අධ්‍යාපන වෙළඳපොළ ගැන කතා කරද්දී පැහැදිලි කර ගත යුතු සංකල්පීය ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.
- අධ්‍යාපනය කියන්නේ කුමක්ද?
- අධ්‍යාපනයේ අරමුණ කුමක්ද?
- අධ්‍යාපනයේ මිල ගෙවිය යුත්තේ කවුද?
අධ්‍යාපනය කියන්නේ දැනුම එකතු කර ගැනීම කියලා සරලව කියන්න පුළුවන්. දැනුම එකතු කරගැනීම එක්ක ඇතැම් වෙලාවට අලුතෙන්ම දැනුම නිෂ්පාදනය වීමක් වෙන්න පුළුවන්. කවදා හෝ දැනුම නිෂ්පාදනයක් වුනේ නැත්නම් දැනුම කියා දෙයක් නැහැ. දැනුම නිෂ්පාදනය සිදු වන්නේ තනිව හෝ සාමූහිකව කරන ස්වයං අධ්‍යයනයක් එක්ක. එහිදී බාහිර සම්ප්‍රේෂකයෙක් නැහැ.
නමුත් ගොඩක් වෙලාවට අධ්‍යාපනය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ මේ ආකාරයෙන් අලුතෙන්ම දැනුම නිෂ්පාදනය මගින් දැනුම එකතු කරගැනීම ගැන නෙමෙයි. දැනටම නිෂ්පාදනය කර තිබෙන දැනුම එකතු කරගන්න එක ගැන. මෙහිදී බාහිර සම්ප්‍රේෂකයෙක් අවශ්‍යවෙනවා. ඒ සම්ප්‍රේෂකයා පුද්ගල සම්ප්‍රේෂකයෙක් වූ විට අපි එය ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් විදිහට හඳුනාගන්නවා. සම්ප්‍රේෂණය සිදු වෙන්නේ දැනුම ගබඩා කර තිබෙන තැනක සිටනම් එය සැලකෙන්නේ ස්වයං අධ්‍යයනයක් ලෙසයි.
ඇතැම් විට පුද්ගල හෝ පුද්ගල නොවන දැනුම් සම්ප්‍රේෂණයකදී සම්ප්‍රේෂණය වන්නේ අළුතෙන්ම නිපදවූ දැනුමක් විය හැකි වුවත්, ප්‍රායෝගිකව බොහෝ අවස්ථා වලදී ඒ විදිහට සම්ප්‍රේෂණය වෙන්නේ අදාළ සම්ප්‍රේෂකයා විසින් මුල් වටයකදී අධ්‍යාපනය හරහා එකතු කරගත් දැනුම. අධ්‍යාපනය කියා කියද්දී බොහෝ විට අදහස් වන්නේ මේ ආකාරයෙන් සිදුවන දැනුම් සම්ප්‍රේෂණය.
ගුරු ශිෂ්‍ය සම්බන්ධයකදී ගුරුවරයා දැනුම් සම්ප්‍රේෂකයා. ශිෂ්‍යයා ග්‍රාහකයා. ශිෂ්‍යයා විසින් ගුරුවරයෙකු නැතිව ස්වයං අධ්‍යයනයක් හරහා දැනුම එකතු කරගනිද්දී සම්ප්‍රේෂකයා පොතක්, පත්තරයක්, අන්තර්ජාලය වැනි යම් දැනුම් ගබඩාවක්. එය එසේ නොවන්නේ ස්වයං අධ්‍යයනය තුළ අලුතෙන් දැනුම් නිෂ්පාදනයක් වෙද්දී පමණයි.
දැනුම් සම්ප්‍රේෂණයේදී සම්ප්‍රේෂකයා විසින් මෙන්ම ග්‍රාහකයා විසින්ද පිරිවැයක් දැරිය යුතුයි. “අධ්‍යාපනයේ මිල” කියා කියද්දී එයින් අදහස් වන්නේ සම්ප්‍රේෂකයා හා ග්‍රාහකයා විසින් දැරිය යුතු සම්ප්‍රයුක්ත පිරිවැය මිසක් වෙළඳපොළ මිලක් ගැන නෙමෙයි. වෙළඳපොළක් තිබුණත් නැතත් මේ පිරිවැය තිබෙනවා. එම පිරිවැය සම්ප්‍රේෂකයා හා ග්‍රාහකයා විසින් යම් ආකාරයකින් බෙදාගත යුතුයි. එහෙම නැත්නම් තෙවන පාර්ශ්වයක් විසින් දැරිය යුතුයි. අධ්‍යාපන වෙළඳපොළේ බාහිර ස්වරූපය කුමක් වුවත් මේ මූලික කරුණ වෙනස් වෙන්නේ නැහැ. එතැනින් එහාට අධ්‍යාපන වෙළඳපොළේ බාහිර ස්වරූපය සමාජ සම්මුතියක්.
