අයර්ලන්තය තරගාවලිය සම කර ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 14, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය අයර්ලන්තයට ලකුණු 7 ක ජයක් හිමි වෙමින් නිමාවට පත් විය.ඒ අනුව දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය නිමාවට පත්වන්නේ ජය පැරඳුමෙන් තොරවය.කාසියේ වාසිය ගෙන පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය ලකුණු 173 ක් කඩුලු 3 ක් පමණක් අහිමිව ලබා ගනිමින් ශ්‍රී ලංකාවට තර්ජනාංගිලය ඔසවා තැබීය.


මෙම ලකුණු ගණන කරා අයර්ලන්තය යන ගමණට පළමුවෙන් බාධාවක් ඇති කළේ 15 හැවිරිදි ශෂිනි ගිම්හානි ය.ඇය ලකුණු 24 ට කඩුල්ලක් ලබා ගත් අතර ඇය පන්දු ඕවර් 3 ක් පමණක් යැව්වාය.කණ්ඩායම දෙස බැලූ විට දිගුම අනාගතය හිමි ශෂිනි,මෙහිදී නිවැරදි එල්ලයට සිය පන්දු 18 ම යොමු කරමින් අතිරේක පන්දු ප්‍රතිවාදීන්ට ලබා නොදීම කැපී පෙණින.
නායිකාව ලෙස චමරි අතපත්තුගේ ප්‍රහාරය පමණක් නොව නායකත්වය ද,ශ්‍රී ලංකාවට අහිමි වීම මේ තරගයේ දී දකින්නට ලැබිණ.මේ තරගාවලියේ දී චමරිගෙන් පසු මතු බලාපොරොත්තුව ලෙස හර්ෂිතා මාධවීට පවරා තිබුණු උප නායකත්වය පදනම් කරගෙන ඇයට නායකත්වය හිමි වනු ඇතැයි ක්‍රික්ඉන්ෆෝ පවා වාර්තා කළ ද,චමරිගේම වයසේ (ඇයටත් වඩා දින ගණනකින් වැඩිමහල්) අනුශ්කා සංජීවනී නායකත්වය පැවරීම යම් ආකාරයකින් කාන්තා කණ්ඩායමේ අනාගතය ගැන නොසිතීමක් ලෙස සිතිය හැකිය.


කෙසේ වුව ද,අයර්ලන්තය පහසු කණ්ඩායමක් නොවේය.ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් ලකුණු 173 ක් දක්වා ගිය ගමණේ දී ඊට ඉහළම දායකත්වය දැක් වූවේ ගැබී ලෙවිස් ය.ඇය ලකුණු 119 ක් ලබා අයර්ලන්ත ඉණිමේ අවසාන පන්දුවට දැවී යන තෙක් පන්දු 75 ට මුහුණ දුන්නාය.හයේ පහර 2ක් සහ හතරේ පහර 17 ක් සහිත ගැබී ගේ ඉණිම ඇයගේ නමට වාර්තා වූ වැඩිම ලකුණු සහිත ඉණිම වූවාය.එමෙන්ම එය ඇයගේ දෙවන ශතකය විය.


අයර්ලන්තයේ ක්‍රිකට් පවුලක තෙවන පරම්පරාව වන ගැබී,ඇයට අවුරුදු 14 දී අයර්ලන්තය වෙනුවෙන් පිටියට පිවිසි,මේ වන විට වසර 10 ක ජාත්‍යන්තර අත්දැකීම් ඇති අවුරුදු 24 ආසන්නයේ සිටින පළපුරුදු ක්‍රීඩිකාවක ලෙස මෙම තරගාවලියේ දී කැපී පෙණුනාය.ඇය පළමු තරගයේ දී ද,ලකුණු 39 ක් එක් කළ අතර ජයග්‍රාහී තරගයේ ඇයගේ සාර්ථකත්වයට බල පෑ ප්‍රධානම සාධකය වූයේ දෙවන කඩුල්ල වෙනුවෙන් ඇය සමඟ ලකුණු 119 ක සබඳතාවයක් පවත්වන්නට හවුල් වූ ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් ය.ඇය පන්දු 31 දි ලකුණු 38 ක් ගෙන අයර්ලන්ත ඉණිමට සිය දායකත්වය දැක් වූවාය.


ලෙවිස් මෙන්ම අපූරු ඉණිමක් මෙම තරගාවලියේ දෙවන වරටද ක්‍රියාත්මක කළ හර්ෂිතා මාධවී පන්දු 44 දී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකණු 65 ක් රැස් කළාය.ඇයට කදිම සහයක් දෙමින් ආසියානු කුසලාන අවසාන තරගය සිහියට නැංවූ කවීශා දිල්හාරි පන්දු 48 දී නොදැවී ලකුණු 51 ක් රැස් කරමින් කැපී පෙනුණාය.හර්සිතා සහ කවීශා අතර දෙවන කඩුල්ලට ලකුණු 72 ක් එකතු වූ අතර හර්ෂිතා මුළු ලකුණු 101 දී දැවී යාමෙන් අනතුරුව කවීශා සමඟ හොඳ කඩුලු සබඳතාවයක් නඩත්තු කරන්නට කිසිවෙකුට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 20 දී කඩුලු 7 ට ලකුණු 166 ක් ව පවතිද්දී නිමාවට පත් විය.


කෙසේ නමුත් මේ තරගයේ දී ශ්‍රී ලංකාව පළමු තරගයේ දී අයර්ලන්තයට එරෙහිව හොඳින් පාලනයක් සහිතව පන්දු යැවූ උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්ධිකා කුමාරි වෙනුවට අමා කාන්චනා සහ ශෂිනි ගිම්හානි කැඳවා තිබිණ.ඔවුන් දෙදෙනාම කඩුල්ල බැඟින් දවා ගන්නට සමත් විය.අයර්ලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ලද පළමු විස්සයි විස්ස ජය වූ මේ ජයග්‍රහණය ඓතිහාසික එකක් වුව,ශ්‍රී ලංකාව පැත්තෙන් ද පරාජය වුව යම් ධනාත්මක ලකුණු ගණනාවක් දකින්නට ලැබීම නොසළකා හැරිය නොහැකිය.හර්සිතා මාධවී සහ කවීශා දිල්හාරි ලෝක කුසලාන තරගාවලිය පෙනි පෙනී සාර්ථකත්වය දිගින් දිගටම රැක ගැනීම මෙන්ම 15 හැවිරිදි ශෂිනි ගිම්හානි ජාත්‍යන්තර මට්ටමෙන් සිය අත්දැකිම් උකහා ගනිමින් පැසුණු මට්ටමෙන් ක්‍රියාකිරීම සහ ප්‍රතිපල සංවර්ධනය කර ගැනීම වැදගත්ය.


පහත දැක්වෙන්නේ අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ සමස්ත ලකුණු සටහනය.
https://es.pn/46JsMvU

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...