සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අට වතාවක් මරණ දඬුවම ක්‍රියාත්මක වීමෙන් බේරුණු ඇමරිකාවේ වයස්ගතම සිරකරුවෙකු ලෙස සැලකෙන ෆ්‍රැන්සිස් ක්ලිෆඩ් වයස අවුරුදු 101 දී මියගොස් තිබේ.
ක්ලිෆඩ් වසර 70කට වැඩි කාලයක් සිරගතව සිටි අතර, එම කාලය තුළ අවස්ථා කිහිපයකදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අවසන් මොහොතේ නතර වී තිබේ.
වයස අවුරුදු 25 දී, එනම් 1950 වසරේදී මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ ඔහු, තමන් එම අපරාධය සිදු නොකළ බව ජීවිත කාලය පුරාම ප්‍රකාශ කළේය. ඔහුගේ නඩුව සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා ප්‍රශ්න මතු වූ අතර, විශේෂයෙන් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු තම පෙර ප්‍රකාශ ආපසු කැඳවීම සහ පසුව වෙනත් සිරකරුවෙකු එම ඝාතනය තමන් විසින් සිදු කළ බවට පාපොච්චාරණය කිරීම කැපී පෙනුණි.
1967 වසරේදී ඔහු බන්ධනාගාරයෙන් පලා ගියද දින 12කට පසුව නැවත අත්අඩංගුවට ගෙන තිබේ. 1974 නත්තල් සැන්දෑවේදී ඔහුට නිවසට යාමට අවසර ලැබුණු අතර, පසුදා නැවත බන්ධනාගාරයට පැමිණි බවද වාර්තා වේ. 1975දී ඔහුට කොන්දේසි සහිත නිදහස හෙවත් parole හිමි වූ අතර, මාස 10කට ආසන්න කාලයක් නිදහසේ සිටියේය. කෙසේ වෙතත්, සුළු සොරකමක් සහ ආයුධයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනා මත ඔහු නැවත අත්අඩංගුවට ගැනුණු අතර, එය ඔහුගේ parole කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිණි.
ඒ අනුව, දශක ගණනාවක් පුරා බන්ධනාගාර ජීවිතයක් ගත කළ ක්ලිෆඩ්ගේ කතාව ඇමරිකාවේ මරණ දඬුවම, සිරකරුවන්ගේ අභියාචනා සහ වරදකාරීත්වය පිළිබඳ මතුවන සැකයන් සම්බන්ධයෙන්ද අවධානයට ලක්වූ අසාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ.

