*
Friday, November 22, 2024
spot_img

Latest Posts

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද ?

ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් හෝ වෙනත් ඕනෑම වියදම් වැඩි කිරීමක් සිදු කරන්න වෙන්නේ ඔය සීමාවට යටත්වයි. (එසේ කිරීමේ හැකියාව ගැන පෙර ලිපි වල විස්තර කළා.)

ඔය 13% සීමාව එන්නේ සති කිහිපයකට පෙර රටේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුවයි. එම පණතේ 15 (1) වගන්තියේ සඳහන් කොට ඇති පරිදි “ආණ්ඩුවේ ප්‍රාථමික වියදම් අදාළ මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහතුනක ප්‍රතිශතයක් නොඉක්මවිය යුතුය.”

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත දැන් රටේ නීතියක් නිසා ආණ්ඩුව මාරු වුනත් මේ සීමාව තවදුරටත් වලංගුයි. නමුත්, මෙය සාමාන්‍ය පණතක් නිසා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පහසුවෙන්ම සංශෝධනය කරන්න පුළුවන්.

පණත ගෙනාවේ රනිල් කඳවුර නිසා රනිල්ට පක්ෂපාතී කණ්ඩායමක් දිගටම බලයේ හිටියොත් ඔය සීමාව වෙනස් වෙන්න හේතුවක් නැහැ. නමුත් රජයේ වියදම් කොපමණද කියා තීරණය කරන එක බලයේ සිටින ආණ්ඩුවේ අයිතියක්. ජනතාව ආණ්ඩුවක් බලයට පත් කරන්නේ ඒ අයිතිය ඔවුන්ට ලබා දීලයි. ඒ වගේම, එය පවතින ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය අනුව සිදු වෙන දෙයක්.

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුවත්, ඒ නැතත්, රටේ ණය තිරසාරත්වය ඇති කරගෙන ඉතා ඉක්මණින් නැවත ආර්ථික අර්බුදයකට නොයා සිටීම සඳහාත්, අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්නම වෙනවා. සජිත් කඳවුර වගේම මාලිමා කඳවුරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුමෙන් ඉවත් වන බවක් කියා නැහැ. ඒ වගේම, ඔය කණ්ඩායම් දෙකෙන් එකක්වත් ඉතා ඉක්මණින් රට නැවත ආර්ථික අර්බුදයකට යන විදිහේ වැඩක් දැන දැන, හිතාමතා කරන එකක් නැහැ.

පවතින තත්ත්වයන් යටතේ නැවතත් රටේ ආර්ථිකය අස්ථාවර වෙන්න යනවා කියන්නේ ඊට කලින්ම පවතින ආණ්ඩුව අස්ථාවර වෙනවා කියන එක. දේශපාලන කඳවුරක් අමාරුවෙන් බලය ලබාගන්නේ ලේසියෙන් බලය අත හැර යන්න නෙමෙයි. ඒ නිසා, ඔය කවුරු බලයට ආවත්, තම තම නැණ පමණින්, “කරන දෙයක් පරිස්සමෙන්” කරයි කියලයි මම හිතන්නේ.

රජය ක්‍රමයෙන් කුඩා කරමින් රාජ්‍ය වියදම් දිගටම 13% සීමාවේ පවත්වා ගැනීම රනිල්ගේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය බවයි පෙනෙන්න තියෙන්නේ. නමුත් සජබ විසින් මේ සීමාව ඕනෑවට වඩා සීමාකාරී එකක් බව කිහිප තැනකම සඳහන් කර තිබෙනු දැක්කා. මාලිමාවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති එක්ක මේ සීමාව කොහොමටවත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා, ඔය කඳවුරු දෙකෙන් එකක් බලයට ආවොත් 13% සීමාව ඉහළ දමන්න ඉඩ තිබෙනවා.

පවතින ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය මත පදනම්ව ඇති 13% සීමාව වැඩි කරන එක ඒ හේතුව නිසාම ප්‍රශ්නකාරී වෙන්නේ නැහැ. මොකද කුඩා රජයක් පවත්වා ගෙන යාම කියන එකෙන් නියෝජනය වන්නේ එක් ආර්ථික-දේශපාලන ධාරාවක් පමණයි. නමුත් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තය එවැන්නක් නෙමෙයි. එය මේ වෙද්දී ලංකාව ඉන්න තත්ත්වයත් එක්ක අනිවාර්ය අවශ්‍යතාවයක්.

