*
Monday, May 6, 2024
spot_img

Latest Posts

සිහිනය මියයා යුතුද මේ ලෙසින් ….

ලොවක් කතා කළ ලොලිටා, හෙවත් පනස් හත් වැනි වියේ පසු වූ මියාමි සමුද්‍ර මත්ස්‍යාගාරයේ සංදර්ශන තල්මස් ධේනුව, පස් දශකයක් ඉක්මවූ සිය සිරකාර දිවිය අවසන් කර යළි මුහුද දකින දිනය පෙනෙන මානයේ තිබියදී නිදහස නොදැකම සිය දෙනෙත් පියාගත්තා ය.

සිය ස්වභාවික උරුමයෙන් උදුරාගනු ලදුව සිරකාරියක බවට පත්කළ සත්ත්වයෙකු, සිය කැමැත්තට විරුද්ධ හැසිරීමක බලහත්කාරයෙන් යොදවනු බලා පිනා ගිය මිනිසුන් පිනවමින් ඈ පනස් තුන් වසරක සිරකාර දිවියක් ගෙවා දැමූ මියාමි සමුද්‍ර මත්ස්‍ය උද්‍යානය ඇගේ සදාතනික නිදහස් වීම අගෝස්තු 18 වනදා නිවේදනය කළේ ය.

ටෙඩ් ග්‍රිෆින් සහ ඩොන් ගෝල්ඩ්ස්බරි විසින්, සමුද්‍ර උද්‍යාන සඳහා මත්සයන් අල්ලා විකිණීමේ ව්‍යාපාරයේදී, 1970 වර්ෂයේ අගෝස්තු 08 වැනිදා අල්ලාගනු ලබද්දී ලොලිටා සිව් හැවිරිදි වියේ පසුවූවා ය. ඒ චාරිකාවේදී අල්ලාගෙන, සමුද්‍ර උද්‍යාන සහ සමුද්‍ර ක්ෂීරපායි උද්‍යානවල මිනිසුන් පිනවීම සඳහා ‘සර්කස්කරුවන් සහ සර්කස්කාරියන්’ ලෙස විකුණා දැමූ කුඩා ඕර්කා තල්මස් පැටවුන් සත් දෙනාගෙන් අයෙකු වූ ලොලිටා ලද මුල් නම වූයේ ‘ටෝකිටේ’ ය. ඔරිගොන් සහ වොෂිංටන් ජනපදවල කුඩා පිරිසක් අතරේ භාවිත වන චින්කුක් භාෂාවෙන් ටෝකිටේ යනු ‘දීප්තිමත් සහ වර්ණවත් දවස’ ය.

මියාමි මුහුදු මත්ස්‍යාගාරයට ඩොලර් 20,000 ක මිලට විකුණා දැමූ ටෝකිටේ ට එහිදී දිවි ගෙවන්නට සිදු වන්නේ තල්මස් බඳුන ලෙසින් නම් දුන් අඩි 80 ක් දිග සහ අඩි 35 ක් පළල ටැංකියක ය. එහි ඒ වන විටත් වාසය කළ හියුගෝ නම් වැඩිහිටි පිරිමි තල්මසාගේ සහකාරිය බවට පත්වන ටෝකිටේ, ව්ලැඩ්මීර් නබකොව්ගේ ලොලිටා කෘතියේ කතා නායිකාවගේ නම ලබන්නේ, ඇයත් – හියුගෝත් අතර වූ සුවිසල් වයස් පරතරය හේතුවෙනි.

සංදර්ශන සඳහා පුහුණු කරවනු ලැබූ ලොලිටා, හියුගෝ සමඟ ගෙන ගියේ මිත්‍රශීලි සහ ඇතැම් මොහොතවල්වල කලහකාරී සබැඳියාවකි. ඇතැම් කාලවල ඔවුන්ගේ ප්‍රේමාලිංගන නිසා සංදර්ශන අතරමග නවතා දැමිණි. ඇතැම් කාලවල එකිනෙකා හා පහර දීගැනීමෙන් ඇති වූ තුවාලවලට ප්‍රතිකාර කෙරිණි.

නිස්කාරනේ අත්අඩංගුවට ගනු ලදුව සිරකාර ජීවිතයක් හිමි ඕනෑම ජීවියෙකු අත්විඳින මානසික වේදනා සහ පීඩා ඕර්කා තල්මසුන්ට ද තිබේ. සත්‍යවශයෙන් ම මේ කුඩා සබ්මැරීන බඳු සතුන් ඔවුන්ගේ ශරීර පරිමාවට කොහෙත්ම නො ගැළපෙන ටැංකි තුළ, එකම ආකාරයට පිහිනමින්, එකම දර්ශනය දකිමින්, එකම ආකාරයට දීර්ඝ කාලයක් ගෙවා දැමීම නිසා දැඩි මානසික අවපීඩන තත්ත්වයකට පත්වෙති. එමෙන් ම ඕර්කාවන්, තමන්ට සිදුවී ඇති දෙය පිළිබඳ යම් වටහා ගැනීමක් ඇති කරගැනීමට තරම් බුද්ධිමත් සතුන් වීම නිසා මේ පීඩාව තවත් දරුණු ය.

දීර්ඝ කාලීන සිරගත ජීවිතය විසින් ඇතිකළ මානසික අවපීඩනය නිසා තම සිරකාර ටැංකියේ බිත්තිවල සිය හිස වේගයෙන් ගසා ගැනීමට හියුගෝ පුරුදුවී සිටියේ ය. මේ නිසා ම ඇති වූ මොලයේ ඇනියුරිස්ම තත්ත්වය නිසා හියුගෝ 1980 දී මිය යන්නේ ය. ඉන් පසුව ටැංකියට වරින් වර වෙනත් සාමාජිකයන් පැමිණි අතර, ලොලිටා සිය සිරගත නිවස්නේ සාපේක්ෂව ‘හැරෙන්නටවත්’ ප්‍රමාණවත් නොවූ ඉඩ ඔවුන් හා බෙදා ගත්තා ය.