බොහෝ අවස්ථා වලදී අධ්‍යාපනයේ ඉලක්කය වන්නේත්, ප්‍රතිලාභියා වන්නේත් ග්‍රාහකයා. ඒ වගේම, අධ්‍යාපන වෙළඳපොළේ බාහිර ස්වරූපය කුමක් වුවත් ග්‍රාහකයට අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් යම් මිලක් අනිවාර්යයෙන්ම ගෙවන්න සිදු වෙනවා. මෙහිදී මිල යන්නෙන් අදහස් කරන්නේ ආවස්ථික පිරිවැය. ස්වයං අධ්‍යයනයකදී වුවත් අනිවාර්යයෙන්ම මේ මිල ගෙවන්න වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන කාලයේ ආවස්ථික පිරිවැය, වැය කරන මානසික ශ්‍රමයේ වටිනාකම ආදී සියල්ල එම මිලේ කොටස්. ඒ නිසා, කිසිම කෙනෙකුට අධ්‍යාපනය මිලක් නොගෙවා ලබා ගන්න බැහැ. නැවතත් මතක් කළොත්, මෙහි “මිලක්” යන්නෙන් අනිවාර්යයයෙන්ම මුදල් අදහස් වන්නේ නැහැ.
ග්‍රාහකයෙක් විසින් අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් ඉහත පිරිවැය දරන්නේ එයින් යම් අපේක්ෂිත ප්‍රතිලාභයක් තිබෙන නිසා. එම ප්‍රතිලාභය මූල්‍යමය ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. ඔය දෙකෙන් කොයි එක වුනත්, අධ්‍යාපනයේ ප්‍රතිලාභ දිගුකාලීනයි. දිගුකාලීන මූල්‍යමය හෝ වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු කරන අධ්‍යාපනය ආයෝජනයක්. බොහෝ විට දැකිය හැක්කේ මේ තත්ත්වය වුවත්, අධ්‍යාපනය පරිභෝජනයක් සේ සැලකිය හැකි තත්ත්වයන්ද තිබෙනවා.
සම්ප්‍රේෂකයෙකුට අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් පිරිවැයක් දරන්න වෙනවා කියන එක පැහැදිලි කරුණක්. එසේනම්, සම්ප්‍රේෂකයෙකු විසින් එම පිරිවැය දැරිය යුත්තේ ඇයි?
සම්ප්‍රේෂකයෙකු විසින් අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් යම් පිරිවැයක් දරන්නේ එයින් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබේනම් පමණයි. ඇතැම් විට මේ ප්‍රතිලාභය එයින් ලැබෙන මානසික තෘප්තිය. ඇතැම් විට ඒ වෙනුවෙන් ශිෂ්‍යයා හෝ තෙවන පාර්ශ්වයක් විසින් මුදලින් කරන ගෙවීමක් හෝ වෙනත් සත්කාරයක්. මෙය සමාජ පිළිගැනීම වැනි දෙයක් වෙන්න පුළුවන්. ඇතැම් විට මේ දෙකේ මිශ්‍රණයක්. ඇතැම් විට දැනුම සම්ප්රෙෂණයේදී සම්ප්‍රේෂ්කයාගේ අරමුණ දැනුම සංරක්ෂණය කිරීම හෝ දැනුම බෝ කිරීම වෙන්න පුළුවන්. මානසික තෘප්තිය ලැබෙන්නේ ඒ අරමුණ එක්ක.
විධිමත් අධ්‍යාපන වෙළඳපොළ තුළ සිටින ටියුෂන් ගුරුවරු ඇතුළු ගුරුවරු හා සරසවි ඇදුරන් විසින් අධ්‍යාපනය සම්ප්‍රේෂණය කිරීමේ පිරිවැය දරන්නේ ශිෂ්‍යයන් විසින් හෝ තෙවන පාර්ශ්වයක් විසින් ඒ වෙනුවෙන් මුදලින් ගෙවීමක් කරන නිසා. එහෙත්, ඊට අමතරව මානසික තෘප්තිය හා සමාජ පිළිගැනීම වැනි වෙනත් ප්‍රතිලාභද එහි තිබෙන්න පුළුවන්.
