ වැදගත් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබේ.

වසර ගණනාවක් පුරා පැවති තාක්ෂණික සාකච්ඡා සහ නියාමන කටයුතු සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය නැවුම් අන්නාසි ආනයනය සඳහා අදාළ ශාක නිරෝධායන ආනයන කොන්දේසි අවසන් කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා අන්නාසි පකිස්ථාන වෙළෙඳපොළට ඇතුළු වීමට මාර්ගය විවෘත වී ඇත.

මෙම වැඩසටහන කරච්චිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය, පකිස්ථාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානය (NPPO), ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ඉස්ලාමාබාද් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඇතුළු ආයතන රැසක් සමීප සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලදි.

මෑතකදී පකිස්ථාන ව්‍යාපාරික දූත පිරිසක් මෙරට සංචාරයක නිරත වූ අවස්ථාවේදී, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ශ්‍රි ලංකා අන්නාසි, අලිගැටපේර සහ තැඹිලි සඳහා පකිස්ථාන වෙළෙඳපොළ ප්‍රවේශය කඩිනම් කරන ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබා දෙන ලදි. එහිදී ප්‍රමුඛත්වය අන්නාසි සඳහා ලබා දී ඇති අතර අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහාද සාකච්ඡා ඉදිරියට ගෙනයනු ඇත.

වෙළෙඳපොළ ප්‍රවේශ ක්‍රියාවලියේ කොටසක් ලෙස 2026 ජූලි මාසයේදී පකිස්ථාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානයේ තාක්ෂණික නිලධාරියෙකු මෙරට අන්නාසි වගා ප්‍රදේශ සහ ශාක නිරෝධායන පද්ධති පරීක්ෂා කළ අතර එම පරීක්ෂණය සාර්ථකව අවසන් වීමෙන් පසු අපනයන පහසුකම් සලසන ශාක සෞඛ්‍ය අවශ්‍යතා අවසන් කරන ලදී.

මෙම ක්‍රියාවලිය සඳහා පකිස්ථාන පලතුරු සහ එළවලු අපනයනකරුවන්, ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමය (PFVA) සහ කොළඹ පිහිටි පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයද වටිනා සහයෝගයක් ලබා දෙන දී තිබේ.

පකිස්ථාන පලතුරු සහ එළවලු අපනයනකරුවන්, ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති Aslam Pakhali මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, ලංකාව සිය අන්නාසි පාකිස්තානයට අපනයනය කිරීමට වෙළඳපොළ ප්‍රවේශය ලැබී තිබීම පිළිබඳව සතුට පළ කළ අතර පාකිස්තානයේ මිලියන 250 ක පමණ ජනගහනයක් සිටින බැවින් එය ශ්‍රී ලංකාවේ අන්නාසි ගොවීන්ට සහ අපනයනකරුවන්ට විශාල වාසියක් වන බවද සඳහන් කළේය.

උසස් තත්වයේ නිවර්තන කලාපීය පලතුරු සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් පකිස්ථානය, ශ්‍රී ලංකා අන්නාසි සඳහා විශාල විභවයක් සහිත වෙළෙඳපොළක් ලෙස සැලකෙන අතර, නුදුරු අනාගතයේදී වාණිජ අපනයන ආරම්භ වීමෙන් මෙරට ගොවීන්ට, අපනයනකරුවන්ට සහ වෙළෙඳුන්ට නව අවස්ථා රැසක් උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ජයග්‍රහණය දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතවය සහ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් සංධිස්ථානයක් වන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමටද දායක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...