සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 08,(LNW) කොළඹ :
ඔලිම්පික් කියන්නෙ සිහිනයක්.ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනා තුළ ඔලිම්පික් හා බැදුණු සිහින තියෙනවා.සමහර වෙලාවට හොඳ ක්‍රීඩා සංස්කෘතියක් නැති රටකනම් ඒ සිහින වෙනුවෙන් මහන්සි වෙන කැපවෙන අයට ඒවා සැබෑ කරගන්න බැරි වෙනවා.
මේ ඔලිම්පික් තරග කිරිම ක්‍රීඩකයෙක්ට හෝ ක්රීඩිකාවක්ටනම් ජීවිතේ මහා වාසනාවක්.සැබෑ කරගන්න දරණ ලොකුම හීනය ජය ගැනීමක්.ඒ නිසා මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් එන්නෙ දිනන්නම නෙමෙයි.ඒ පොළවෙ හිටගන්න ලැබෙන එකත් ආශ්චර්යයක්.තමන්ගෙ දිහා ලෝකයක බිලයනයකට වැඩි ජන සංඛ්‍යාවක් බලා ඉන්න වැඩක්.
ඒකෙ දිනන හැමෝම වීරයො.ඒත් කිසිවෙක් අභිබවා නොගොස් ලෝකයම බලා ඉද්දි ආදරය දිනන කොටසකුත් ඔලිම්පික්වලදි හමු වෙනවා.මෙවර මීටර් 100 මූලික තරග සඳහා තෝරා ගැනීම සඳහා පවත්වන තරගවලට සහභාගි වන්නට දකුණු සුඩානය නියෝජනය කරමින් මොරිස් ලුසියා පැමිණ සිටියා.ඇය නියෝජනය කළේ පළමු මං තීරුවයි.මේ ඇයගෙ දෙවන ඔලිම්පික් නියෝජනය.ඇය ටෝකියෝ ඔලිම්පික් උළෙලෙදි මීටර් 200 ට සහභාගි වුණා.(මේ සමඟ ඡායාරූපයක් ඇත.)
මෙවර මීටර් 100 නියෝජනය කරන්න පැමිණි ලුසියා පළමු මං තීරුවෙ තරගයට සහභාගි වෙන්න හිට ගනිද්දි දෙවන මංතීරුවෙ හිටියෙ පා ඇපේ සිලිනා.ඇය නියෝජනය කළේ ලාඕසය.දෙදෙනාම ඔලිම්පික් පදක්කම් ගැන ලොකු සිහින දැකපු අය නෙමෙයි.මේ මංගල්ලයට සහභාගි වෙන්න තරමට තමන්ට හැකියාවක් සහ වාසනාවක් උදා වීම ගැන සතුටෙන් හිටිය අය.
සිලිනා තරගය නිමා කළේ සිය හොඳම කාලීන දක්ෂතාව එකතු කරමින්.ඒ තත්පර 12.45 ක්.ඒ ගැන සතුටු වීම තබා ඇය ආපහු ධාවන පථයෙ ආරම්භය දෙසට දිව ගියේ තමන්ගේ ආසන්නයේ හිටපු තමන්ගෙ රටෙත් නොවන,තමන්ගෙ පාටත් නොවන ලසියා වෙත.ඇය ධාවන පථයෙ ඇඳ වැටුණා.තරගය නිමා කරන්නට බැරි වුණා.සිලිනා ලෝකයම බලා ඉද්දි ගිහිං ලුසියාට අත දුන්නා.ඇත්තයම ඒ වෙලාවෙ ඇය අත හරහා දෙන්නෙ හිත.බිඳිලා තිබුණු හිත සවිමත් කරන්න,ඇසට උනා තිබුණු කඳුළුවලට දුක වෙනුවට සතුට ආලේපනය කරන්න පුළුවන් වුණ ඒ අත දිගේ ලෝකයටම ගලා ගියේ ක්‍රීඩාවේ තිබෙන නොබිදෙන ආදරණිය මිත්‍රත්වය ගැන අපූරු කතාවක්.හමත් එක්ක,ජාතියත් එක්ක,ආගමත් එක්ක බෙදෙන මිනිස්සු බිදෙන තැන් වෙනුවට මෙහෙම බැඳෙන තැන් කොච්චර ලස්සනද?අපි දේශපාලන පිටියේ කරන එවැනි කතා වල රළුකම,ගැඹුරට වඩා මේ ආදරය ගැන කතා කොච්චර සරල විදිහට අපේ හදවත පතුලට කිදා බහිනවද?
ක්‍රිඩාව කියන්නෙ තරග කිරීම නොමෙයි.ජීවිතය.ජීවිතයට අවශ්‍යය හැම දෙයක්ම ඉගෙන ගන්න මාර්ගයක්.අනෙකා පරාද කරන්න විතරක් නෙමෙයි අනෙකාට ආදරය කරන ගරු කරන හැටි උගන්නන වගේම අනෙකාගේ ජයග්‍රහණයේ දී සුබ පතන්න ඉවසන්න නීත්යානූකූළව පමණක් කටයුතු කරන්න උගන්වන විශයක්.ඒකෙ තියෙන්නෙ විද්‍යාව,ආචාර ධාර්මික සහ නෛතික මනුස්සෙක් ගොඩ නඟන සංයමය,අනෙකා ගැන පහන් හැඟීම් පුබුදුවන ආදරය.ඉතිං ඒක සෙල්ලමක් වෙන්නෙ කොහොමද? ඒක විද්යාත්මකයි,ආදරණීයයි.මානවීයයි.පළල් විදිහට ජීවිතය උගන්වන විෂයානුබද්ධ යාන්ත්‍රණයක් සෙල්ලමකට ගන්න බැහැ.ඒ නිසා ක්‍රීඩාව ඒ බරෙන් කිරා බලන්න පුළුවන්නම් කෙනෙක්ට බොහොම සංයමයෙන් ජීවිතය දිහා බලන්න පුළුවන් ආදරණිය අදහසක් ඇති වෙයි.