ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාර්ලිමේන්තු කතාව අනුව, “2015 සිට 2025 දක්වා ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ දත්ත පිළිබඳ විමසා බැලූ විට මේ වසරේ මුල් මාස හය තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා ගෙන තිබෙනවා.”
මේ කතාව ඇත්තද?
පහත තිබෙන්නේ මහ බැංකු දත්ත අනුව අදාළ වසර වල පළමු මාස හයක කාලය තුළ ලංකාව විසින් ඉපැයූ අපනයන ආදායම්.
2015- ඩොලර් මිලියන 5,444.4
2016- ඩොලර් මිලියන 5,130.3
2017- ඩොලර් මිලියන 5,397.6
2018- ඩොලර් මිලියන 5,731.9
2019- ඩොලර් මිලියන 5,999.2
2020- ඩොලර් මිලියන 4,412.8
2021- ඩොලර් මිලියන 5,699.1
2022- ඩොලර් මිලියන 6,522.2
2023- ඩොලර් මිලියන 5,871.0
2024- ඩොලර් මිලියන 6,144.4
2025- ඩොලර් මිලියන 6,492.1
මෙම දත්ත දෙස බැලූ විට පෙනී යන පරිදි, වෙනස සුළු වෙනසක් වුවත්, වසරේ පළමු අර්ධය තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම් වාර්තා වී තිබෙන්නේ මෙම (2025) වසරේදී නොව 2022 වසරේදීයි.
ඒ කියන්නේ අනුර පාර්ලිමේන්තුවේදී කිවුවේ බොරුවක්ද?
අනුර මේ ප්‍රකාශය කරන්නේ මහ බැංකු දත්ත මත පදනම්ව නොව අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත මත පදනම්ව විය යුතුයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව, 2025 පළමු මාස හයෙහි අපනයන ආදායම ඩොලර් මිලියන 6,504.7ක් ලෙස සඳහන් වන නමුත් එම අගය සැලකුවද 2022 පළමු මාස හයෙහි අපනයන ආදායම ඉක්මවා යන්නේ නැහැ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට වඩා මහ බැංකුවේ දත්ත නිවැරදි සේ සැලකිය හැකියි. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මුලින්ම ප්‍රකාශයට පත් කරන දත්ත සහ මහ බැංකුවේ දත්ත අතර සාමාන්‍යයෙන් යම් වෙනසක් තිබෙනවා. එහෙත් බොහෝ විට අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පසුව සංශෝධනය කෙරෙනවා. එම සංශෝධිත දත්ත සාමාන්‍යයෙන් මහ බැංකුවේ දත්ත සමඟ ගැලපෙනවා. ඊට හේතුව මහ බැංකුව විසින් දත්ත ප්‍රකාශයට පත් කරන්නේ රේගුවෙන් ලබා ගන්නා දත්ත පරීක්ෂාවට ලක් කර, නොගැලපීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය නිවැරදි කිරීම් කිරීමෙන් පසුව වීමයි.
ඉහත දත්ත භාණ්ඩ අපනයන ආදායම් හා අදාළ දත්තයි. මෙයට සේවා ලැබීම්ද එකතු කළ විට, මහ බැංකු දත්ත අනුව, තත්ත්වය මෙසේයි.
2015- ඩොලර් මිලියන 8,539.7
2016- ඩොලර් මිලියන 8,623.5
2017- ඩොලර් මිලියන 9,156.5
2018- ඩොලර් මිලියන 9,979.5
2019- ඩොලර් මිලියන 9,910.7
2020- ඩොලර් මිලියන 6,448.6
2021- ඩොලර් මිලියන 6,683.6
2022- ඩොලර් මිලියන 8,178.5
2023- ඩොලර් මිලියන 8,306.8
2024- ඩොලර් මිලියන 9,462.7
2025- ඩොලර් මිලියන 10,101.6
මේ අනුව පෙනී යන්නේ භාණ්ඩ අපනයන ආදායමට සේවා ලැබීම්ද එකතු කළ විට වැඩිම අගය වාර්තා වී තිබෙන්නේ මෙම වසර තුළදී බවයි.
කෙසේ වුවද, අනුර කුමාර ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ ඉහත ගණන් වලට වඩා වෙනස්. ඔහුට අනුව, 2025 පළමු මාස හයේ අපනයන ආදායම ඩොලර් බිලියන 8.4ක්. ඔහු මේ කතා කරන්නේ අපනයන ආදායමට සේවා ආදායම් වලින් කොටසක් පමණක් එකතු කොට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යාලේඛණයක් මත පදනම්වයි. එයට ඉදිකිරීම්, මූල්‍ය, ප්‍රවාහන, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන හා වෙනත් ව්‍යාපාරික සේවා සැපයීම් වෙනුවෙන් ලැබුණු විදේශ විණිමය ආදායම් ඇතුළත් වන නමුත් සංචාරක, මූල්‍ය, රක්ෂණ, නඩත්තු, නිෂ්පාදන, විනෝදාස්වාද ඇතුළු වෙනත් සේවා ගණනාවක් වෙනුවෙන් ලැබුණු විදේශ විණිමය ආදායම් ඇතුළත්ව නැහැ.