අධ්‍යාපනය ගැන පොදුවේ කතා කළත් අධ්‍යාපනය යනු සමජාතීය ප්‍රවර්ගයක් නෙමෙයි. උදාහරණයක් විදිහට විධිමත් අධ්‍යාපන වෙළඳපොළ ගත්තත් ප්‍රාථමික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය අතර පැහැදිලි හා විශාල වෙනසක් තිබෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේදී ග්‍රාහකයා විසින් අධ්‍යාපනය ඉල්ලා සිටින්නේ නැහැ. බොහෝ විට එය බලහත්කාරයෙන් පොවන්නක්. තමන් ලබන අධ්‍යාපනයේ අපේක්ෂිත ප්‍රතිලාභ පිළිබඳව ග්‍රාහකයාට පැහැදිලි අදහසක් නැහැ. එහෙමනම්, මේ වැඩේ මේ විදිහට වෙන්නේ ඇයි?
මේක ආර්ථික විද්‍යාවෙන් එහා තිබෙන ප්‍රශ්නයක්. වෙනත් හැම සතෙකුට මෙන්ම සාපේක්ෂව මිනිසෙකුට “මිනිසෙකු” වීමට දීර්ඝ කාලයක් අවශ්‍යයි. අලුතෙන් ලොවට බිහිවන මිනිස් බිළිඳෙකුට වැඩිහිටි මිනිසුන්ගේ රැකවරණය හා උපකාර නොලැබුණහොත් ස්වාධීනව වැඩිහිටි මිනිසෙකු වීමේ කිසිදු හැකියාවක් නැහැ. මිනිස් බිළිඳා ආහාර ඇතුළු බොහෝ දේ සඳහා පරායත්තයි. මෙය වෙනත් සතුන්ටද පොදු දෙයක් වුවත් ස්වාධීන වීම සඳහා වෙනත් ඕනෑම සතෙකුට වඩා වැඩි කාලයක් මිනිසෙකුට අවශ්‍යයි. මිනිස් බිළිඳෙකු මිනිස් වැඩිහිටියෙකු කිරීම කවුරු හෝ විසින් දැරිය යුතු විශාල පිරිවැයක්.
වත්මන් සමාජය තුළ ස්වාධීනව ජීවත් විය හැකි මිනිස් වැඩිහිටියෙක් වීමටනම් සිරුර උස් මහත් වීමට අමතරව තවත් බොහෝ දේ අවශ්‍ය වෙනවා. මේ සඳහා කිසියම් මූලික අධ්‍යාපනයක්ද අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. (“බෙල්ල පාලුවට ඔලුව තිබීම ප්‍රමාණවත් නැහැ”). ඒ අවශ්‍ය මූලික අධ්‍යාපනය කුමක්ද කියන එක අදාළ මිනිස් බිළිඳාට ස්වාධීනව ජීවත් වන්නට සිදු වන සමාජය කුමක්ද යන්න අනුව වෙනස් වෙනවා.
මිනිස් බිළිඳෙකු මිනිස් වැඩිහිටියෙකු සේ ගොඩ නැගීම වෙනත් අයෙකු විසින් කළ යුතු දෙයක්. එය ඉබේට සිදු වන්නේ නැහැ. මෙය කළ යුත්තේ කවුරු විසින්ද?
මේ ප්‍රශ්නයට පිළිතුර සමාජ සම්මුතියක්. මේ සඳහා ලබා දිය හැකි පළමු පිළිතුර මෙය දෙමවුපියන්ගේ වගකීමක් බවයි. දෙවන පිළිතුර පොදු, සමාජයීය වගකීමක් බවයි. එනම්, සියළු මිනිස් වැඩිහිටියන්ගේ සාමූහික වගකීමක් බවයි. ප්‍රායෝගිකව දැකිය හැක්කේ මේ තත්ත්වයන් දෙක අතර අතරමැදි තත්ත්වයක්. සත්ත්ව ලෝකය තුළ වුවද එවැනි චර්යාවන් දැකිය හැකියි.
