රෂිකා හෙන්නායක අගෝස්තු 21 , කොළඹ LNW :
මීට වසර හතරකට පෙර, දකුණු කොරියාවේ බස්නාහිර වෙරළට ඔබ්බෙන් වූ කහ මුහුදේ (Yellow Sea) ගමන් කරමින් තිබූ ධීවර බෝට්ටුවක සිටි ශ්‍රී ලාංකික බහුදින ධීවර ශ්‍රමිකයන් තිදෙනෙකු, ගිනිගෙන කඩා වැටුණු ප්‍රහාරක යානයක සිටි ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු දැක තිබුණි.
බෝට්ටුවේ දකුණු කොරියානු කප්පිතාන්වරයා සමඟ එක්ව ක්‍රියා කළ ඔවුන්, එම නියමුවන් දෙදෙනා වතුරෙන් ගොඩගෙන සුරක්ෂිතව බේරාගැනීමට කටයුතු කළහ.
පසුගිය සිකුරාදා, එම ජීවිත බේරාගැනීමේ වීරක්‍රියාව හේතුවෙන් එම පුද්ගලයන් දෙදෙනෙකුට දකුණු කොරියාවේ දීර්ඝ කාලීනව රැඳී සිටීමේ වරම හිමි විය.
ජීවිත බේරාගනිමින් “ජාතික අභිලාෂයන් උදෙසා දක්වන ලද සුවිශේෂී දායකත්වය” ඇගයීමට ලක් කරමින්, එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට රට තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීමට හැකි වන පරිදි ‘නිපුණ ශ්‍රමික වීසා’ (Skilled-worker visas) ලබා දුන් බව දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය පැවසීය. අනෙක් තෙවැනි ගලවාගන්නා ඒ වන විටත් දීර්ඝ කාලීන පදිංචි වීසා බලපත්‍රය ලබාගෙන තිබුණි.
මෙම ගලවාගැනීමේ සිදුවීම 2022 අගෝස්තු 12 වන දින සෝල් නුවරට කිලෝමීටර 45 ක් පමණ දකුණින් පිහිටි හ්වාසොං (Hwaseong) වෙරළට ඔබ්බෙන් සිදුවිය. එන්ජිමේ හටගත් ගින්නක් හේතුවෙන් ප්‍රහාරක යානය කඩා වැටීමෙන් පසු, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිටි ධීවර යාත්‍රාවට මෙම ගුවන් නියමුවන් හමු වී තිබුණි.
එම අවස්ථාවේදී, මෙම පුද්ගලයන් තිදෙනාම රැකියා බලපත්‍ර පද්ධතිය (EPS) යටතේ E-9 වීසා සහිතව දකුණු කොරියාවේ සේවය කරමින් සිටි අතර, එම වීසා සාමාන්‍යයෙන් නිකුත් කරනු ලබන්නේ ශ්‍රම හිඟයකට මුහුණ දෙන ක්ෂේත්රවල විදේශීය ශ්‍රමිකයන් සඳහාය. මෙම පදනම යටතේ ශ්‍රමිකයන්ට උපරිම වශයෙන් වසර හතරයි මාස 10 ක කාලයක් රැඳී සිටීමට අවසර ලැබේ.
පසුගිය සිකුරාදා E-7-4 නිපුණ ශ්‍රමික තත්ත්වය හිමිවූ පුද්ගලයන් දෙදෙනාට ආරම්භක පියවරක් ලෙස වසර දෙකක් දක්වා දකුණු කොරියාවේ රැඳී සිටිය හැකිය. ඉන්පසු කිසිදු සීමාවකින් තොරව වසර දෙකෙන් දෙකට එම වීසා බලපත්‍රය දීර්ඝ කරගත හැකි අතර, එමගින් ඔවුන්ගේ පෙර තාවකාලික ශ්‍රමික තත්ත්වයට වඩා බෙහෙවින් ස්ථාවර ජීවිතයක් ගත කිරීමට මග පෑදේ.
"අපගේ සමාජයට විශේෂ දායකත්වයක් ලබා දුන් විදේශිකයන්ට රට තුළ ස්ථාවරව ජීවත් විය හැකි වන පරිදි අපි ඉදිරියටත් සහාය දක්වනවා," යැයි අධිකරණ අමාත්‍ය ජුං සුං-හෝ (Jung Sung-ho) පැවසීය.
මෙම තීරණය ගෙන ඇත්තේ එම පුද්ගලයන්ගේ ක්‍රියාව නිල වශයෙන් ඇගයීමට ලක්කළ තවත් අවස්ථාවකට පසුවය. ගුවන් නියමුවන් දෙදෙනා බේරා ගැනීමට උපකාර කිරීම වෙනුවෙන් පසුගිය මැයි මාසයේදී ඔවුන්ට ගුවන් හමුදාපතිවරයාගෙන් ප්‍රශංසා පත්‍රයක් ද හිමිවිය.
මෙම ශ්‍රමිකයන් තිදෙනාට වසර හතරකට පෙර සාමාන්‍ය දිනයක් ලෙස ඇරඹි එම පියවර, අවසානයේ ජීවිත දෙකක් බේරාගැනීමට පමණක් නොව, දකුණු කොරියාව තුළ ඔවුන්ගේම ජීවිතවල ගමන් මග වෙනස් කිරීමට ද සමත් වූ වීරක්‍රියාවක් බවට පත් විය.

