ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ බෝට්ටු ඉක්මනින් නිදහස් කරගෙන නැවත ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රජය ද්විපාර්ශවික යාන්ත්‍රණ සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකාව සමග නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුවට ලිඛිත දැනුම්දීමක් සිදුකරමිනි.
ජාත්‍යන්තර සමුද්‍රීය සීමා රේඛාව (IMBL) තරණය කිරීම සම්බන්ධයෙන් නිතර අත්අඩංගුවට ගනු ලබන ඉන්දීය ධීවරයින්, විශේෂයෙන් තමිල්නාඩු ධීවරයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් ඉන්දීය රජය ඉහළම ප්‍රමුඛතාව ලබාදෙන බවයි ජයිශංකර් මහතා එහි සඳහන් කර ඇත්තේ.
2026 ජූලි 31 වන දිනය විට තමිල්නාඩු ධීවරයින් 27 දෙනෙකු සහ ධීවර බෝට්ටු 249ක් ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බව ද ඒ මහතා එහිදී දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සහ ඔවුන් නිදහස් කර නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය සහය ලබා දීම වෙනුවෙන් ඉන්දීය දූත මණ්ඩල සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලවල නිලධාරීන් නිතිපතා රැඳවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාර වෙත පැමිණෙන බවත් සඳහන් කර ඇති ජයිශංකර් මහතා මෙම ගැටලුව විසඳීම සහ ඉන්දීය ධීවරයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බවත් පෙන්වා දී තිබේ.