හියුගෝ ගේ මියයාමත් සමඟ ලොලිටා ගේ ඉරණම පිළිබඳව කතාබහක් ඇති වූ අතර, දෙදහ ශතවර්ෂයේ ගෙන ආ නව සත්ත්ව ආරක්ෂණ නීති සහ සත්ත්ව හිමිකම් නීති ද සමඟ ලොලිටාගේ සිරකාර ජීවිතය අවසන් කිරීම පිළිබඳව දැඩි සංවාද රැසක් ඇති විනි. ‘ලොලිටාගේ මිතුරෝ’ නම් සංවිධානය විසින් ලොලිටාව යළිත් පැසිෆික් සාගරයට නිදහස් කිරීම වෙනුවෙන් යන වියදම් දැරීම සඳහා අරමුදලක් පිහිටවූ අතර, ඉතාම කෙටි කාලයක් තුළදී එයට සුවිශාල මුදලක් එකතු කර දීමට ලොව පුරා සත්ත්ව සංවිධාන කටයතු කළ හ. එහෙත් ප්‍රශ්නය වූයේ ඒ වන විටත් දශක තුනකට වඩා කාලයක් ටැංකියක් තුළ සිරකාරියක වී සිටීම නිසා ම, තල්මසුන් සතු වන දඩයම් කිරීමේ සහ ස්වභාවික පරිසරයේ අවදානම්වලට මුහුණ දීමේ හැකියාව ලොලිටාගෙන් ගිලිහී ගොස් තිබීම ය. ඒ නිසා වඩාත් යහපත් සහ ප්‍රායෝගික වන්නේ ලොලිටා ඇයව උදුරාගනු ලැබුණු ඇගේ නිජබිම වූ පැසිෆික් සාගරයේ ම පිහිටි,බලධාරීන් විසින් නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කෙරෙන සමුද්‍ර අභයභූමියකට නිදහස් කිරීම බවට තීරණය කෙරිණි. එහෙත් මේ වෙනුවෙන් වූ නීතිවල අඩුපාඩු තිබිණි. තල්මසෙකු නිදහස් කිරීමේ නීතිමය කටයුතු සිදු වූයේ ඉබි ගමනෙනි.

2021 අගෝස්තු මාසයේදී ලොලිටා සිරගත කර සිටි මියාමි සමුද්‍ර මත්ස්‍යාගාරය විකුණා දැමුණු අතර, එහි නව හිමිකරුවන් ලොලිටාව පැසිෆික් සාගරයේ පිහිටි සමුද්‍ර අභයභූමියකට නිදහස් කිරීම සඳහා, ඒ වනවිට ‘ටෝකිගේ මිතුරෝ’ ලෙස නම වෙනස් කර තිබුණු ‘ලොලිටාගේ මිතුරෝ’ සංවිධානය සමඟ, 2023 මාර්තු 30 ගිවිසුම් ගත වූහ. 2023 මාර්තු මාසය වන විට ලොලිටා රැකබලා ගැනීම වෙනුවෙන් මියාමි සමුද්‍ර මත්ස්‍යාගාරයේ ආසික වියදම මසකට ඇමරිකානු ඩොලර් විසි දහස ඉක්මවා තිබිණි.

සියල්ල නිසි ලෙස සිදු වුණි නම්, තවත් මසක් හෝ ඊට ආසන්න කාලයකදී ලොලිටා සිය අවසන් නවාතැන ලෙස, ඇය උපන් පැසිෆික් සාගර ජලයේ සමුද්‍ර අභයභුමියට මුදා හැරෙන්නට නියමිතව තිබිණි. එහෙත් සියල්ල අවසන් වූයේ එලෙස නොවේ.

මියාමි සමුද්‍ර මත්ස්‍යාගාර බලධාරීන්ට අනුව, ලොලිටාගේ මරණයට හේතුව වකුගඩු අකර්මන්‍ය වීම ය.
පහත අමුණුමේ ඇති ඡායාරූපයේ දැක්වෙන්නේ ඇගේ මළ සිරුර මින් මැදුරෙන් පිටතට ගණන ආකාරය ය. පැසිෆික් සාගර අභයභූමිය වෙත ගෙන යාම සඳහා ඇයව ටැංකියෙන් පිටතට ගැනීමට නියමිතව තිබුණේ ද මෙවන් වූ මෙවලමක් ආධාරයෙනි.

නිරපරාදේ පනස් තුන් වසරක් සිරබත් කෑ සිරකාරියක ජීවිතයෙන් සමුගත් පුවත අසා ඇයට සුබ ගමන් යයි කියන්නද එසේ නැත්නම් නිත්‍ය සැනසීම පතන්නද යයි වන අලින් ඇතුළු වන සතුන්ගේ නිදහස පිළිබඳව විවාද කෙරෙන – මානව නිදහස ද විවාදයක් වන රටක සිට අසමි. ලොලිටා හෙවත් ටෝකිටේ 1970 අගෝස්තු 08 ඇරඹි ඇගේ සිර දඬුවම පස් දශකයකට පසුව 2023 අගෝස්තු 18 දා අවසන් කළ බව බරැති ශෝකයෙන් සහ ඒ සමඟම දැනෙන, ඈ කෙසේ හෝ ලද නිදහස පිළිබද අල්ප සැනසීමකින් ලියා තබමි.

~ සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan