සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආසියානු කණිෂ්ඨ දැල් පන්දු තරගාවලියට යනකොටම ලෝක කුසලානයට යන කෙනා කවුද කියලත් බෙදාගෙන හිටිය කියන කතාව ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණා.ඒ තරගාවලිය අසාර්ථක වුණේ ඇයි කියන කාරණයට පුහුණුකාරීණිය හැටියට හයසින්ත් විජේසිංහ පෙන්වා දුන් කරුණු වල සාධාරණ හේතු තිබෙනවා.පුහුණු බිමේ සිටම කාලය මදි වීම වැනි කාරණා එහිදී නොසළකා හැරිය නොහැකියි.
එහෙත් ලංකාවේ සාමාන්‍ය තත්ත්වය තමයි අසාර්ථකවීම කියන කාරණයට අදාළව සියලු පාපයන් තමන්ට එතරම් රුචි නොවන පුහුණුකාරියක්නම් ඇය පිට තබා ඇයව එම තනතුරෙන් පන්නා දැමීම.හයසින්ත්ට සමහර වෙලාවට ඒ දේ වෙන්න ඇති.හැබැයි හයසින්ත කියපු කාරණාවන්වල ඇත්ත පිළිඅරගෙන අමාත්‍යංශයටත් අමාත්‍යවරයටත් කරුණු පහදා දීලා ඒ අඩු පාඩු සකසාගෙන හයසින්ත් නොවන වෙනත් පුහුණුකාරියක් යටතේ හෝ වැඩ පටන් ගන්න තිබුණා. ඒ වෙනුවෙන් සටන් කරන්න තිබුණා.
ආසියා ජයගන්න මදි පහසුකම් ලෝකය ජයගන්න කොහොමත් මදිනෙ.මේ කාරණය හරිම සරලයි.ඒත් සැප්තැම්බර් මාසේ 19 සිට 29 වන දා දක්වා ජිබ්‍රෝල්ට්‍රාර්වේ යන්න කණ්ඩායමක් සකසා ගන්න කල්පනා වෙනවා.
මධ්‍යධරණී මුහුදෙන් අත්ලාන්තික් සාගරයට (ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය) පිටවීමට ආසන්නව පිහිටා ඇති උතුරින් ස්පාඤ්ඤය ට (කැම්පෝ ඩි ජිබ්‍රෝල්ටාර්) මායිම් භූමි ප්‍රමාණය කිලෝමීටර 6.8 (වර්ග සැතපුම් 2.6) ක් වන ජිබ්‍රෝල්ටාර්වේ ඉන්නෙ 34000 ක් පමණ මිනිස්සු ප්‍රමාණයක්.මේක එක්සත් රාජධානියට අයත් ස්වාධීන ආර්ථිකයක් ඇති සැපවත් රටක් හැටියට තමයි පිළිගැනෙන්නෙ.
අතීත අත්දැකීම් අනුව මෙවැනි සංචාරයක් අත හැර ගන්න අමාත්‍යංශය හෝ සංවර්ධන දෙපාර්තමේන්තුව කැමති නැහැ.සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකුත් මේ සංචාරයට යන්න විවිධ වගකීම් යටතේ ඉදිරිපත් වෙන්න නියමිතව ඇති.නැත්නම් අමාත්‍යවරයාගේ අවසරය ලබා ගන්නට සැළසුම් කරලත් ඇති.ඒ නිසා ආසියානු කරගාවලිය නිමා වී පැමිණ වහාම ආරම්භ කරන්න තිබුණ කණ්ඩායම තේරීම,පුහුණුකරු පත් කිරීම වැනි කාරණා ගැන උනන්දු නොවුණ නෙට්බෝල් නෝනලා ටික පුහුණුකරුවෙකු පත් කිරීම තව දුරටත් පමා කරමින් තේරීම් කමිටුවේ පස් දෙනාගෙන් දෙන්නෙක් විතරක් සහභාගි වෙලා යොවුන් නෙට්බෝල් කණ්ඩායමේ තේරීම් කරපු බවය ආරංචිය.තේරීම් කමිටුවේ පහෙන් දෙකක් කියන්නෙ භාගයක්වත් නෙමෙයි. පාසල් දැල්පන්දු සංගමයේ සාමාජිකාවකට එන්න කියලා ප්‍රමාණය තුනක් කරගෙන ලෝක කුසලානයකට යන ජාතික කණ්ඩායමක් තෝරා ගැනීමට කටයුතු කිරිම කොයිතරම් වගකීම් සහගත වැඩක් ද?
අනික ජාතික පුහුණුකාරියක් නැතුව ඇයගේ අදහස් සහ උවමනාවන් නොමැතිව කණ්ඩායමක් තෝරා දිම සාධාරණ ද?ඒක හරියට නෝනාවරු සිරියට උඩින් යට ඇඳුම ඇඳගෙන යනවා වගේ වැඩක්.හැබැයි වැඩ සිද්ධ වෙන්නෙ මේ විදිහටනම් ඒකට කියන්න තියෙන්නෙ ඇඳුම මාරු කරගෙක යනවා වගේ කතාවකකුත් නෙමෙයි.රෙදි නැතුව වැඩ කරනවා වගේ කතාවක්.
ක්‍රීඩා ඇමති මෙන්ම ක්‍රීඩාව කරපු කෙනෙක් වන නියෝජ්‍ය ඇමතිවත් මේකට මැදිහත් වෙලා ආසියානු තරගාවලියෙ කරන්න බැරි වුණ දේවල් ටික සුගතදාසයට එහෙම කතා කරලා අරගෙන දීලා කණ්ඩායමට පුහුණුකාරියක් පත් කරලා මේ කණ්ඩායම තෝරන වැඩේ විධිමත්ව කරන්න පුළුවන්නම් හොඳයි.ක්‍රීඩා ඇමතිවරයාට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරයාත් මේකට සම්බන්ධ කරේ අපගේ මාධ්‍ය භාවිතාවන් ගැන කේලම් විදිහට නැතුව අත්දැකීමෙන් විඳ ඇති කෙනෙක් හැටියට සහ මෙවැනි සෙල්ලම් ගෙවල් පන්නයේ තේරිම්වලට විරුද්ධව කතා කරන්නට එක පිළක සුගත් තිලකරත්නත් සිටිය නිසයි.