රජයේ ප්‍රාථමික වියදම් 13%නම් (මේ කියන්නේ දදේනි අනුපාත ගැන), 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම අවම වශයෙන් 15.3% දක්වා වැඩි කරගන්න වෙනවා. ඒ කියන්නේ, ඔය 13% සීමාව් වැඩි කර ගත්තත්, රාජ්‍ය ආදායම 15.3% මට්ටමට යන තුරු 13%කට වඩා වියදම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

රනිල්ගේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය බව පෙනෙන්නේ රාජ්‍ය ආදායම 15.3% මට්ටමට අරගෙන දිගටම ඒ මට්ටමේ දිගටම පවත්වා ගෙන යන එක. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන වැඩපිළිවෙළේ ඉලක්කයත් ඒකයි. මේ ඉලක්කයට ඉදිරි (2025) වර්ෂය තුළම වුනත් යාමේ හැකියාවක් තිබෙනවා. එසේ යා හැකි වුවහොත්, ඉන් පසුව තව දුරටත් බදු වැඩි කරන්න අවශ්‍ය වන්නේ නැහැ.

මාලිමා කඳවුර විසින් කිහිප තැනක කියා තිබුණු විදිහට ඔවුන්ගේ ඉලක්කය රාජ්‍ය අදායම මීට වඩා ඉහළ මට්ටමකට අරගෙන යන එක. රාජ්‍ය අදායම තිරසාර ලෙස වැඩි කරගත හැකිනම්, 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගනිමින්, රාජ්‍ය වියදමත් වැඩි කරන්න පුළුවන්. ඒ විදිහේ වෙනසකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ වෙන එකක් නැහැ. මොකද ලංකාවේ වාමාංශික කඳවුර විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “නව ලිබරල්” ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ලෙස හැඳින්වුවත්, අරමුදල විසින් දිගින් දිගටම පෙන්වා දී තිබෙන්නේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි.

ඔය කතාව සජිත් කඳවුර ඇතුළු වෙනත් ඕනෑම කඳවුරකට අදාළයි. දැනට යෝජිත 15.3% සීමාවෙන් එහාට රාජ්‍ය ආදායම ගෙන යා හැකිනම් වැඩියෙන් වියදම් කරන්නත් පුළුවන්. ඒක රටේ මිනිස්සුන්ගේ බහුතර කැමැත්ත අනුව තීරණය විය යුතු දෙයක්. නමුත් දැනට තිබෙන ප්‍රශ්නය 15.3% සීමාවට යන එකයි.

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම අත්සන් කළේ 2023 මාර්තු වලදීනේ. රනිල්ට බලය ගියේ 2022 ජූලි. මහ බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ ලොකු පුටු මාරු වුනේ ඊටත් මාස කිහිපයකට කලින්. නමුත් ඔය දේවල් වෙන්න කලින්, 2021දීත් යම් බදු වැඩි කිරීම් යෝජනා කළා. එහෙම නොකළානම් දදේනි අනුපාතයක් විදිහට රාජ්‍ය ආදායම් වැඩි වෙන්න තිබුණේ පහත ආකාරයටයි. මේ බදු නොවන ආදායම් කොටසද ඇතුළත්ව.

2023 – 6.8%

2024 – 7.6%

2025 – 8.1%

දැන් ඔය විදිහට කිසිම බදු වැඩි කිරීමක් කළේ නැතත් අවුරුද්දෙන් අවුරුද්ද බදු ආදායම් ඉහළ යනවා. ඊට හේතුව නාමික දළ දේශීය නිෂ්පාදිතය වැඩිවීම. එය සිදු වෙන්නේ ආර්ථික වර්ධනය නිසා වෙන්නත් පුළුවන්. උද්ධමනය නිසා වෙන්නත් පුළුවන්. හේතුව ඔය දෙකෙන් කොයි එක වුනත් බදු ආදායම් වැඩි වෙනවා.

ඕනෑනම් මේක වෙන්නේ බදු කැපීම නිසා එහි උදවුවෙන් ආර්ථිකය වර්ධනය වීමෙන් කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. ඒක එහෙම වුනත් නොවුනත්, 2025 වෙද්දී යා හැකිව තිබුණේ 8.1% සීමාවට පමණයි.

ඔය තත්ත්වය හමුවේ, ආර්ථික අර්බුදය එන්න කලින්ම, 2021දී යම් බදු වැඩි කිරීම් යෝජනා කළානේ.

  • මූල්‍ය සේවා මත අය කරන වැට් බද්ද වැඩි කිරීම
  • සමාජ සංරක්ෂණ බද්ද
  • නිෂ්පාදන බදු වැඩි කිරීම

ඔය බදු වැඩි කිරීම් වලින් රාජ්‍ය ආදායම තවත් 1%කින් වැඩි කරගන්න පුළුවන්කමක් තිබුණා. විශේෂයෙන්ම සමාජ සංරක්ෂණ බද්දෙන්.

2023 – 7.8%

2024 – 8.6%

2025 – 9.1%

නමුත් තවමත් හැරෙන්නවත් මදිනේ. හැබැයි 2022දී යෝජනා වූ බදු ප්‍රතිසංස්කරණ වලින් තත්ත්වයේ විශාල වෙනසක් සිදු වුනා. මේ බදු ප්‍රතිසංස්කරණ සියල්ල යෝජනා වුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම අත්සන් කරන්න කලින්. ඊට පස්සේ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු වෙනස් වුනේ මේ විදිහට.

2023 – 11.0%

2024 – 13.2%

2025 – 14.9%

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක් අත්සන් කරන්න කලින්ම ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඔය ව්දිහට බදු ප්‍රතිසංස්කරණ යෝජනා කරලා සහ එයින් වැඩි කොටසක් ක්‍රියාත්මක කරලා රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබීම රටට ඉක්මණින් ගොඩ එන්න විශාල උදවුවක් වුනා.

ඉහත 2022 බදු ප්‍රතිසංස්කරණ යෝජනා බොහොමයක් ඉතා ඉක්මණින් සිදු කිරීමට නියමිතව තිබුණත් තෑගි හා උරුම බද්දත්, වත්කම් බද්දත් අය කරන්න අදහස් කර තිබුණේ 2025 සිටයි. ඊට හේතුව මේ බදු අය කරන්න කලින් රටේ දේපොළ පිළිබඳ නිවැරදි තක්සේරු සිදු කර අවසන් කළ යුතු වීමයි. 2025 රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවෙන් 1.2%ක් ආවේ ඔය බදු දෙකෙන්. ඒ දෙක නැතිව තත්ත්වය මේ වගේ.

2023 – 11.0%

2024 – 13.2%

2025 – 13.7%

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේක්ෂා කරන පරිදි රාජ්‍ය ආදායම 15.3% මට්ටමට එසවිය යුත්තේ පහත ආකාරයටයි.

2025 – 15.0%

2026 – 15.1%

2027 – 15.2%

2028 සිට ඉදිරියට – 15.3%

නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පළමු විමර්ශනය සිදු කරද්දී, ඒ වෙද්දී පැවති ප්‍රගතිය අනුව, පේන්න තිබුණේ මේ වගේ තත්ත්වයක්.

2023 – 10.1%

දැන් මේ තත්ත්වය අනුව 2023 ඉලක්කය වූ 11.0%ට යන්න 0.9%ක අඩුවක් තියෙනවනේ. 2023 ඉලක්කයට යන්නේ නැතිව 2024 හා ඉන් ඉදිරියට ඉලක්ක වලට යන්නත් බැහැ. වැට් බද්ද 18% දක්වා වැඩි කළේ ඒ අඩුව හදා ගන්න. කලින් කියපු 2022 බදු ප්‍රතිසංස්කරණ අනුව වැට් බද්ද වැඩි කිරීමට නියමිතව තිබුණේ සහ වැඩි කර තිබුණේ 15% දක්වා පමණයි. වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමෙන් පසුව 2024දී 12.9% මට්ටමට යන්න පුළුවන් වෙයි කියන එකයි ඇස්තමේන්තුව වුනේ. ඒක වුනත් 13.2% මට්ටමට වඩා අඩු වුනත් කිට්ටුවට හරි යනවනේ.

කොහොම වුනත් 2023 දෙවන භාගයේදී බදු ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වූ නිසා අන්තිමට 2023 අපේක්ෂිත ඉලක්කය වූ 11.0%ට යන්න පුළුවන් වුනා. ඒකට 2024 සිට වැට් වැඩි කිරීම නිසා ලැබෙන ආදායමද එකතු කළ විට දැන් තත්ත්වය මෙවැන්නක්.

2024 – 13.5%

මේ අනුව, 2025 ඉලක්කය වන 15.0%ට යන්න තවත් අඩු 1.5%ක් පමණයි. වාහන ආනයනයට ඉඩ දුන් පසුව එයින් 0.8%ක් එකතු වෙනවා. වැට් බදු පැහැර හරින අයගෙන් එම බදු අය කර ගැනීම සඳහා දැනට ගන්නා ක්‍රියාමාර්ග වලින් තවත් 0.3%ක් එකතු වීමට නියමිතයි. ඒ අනුව, තවත් අඩු 0.4%ක් පමණයි.

දැන් මම කලින් කිවුවනේ 2022 බදු ප්‍රතිසංස්කරණ යෝජනා අනුව 2025 සිට තෑගි හා උරුම බද්දක් සහ වත්කම් බද්දක් පැනවීමට සැලසුම් කර තිබුණු බව සහ එමගින් 1.2%ක් එකතු කරගන්න යෝජනා වී තිබුණු බව. නමුත් දැන් ඒ තරම් අඩුවක් නැහැ. තව අඩු 0.4%ක් පමණයි. ඒ අනුව, රජය විසින් අරමුදලට යෝජනා කර තියෙන්නේ අර කලින් කියූ බදු දෙක වෙනුවට වෙනත් බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් මගින් ඔය 0.4% අඩුව හදාගන්න. රුපියල් වලින්නම් බිලියන 136ක් පමණ.