අපට දෘශ්‍යමාන ලෝකය තුළ මිනිස් බිළිඳෙකු වැඩිහිටියෙකු කිරීම සඳහා අවශ්‍ය පිරිවැයෙන් විශාලතම කොටස දෙමවුපියන් විසින් දැරීම සාමාන්‍ය තත්ත්වයයි. එය දෙමවුපියන් අතින් සිදු නොවෙද්දී බොහෝ විට මිනිස් බිළිඳෙකු අසරණ වෙනවා. වෙනත් බොහෝ සත්ත්ව ගහණ හා අදාළවද සාමාන්‍ය තත්ත්වය එයයි.
ඕනෑම සත්ත්ව ගහණයක් පරිණාමය වන ස්වභාවික ක්‍රියාවලිය තුළ එය එලෙස සිදු වීම අරුමයක් නෙමෙයි. වර්ගයා බෝ කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජනයක් සිදු නොකරන සත්ත්ව කොට්ඨාශයක් වඳ වී යනවා. එහෙම නොවෙන්නම් වෙනත් සත්ත්ව කොට්ඨාශයක් විසින් ඒ පිරිවැයේ බරට කරට ගත යුතුයි. එසේ වෙන අවස්ථා තිබුනත් පරිණාමික ඉතිහාසය තුළ එය සාමාන්‍ය තත්ත්වය නොවූ නිසා දරුවන්ට ස්වාධීනව ජීවත් විය හැකි වන තුරු අවශ්‍ය පිරිවැය දෙමවුපියන් විසින් දැරීම ජාන තෙරපුම හරහාම එන දෙයක්.
මෙය එකම හේතුව නෙමෙයි. සමහර වෙලාවට දරුවන් වෙනුවෙන් දරන පිරිවැය ආර්ථික ලාබ වෙනුවෙන් දෙමවුපියන් විසින් කරන ආයෝජනයක්. උදාහරණයක් විදිහට කෘෂිකාර්මික සමාජයක දරුවන් කියන්නේ උස් මහත් කරගත්තට පස්සේ ශ්‍රමය සපයන යන්ත්‍ර. “පුත්‍ර සම්පත” වගේ යෙදීම් තියෙන්නේ ඒ නිසා.
එය එසේ වුවත්, අනෙක් අතට මෑතක් වන තුරුම දරැවන් බිහිවීම සෑහෙන තරමක අහම්බයක්. ජාන තෙරපුම හරහා ස්වභාවික ලෙස ඇති වන ලිංගික අවශ්‍යතා වල අතුරු ඵලයක්. නමුත් උපත් පාලන ක්‍රම හා ඒ පිළිබඳ දැනුම සුලබ වීමෙන් පසුව මේ තත්ත්වය දැන් වෙනස්. දරුවෙකු කියන්නේ තවදුරටත් අහම්බයක් නෙමෙයි. බොහෝ දුරට සවිඥානික තේරීමක්.
වත්මන් බටහිර ලෝකයේ සම්මතයන් දිහා බැලුවොත් දරුවන් හදා ලොකු මහත් කරන එක මේ වෙද්දී බොහෝ දුරට එසේ කිරීමේ විනෝදය හෝ තෘප්තිය තකා කරන වැඩක්. ඒ හැර වෙනත් “මතු බලාපොරොත්තු” නැහැ. දරුවන් හදන එකෙන් ඒ විනෝදය හෝ තෘප්තිය නොලබන කෙනෙකුට දරුවන් හදා නොගනිමින් අවශ්‍ය පමණ ලිංගික සතුට ලබන්න බාධාවක් නැහැ. ඒ වගේම, තමන්ගේම නොවන දරුවන් තමන්ගේ දරුවන් කරගෙන හදා වඩා ගනිමින් ඔවුන් වැඩිහිටියන් කිරීමේ පිරිවැය දැරීම වේගයෙන් ප්‍රචලිත වන දෙයක්. ඊටත් අමතරව, සුරතල් සතුන් වෙනුවෙන් දරන පිරිවැය පෙන්වන්න පුළුවන්.
මේ දේවල් කරන්නේ තමන්ගේම හෝ දරුකමට හදාගන්න ගත් දරුවෙකු ලොකු මහත් කර ස්වාධීන වැඩිහිටියෙකු කිරීමේ සතුට වෙනුවෙන් මිසක් එතැනින් එහාට වෙනත් අනාගත ප්‍රතිලාභ බලාගෙන නෙමෙයි. ජීවවිද්‍යාත්මක හෝ එසේ නොවන දෙමවුපියන් විසින් දරුවන්ගේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන එකත් මේ පැකේජ් එකේ කොටසක්.
ලංකාවේ සමාජය තවමත් මේ තැනට ඇවිත් නැති වුනත් වේගයෙන් එතැනට එනවා. කොහොම වුනත් ලංකාවේ සමහර දෙවවුපියන් තවමත් දරුවෝ හදන එක සලකන්නේ ආයෝජනයක් විදිහට. මතු බලාපොරොත්තු ඇතිව ආයෝජනයක් විදිහට දරුවෝ හැදුවත්, දරුවන් හැදීමේ තෘප්තිය පිණිස පමණක් දරුවෝ හැදුවත් ඒ දරුවෝ ලොකු මහත් කරලා ස්වාධීන පුරවැසියන් විදිහට සමාජයට දමන එක දෙමවුපියන්ගේ ඉලක්කයක්. ඒ සඳහා, ඔවුන්ට අවම මූලික අධ්‍යාපනයක් දෙන්න වෙනවා. එය කොයි වගේ එකක්ද කියන එක තීරණය කරන්නේ දෙමවුපියන් විසින් මිසක් එම දරුවන් විසින් නෙමෙයි.
ඉහත තත්ත්වය තුළ දරුවෙකුට මූලික අධ්‍යාපනය ලබා දීමේදී ග්‍රාහකයා වන්නේ දරුවා වුනත් පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ගෙවන්නේ දෙමවුපියන් විසින්. දරුවන්ට මූලික අධ්‍යාපනයක් ලබා දීම දෙමවුපියන්ගේ තීරණයක් නිසා මෙහි වැරැද්දක් නැහැ. හැබැයි දරුවන්ටත් එහිදී ගෙවන්න වෙන පිරිවැයක් තිබෙනවා. සමහර වෙලාවට දරුවෝ ඒ පිරිවැය ගෙවන්නේ වෙන කරන්න දෙයක් නැති කමට අකැමැත්තෙන්. නමුත් දරුවන් සම්බන්ධව තීරණ ගැනීමේ බලාධිකාරය තිබෙන්නේ දෙමවුපියන් සතුව නිසා දරුවන්ට වෙනත් විකල්පයක් නැහැ. සාමාන්‍යයෙන් දරුවන් වැඩිහිටියන් වූ පසු මේ “හිරිහැරය” කිරීම ගැන දෙමවුපියන්ට දොස් කියන්නේ නැහැ. එහෙම කරන්නේ ඔවුන් විසින් එසේ නොකළොත්.
දෙමවුපියන් විසින් තමන්ගේ දරුවන්ට ලබා දිය යුතු මූලික අධ්‍යාපනය ගැන තීන්දු ගන්නේ සමාජයීය සාධක ගැන හිතලා. මොකද වැඩිහිටියන් විදිහට සාර්ථක වීම සඳහා ඔවුන් විසින් ලබා ගත යුතු දැනුම මොන වගේ එකක්ද කියන එක තීරණය වෙන්නේ ඔවුන්ට ජීවත් වෙන්න සිදුවන සමාජයේ අවශ්‍යතා අනුව. ඒ නිසාම, තමන්ගේ දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාපනය මොන වගේ එකක්ද කියන එක දෙමවුපියන්ගේ පෞද්ගලික තීරණයක් වුනත්, කිසියම් නිශ්චිත සමාජයක ජීවත්වෙන බොහෝ දෙමවුපියන්ට ඔවුන්ගේ දරුවන්ට ලබා දෙන්න අවශ්‍ය වන මූලික අධ්‍යාපනය ආසන්නව සමාන එකක්. වෙනත් සමාජයකදී එය වෙනස් විය විය හැකිවාක් මෙන්ම එකම සමාජයක වුවත් කාලයත් එක්ක වෙනස් වෙනවා.
ඉහත තත්ත්වය නිසා දෙමවුපියන් විසින් එක් එක් දරුවාට වෙන වෙනම මූලික අධ්‍යාපනය දෙන එකට වඩා දරුවන් කණ්ඩායමකට පොදුවේ එම අධ්‍යාපනය ලබා දෙන එක වඩා කාර්යක්ෂමයි. එක පැත්තකින් එයින් ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වඩා හොඳින් තහවුරු වෙනවා. මොකද දරුවන්ට හොඳම දෙය තීරණය කරන්නේ වැඩි පිරිසක් එකතු වෙලා. දෙවනුව, පොදුවේ අධ්‍යාපනය ලබා දීමේදී දරුවෙකු වෙනුවෙන් ඒ සඳහා වැය කළ යුතු පිරිවැය පහළ යනවා. ආර්ථික විද්‍යා භාෂාවෙන් කිවුවොත් මෙහිදී එකිනෙකාට ධනාත්මක බාහිරතාවක (positive externality) වාසිය ලැබෙනවා.
ධනාත්මක බාහිරතාවක් කියන්නේ මේ වගේ දෙයක්. අපි හිතමු ගමේ කාටවත් අකුරු කියවන්න බැහැ කියලා. දැන් කාට හෝ ආණ්ඩුවේ කන්තෝරුවකින් ලියුමක් ලැබෙනවා. ලියුම කියවාගන්න කෙනෙක් හොයා ගන්න වෙන්නේ ගම් හතක් පයින් ගිහින්. ඔහොම තියෙද්දී ගමේ කෙනෙක් අකුරු කියවන්න ඉගෙන ගන්නවා. දැන් මෙහි වාසිය තියෙන්නේ ඔහුට හෝ ඇයට පමණක් නෙමෙයි. එහි වාසිය අනෙක් අයටත් තියෙනවා.
හැබැයි දැන් මේ විදිහට අකුරු දන්නා පුද්ගලයාට ගමේ වෙන කා එක්කවත් ලිඛිත සන්නිවේදනයක් කරන්න බැහැ. නමුත් දෙවැන්නෙක් අකුරු ඉගෙන ගත්තොත් පළමුවැන්නාට ඒ වාසිය ලැබෙනවා. තුණ්ඩු කෑල්ලක ලියලා හදිසියකට දෙවැන්නාට පණිවිඩයක් යවන්න පුළුවන්. අකුරු ඉගෙන ගැනීම නිසා පළමුවැන්නාට වහාම නොලැබුණු වාසියක් දෙවැන්නාට වහාම ලැබෙනවා. ගමේ ඉන්න අකුරු උගත් ප්‍රමාණය ඉහළ යද්දී අනෙක් හැමෝටම එයින් යම් වාසියක් ලැබෙනවා.
මේ අකුරු ඉගෙන ගැනිල්ල එක සීමාවකට ගියාට පස්සේ අකුරු ඉගෙනීම ධනාත්මක බාහිරතාවක් වීමේ බලපෑමට සාපේක්ෂව අකුරු ඉගෙන නොගැනීමේ සෘණාත්මක බාහිරතාව (negative externality) කාටත් පෙනෙන්න පටන් ගන්නවා. අපි හිතමු ගමේම අකුරු නොදන්නා අය ඉන්නේ දෙතුන් දෙනයි. දැන් මොකක් හෝ ගමට දැනුම් දෙන්න අවශ්‍ය වී දැන්වීමක් ගැහුවම ඔය දෙන්නා මග හැරෙනවා. ඒ දෙන්නට වෙනම පණිවිඩ යවන්න වෙනවා. මේක ගමේ සියල්ලන්ටම ප්‍රශ්නයක්. ඒ දෙන්නටත් අතින් වියදම් කරලා හරි අකුරු උගන්වන එක ඊට වඩා වාසියි.
පැහැදිලි කිරීම සඳහා හතර දෙනෙක් ඉන්න බෝඩිමක් ගැන හිතමු. ඔය හතර දෙනාගෙන් එක්කෙනෙක් කැරම් ගහන්න දන්නවා. නමුත් අනෙක් තුන්දෙනා දන්නේ නැති නිසා කැරම් ගහන්න විදිහක් නැහැ. දෙවැන්නෙක් කැරම් ගහන්න ඉගෙන ගත් විට පළමුවැන්නාට වගේම දෙවැන්නාටත් ධනාත්මක බාහිරතාවයේ වාසිය ලැබෙනවා.
ඔහොම තියෙද්දී තුන්වැන්නෙකුත් කැරම් ගහන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ හතරවෙනියාට කැරම් ගහන්න බැරිවීම සෘණාත්මක බාහිරතාවක් වෙනවා. හතරවැනියාට කැරම් පුරුදු කරන්න ටිකක් මහන්සි වෙන එක අනෙක් තුන්දෙනාටම වාසියක්.
තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබා දෙන ගමේ පළමුවැන්නාට ඒ වෙනුවෙන් සැලකිය යුතු පිරිවැයක් දරන්න වෙනවා. නමුත් දෙවැනියෙක් එකතු වෙද්දී සාමාන්‍යයෙන් ඔය පිරිවැය වැඩි වුනත් දෙගුණ වෙන්නේ නැහැ. ඒ නිසා, එක් අයෙකුට යන වියදම අඩු වෙනවා. තව තව පිරිස් එකතු වෙද්දී ඔය වියදම තවතවත් අඩු වෙනවා. නමුත් මේ විදිහට වියදම ගොඩක්ම අඩු වුනාට පසුවත් ඒ වියදම දරාගන්න බැරි අය ඉතිරි වෙන්න පුළුවන්. එහෙම ඉතිරි වෙන්නේ එක් කෙනෙක් හෝ දෙන්නෙක්නම් ඒ ඉතිරි වන අයගේ වියදම අනෙක් අය එකතු වී සුබසාධනය කළා කියලා අනෙක් අයට පාඩු වෙන්නේ නැහැ. මොකද එහිදී එකතු වන ධනාත්මක බාහිරතාවයේ හෝ අඩු වන සෘණාත්මක බාහිරතාවයේ වාසිය වඩා වැඩියි.
ඉහත කී තත්ත්වයන් යටතේ දෙමවුපියන් විසින් තමතමන්ගේ දරුවන්ට වෙන වෙනම මූලික අධ්‍යාපනය දීමට වඩා එය පොදුවේ ලබා දෙන එක කාටත් වාසිදායක වෙනවා. හැබැයි මේ තර්ක සියල්ල අදාළ වෙන්නේ හැම දරුවෙකුටම සාර්ථක වැඩිහිටියෙකු වීම සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යාපනය හා අදාළවයි. විස්තර කළ තත්ත්වයන් අනුව, මූලික අධ්‍යාපනය ලබා දීමේ ආකෘතිය විදිහට පොදු අධ්‍යාපනය කියන එක ස්වභාවික ලෙසම ගොඩ නැගෙන දෙයක්.
ඔය වගේ තත්ත්වයක් ඇති වුනාට පස්සේ බොහොමයක් දෙමවුපියන් තමන්ගේ දරුවන්ට පොදු ආකෘතියක් තුළ ලැබෙන මූලික අධ්‍යාපනයෙන් සෑහීමකට පත් වෙනවා. මොකද ඔවුන් විසින් තනි තනිව තමන්ගේ දරුවන්ට මූලික අධ්‍යාපනය දෙන්න ගියානම් ඊට වඩා වැඩි මුදලක් වැය වෙනවා. බොහෝ විට එය දරාගන්න අමාරු මුදලක්. වෙනත් විදිහකින් කිවුවොත් තමන්ගේ දරුවන්ට පොදු අධ්‍යාපනය ලබා දෙන දෙමවුපියන් බොහොමයකට ඒ වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදලින් ඔවුන්ගේ දරුවන්ට ලබා දිය හැකි පෞද්ගලික අධ්‍යාපනයට වඩා හොඳ පොදු අධ්‍යාපනයක් ඊට වඩා අඩු මිලකට ලැබෙනවානම් එය වෙනස් නොවන ස්ථායී සමතුලිතතාවයක් බවට පත් වෙනවා.
ඉහත තත්ත්වය තුළ වුවත් තමන්ගේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් දෙන්න අවශ්‍ය, පොදු අධ්‍යාපනයෙන් සෑහීමකට පත් නොවන, දෙමවුපියන් ඉන්න පුළුවන්. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් වැඩි පිරිවැයක් දරන්න කැමති නැත්නම් එතැනින් එහාට කිසිවක් වෙන්නේ නැහැ. එහෙත් එසේ වැඩි පිරිවැයක් දරමින් තමන්ගේ දරුවන්ට පොදු අධ්‍යාපනයට වඩා වෙනස් ආකාරයක අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය දෙමවුපියන් සිටින විට මේ තත්ත්වය වෙනස් වෙනවා. එවැනි දෙමවුපියන්ගේ දරුවන් වෙනුවෙන් පොදු අධ්‍යාපනයට අමතර වෙනත් ආකෘතීන් බිහි වෙන්න පුළුවන්.
ඇමරිකාවේ මේ සඳහා උදාහරණ වන්නේ නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සහ පෞද්ගලික පාසැල්. ලංකාවේනම් ජාත්‍යන්තර පාසැල්.