මෙම වසරේ පළමු මාස හය තුළ ලැබුණු භාණ්ඩ අපනයන ආදායමට ඉහත සේවා අංශ වලින් ලැබුණු ආදායම පමණක් එකතු කළ විට මුළු අගය ඩොලර් මිලියන 8,337.9ක්. දැනට වැඩිම භාණ්ඩ අපනයන ආදායමක් වාර්තා වී ඇති 2022 වසරේදී ඉහත අගය ඩොලර් මිලියන 7,476.8ක් පමණයි. මේ අනුව පෙනෙන පරිදි, 2022 වසරට සාපේක්ෂව 2025 වසරේ පළමු මාසය හයේ භාණ්ඩ අපනයන ආදායම සුළු වශයෙන් අඩු වුවත්, සේවා ආදායම් ඉහළ යාම නිසා අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණයේ ඉහළ යාමක් දැකිය හැකි වී තිබෙනවා.
මේ තත්ත්වය ගැන කොයි තරම් සතුටු විය හැකිද?
භාණ්ඩ අපනයනය පමණක් සැලකුවද, වසරේ දෙවන අර්ධයේ අපනයන ආදායම් වල සැලකිය යුතු වර්ධනයක් සිදු වුවහොත්, මෙම වසර ඉහළම අපනයන ආදායමක් වාර්තා වන වසර විය හැකියි. නමුත් එය එසේ වුවද ඒ හේතුව නිසාම සතුටු විය හැකි කරුණක් වන්නේ නැහැ.
රටේ අපනයන ප්‍රමාණයේ කිසිදු වර්ධනයක් සිදු නොවුවද අපනයන ආදායම් සේ ලැබෙන ඩොලර් ප්‍රමාණය වසරින් වසර ඉහළ යාම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඊට හේතුව ඇමරිකාවේ උද්ධමනය නිසා ඩොලරයක වටිනාකම වසරින් වසර බාල්දු වීමයි. උදාහරණයක් ලෙස 2022 ජූනි මාසයේ ඇමරිකන් ඩොලර් 100ක 2025 ජූනි වටිනාකම ඩොලර් 108.86ක්. ඒ කියන්නේ රටේ අපනයන වල කිසිදු වර්ධනයක් සිදු නොවුවද, මෙම කාලය තුළදී රටට ලැබෙන අපනයන ආදායමේ ඩොලර් අගය 8.86%කින් ඉහළ යා යුතු බවයි. ඒ නිසා, කිසියම් වසරක අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව අඩු වී ඇත්නම් එය කනස්සළු විය යුතු කරුණක් වුවත්, ඇමරිකාවේ උද්ධමන බලපෑම නොඉක්මවන අපනයන ආදායම් වර්ධනයක් කියන්නේ සතුටු විය යුතු කරුණක් නෙමෙයි.
ඇමරිකන් ඩොලරයේ අගය වෙනස් වීම සැලකූ විට 2022 පළමු මාස හයේ අපනයන ආදායමේ දැන් වටිනාකම ඩොලර් මිලියන 7,100.0ක්. ඒ අනුව, සිදු වී තිබෙන්නේ 2022 වසරට සාපේක්ෂව 2025දී ලංකාවේ භාණ්ඩ අපනයන ප්‍රමාණය 8.6%කින් අඩු වී තිබීමයි.
සේවා ලැබීම්ද සලකන්නේනම් දැනට වැඩිම නාමික ඩොලර් ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ 2018 පළමු මාස හයක කාලය තුළයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 9,979.5ක්. ඩොලරයේ වටිනාකම වෙනස්වීම සැලකූ විට මෙය 2025 ජූනි ඩොලර් වලින් මිලියන 12,774.4කට සමානයි. මේ හා සංසන්දනය කරද්දී 2025 පළමු මාස හයක කාලය තුළ උපයා ඇති ඩොලර් මිලියන 10,101.6 මගින් පෙන්නුම් කරන්නේ 20.9%ක අඩුවීමක්. ඒ අනුව පෙනෙන පරිදි, මෙම වසරේ පළමු මාස හය තුළ “ඉතිහාසයේ වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායම්” උපයා ඇතත් එය ඩොලරයේ වටිනාකම අඩු වීම නිසා සිදු වී තිබෙන නාමික වර්ධනයක් පමණයි.
~ ඉකොනොමැට්ටා
