සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ කැනඩාව ඇතුළු රටවල් කිහිපයක්, ඊශ්‍රායලය විසින් ගාසාහි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති (West Bank) E1 ජනාවාස ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබේ.
ඊශ්‍රායල බලධාරීන් E1 ප්‍රදේශයේ නව නිවාස 1,200කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමත් සමඟ මෙම විරෝධය එල්ල වී ඇත.
මෙම ප්‍රදේශය නැගෙනහිර ජෙරුසලම සහ West Bank අතර පිහිටීම හේතුවෙන්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් අනාගත පලස්තීන රාජ්‍යයක් සඳහා අවශ්‍ය භූගෝලීය සම්බන්ධතාවට බරපතළ බලපෑමක් එල්ල විය හැකි බව එම රටවල් පෙන්වා දෙති.
එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ කැනඩාවට අමතරව නෙදර්ලන්තය සහ නෝර්වේ ද ඒකාබද්ධ ප්‍රකාශයට එක්ව තිබේ. එම රටවල් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ E1 සැලසුම් වහාම ඉවත් කර West Bank හි ජනාවාස ව්‍යාප්තිය නතර කරන ලෙසයි.
මෙම රටවල් අවධාරණය කරන්නේ West Bank හි ජනාවාස ව්‍යාප්තිය ද්වි-රාජ්‍ය විසඳුමට (Two-State Solution) හා සාම ක්‍රියාවලියට බරපතළ ලෙස බලපාන බවයි. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද E1 ව්‍යාපෘතිය අඛණ්ඩ පලස්තීන රාජ්‍යයක් සඳහා වන තර්ජනයක් ලෙස හඳුන්වා තිබේ.