තමන්ගේ දරුවන්ට මේ විදිහේ වෙනස් ආකෘතියක අධ්‍යාපනයක් ලබාදෙන දෙමවුපියන්ටත් සාමාන්‍යයෙන් පොදු අධ්‍යාපනයේ පිරිවැය දරන්න සිදු වෙනවා. හේතු දෙකක් නිසා එහි වැරැද්දක් නැහැ. පළමුව, ඔවුන්ටද තමන්ගේ දරුවන් වෙනුවෙන් පොදු අධ්‍යාපනය ලබා දීමේ අවස්ථාව විවෘතව තිබෙනවා. ඔවුන් එය ලබා නොගත්තත් ලබා ගැනීමේ හැකියාව වෙනුවෙන් “රක්ෂණ වාරිකයක්” ගෙවීමේ වැරැද්දක් නැහැ. දෙවනුව, අනෙක් අයගේ දරුවන්ට පොදු අධ්‍යාපනය ලබා දීමේදී බාහිරතා හරහා ඔවුන්ට වාසියක් ලැබෙනවා.
පැහැදිලි සමාජයීය අවශ්‍යතාවයක් නිසා මූලික අධ්‍යාපනය දරුවෙකුගේ අයිතියක් කියා සැලකීමේ වරදක් නැහැ. එම මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය දැරීමේ ප්‍රධාන වගකීම තිබෙන්නේ දරුවකුගේ දෙමවුපියන්ටයි. අනෙක් අතට සමාජයීය ලෙස අවශ්‍ය වන මූලික අධ්‍යාපනය කොපමණද යන්න තීරණය වන්නේ කිසියම් සමාජයක වැඩිහිටියන්ට ඔවුන්ගේ ඊළඟ පරපුරේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් දැරිය හැකි පිරිවැය කොපමණද යන්න මතයි.
ලංකාවේ දැනට පවතින විධිමත් අධ්‍යාපන ආකෘතිය ඇතුළේ මූලික අධ්‍යාපනය සේ හඳුනාගත හැක්කේ සාමාන්‍ය පෙළ දක්වා ලබා දෙන අධ්‍යාපනයයි. එතැනින් එහාට ලැබෙන අධ්‍යාපනය විශේෂිත අධ්‍යාපනයක්. ලංකාවේ අද සමාජය තුළ වැඩිහිටියෙකු වන දරුවෙකු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීම කිසිසේත්ම විශේෂ සුදුසුකමක් නෙමෙයි. එහෙත්, අඩු වශයෙන් එම මට්ටම දක්වා හෝ අධ්‍යාපනය නොලබන කෙනෙක් සැලකිය හැක්කේ සමාජය විසින් ඉල්ලන අවම මූලික අධ්‍යාපනය නොලැබූ අයෙකු ලෙසයි.
මෙම සීමාව වෙනස් නොවන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් වෙන්නේ කාලයත් එක්ක මේ අවම මට්ටම ඉහළ යන එකයි. වසර පණහකට පමණ පෙර ලංකාවේ මේ අවම මට්ටම අටවන ශ්‍රේණිය සමත් වීම හෙවත් අටපාස් වීම. නවවන ශ්‍රේණියේ සිට ලැබුණේ විශේෂිත අධ්‍යාපනයක්. පසුව මෙය වෙනස් වුනා.
ඇමරිකාවේ විධිමත් අධ්‍යාපන ආකෘතිය තුළ වසර දොළහක පාසැල් අධ්‍යාපනය (මෙන්ම පෙර පාසැල් අධ්‍යාපනය) සැලකිය හැක්කේ මූලික අධ්‍යාපනයක් ලෙසයි. ඊට අමතරව, සරසවි පාඨමාලාවක පළමු වසරේදීද මූලික පොදු අධ්‍යාපනයක ලක්ෂණ තිබෙනවා. මෙම මූලික පොදු අධ්‍යාපනය අඩු වැඩි වශයෙන් සරසවියක දෙවන වසර දක්වාම දිගු වෙනවා. විශේෂිත අධ්‍යාපනයක් ලැබෙන්නේ ඉන් පසුවයි. අවශ්‍ය අයෙකුට සාමාන්‍යයෙන් සරසවියේදී ලබා ගත යුතු මෙම අධ්‍යාපනය සරසවි යාමට පෙර පාසැලේදීම වුවත්, පොදු අධ්‍යාපනයේ කොටසක් ලෙස, ලබා ගත හැකියි.
(මතු සම්බන්ධයි)
~ ඉකොනොමැට්ටා
RN