මේ සඳහා “ආරෝපිත ගෙවල් කුලී” බද්දක් අලුතෙන් හඳුන්වා දෙන්න නියමිතව තිබෙනවා. එමගින් තව 0.15%ක් එකතු කරගන්න පුළුවන්. රුපියල් බිලියන 51ක් පමණ.

තමන් පංදිචි නිවසට අමතරව සමහර අයට තවත් ගෙවල් තිබෙනවා. ඒ අමතර ගෙවල් කුලියට දී තිබේනම්, එසේ ලැබෙන ආදායම වෙනුවෙන් කොහොමටත් ආදායම් බදු ගෙවන්න වෙනවා. කොහොමටත් කිවුවට මුළු ආදායම අවම ආදායම් බදු සීමාවෙන් එහාට යන අයට පමණයි. නමුත් එවැනි අමතර ගෙවල් කුලියට දී නැත්නම් ආදායමක් නොලැබෙන නිසා බද්දක් ගෙවන්න අවශ්‍ය වන්නේ නැහැ.

දැන් මේ අලුත් බද්ද හඳුන්වා දුන් පසුව එවැනි අමතර ගෙයක් කුලියට නොදුන්නත්, කුලියට දීමෙන් ලබා ගත හැකි ආදායම ඇස්තමේන්තු කරලා එම “ලබා ගත හැකි” ආදායම වෙනුවෙන් බද්දක් ගෙවන්න වෙනවා. මේකත් වත්කම් බද්දක් වගේම තමයි. නමුත් වෙනස්කම් දෙකක් තිබෙනවා.

පළමු වෙනස මේ බද්දට යටත් වන්නේ කෙනෙකුගේ වත්කම් වලින් එක් වර්ගයක් පමණයි. ඒ නිසා, අය කර ගැනීම වඩා පහසුයි. හැබැයි අපේක්ෂිත ආදායම කලින් යෝජනා වූ බදු ක්‍රම වලින් ලබා ගත හැකි වූ ප්‍රමාණයෙන් අටෙන් එකක් පමණයි.

දෙවන වෙනස නීතිමය වෙනසක්. ලංකාවේ දැනට පවතින නීතිය අනුව දේපොළ බදු අය කළ හැක්කේ පළාත් සභා වලටයි. ඒ නිසා, මධ්‍යම රජය විසින් දේපොළ බද්දක් පැනවීම පළාත් සභා බලතල ආපසු ගැනීමක් වගේ දෙයක් වෙනවා. නමුත් ආදායම් බදු අය කළ හැක්කේ මධ්‍යම රජයට නිසා මේ විදිහට අය කරන එකේ නීතිමය අවුලක් නැහැ. යම් ආකාරයකින් පළාත් සභා නීතියට වංගු ගැහීමක් වගේ දෙයක්.

මේ අලුත් බද්ද හැම පොඩි ගෙදරකින්ම අය කරන එකක් නැහැ. එය අදාළ වනු ඇත්තේ යම් අවම වටිනාකමක් තිබෙන වටිනා හා විශාල නිවාස මත පමණයි.

ඊළඟට මත්පැන්, දුම්කොළ හා සූදු ක්‍රීඩා මත දැනට අය කරන 40% බද්ද 45% දක්වා වැඩි කර තවත් රුපියල් බිලියන 27ක් පමණ එකතු කර ගැනීමට නියමිතව තිබෙනවා. සේවා අපනයන ආදායම් සඳහා දැනට ලබා දී තිබෙන ආදායම් බදු සහනයක් ඉවත් කිරීමෙන් තවත් රුපියල් බිලියන 14ක් පමණ එකතු කරගන්න පුළුවන්. දැනට වැට් බදු අය නොකරන කාණ්ඩ කිහිපයක් මත වැට් බදු පැනවීමෙන් ඉතිරි අඩුව හදාගන්න පුළුවන්.

අවසාන වශයෙන්, මේ වෙද්දී රජය විසින් ආදායම් වැඩි කිරීම හා අදාළව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන නිසා, ආරෝපිත ගෙවල් කුලී බද්ද ඇතුළු බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් පමණක් කරලා දිගුකාලීන රාජ්‍ය ආදායම් ඉලක්කය වන 15.3% මට්ටමට යන්න පුළුවන්. මේ බදු ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන මට්ටමේ ඒවා නෙමෙයි. මේ විදිහට 15.3% ඉලක්කයට් ගියාට පස්සේ එයින් 2.3%ක් ඉතිරි කරගෙන 13.0% දක්වා මුදලක් වියදම් කරන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් වියදම් කරනවානම් 15.3% මට්ටමට වඩා ආදායමත් වැඩි කරගන්න වෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan