කොළඹ LNW: නීතියට උඩින් කිසිවෙක් නොමැති අතර නීතිය ඉදිරියේ සියලු දෙනා එකහා සමාන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේදීය.
ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එහිදී කරුණු දක්වන ලදී. ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ඉන්දුනීසියානු පොලීසිය එක්ව සිදුකළ දින 7ක ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
එම මෙහෙයුමට සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහායද හිමිව තිබේ.
රට තුළ බොහෝ අවස්ථාවලදී සංවිධානාත්මක අපරාධ වර්ධනය වී ඇත්තේ, දේශපාලනඥයින්ගේ ආශිර්වාදයෙන් බවත් ඔවුන්ගේ පැවැත්ම සහ බලය රඳවා ගැනීමට සංවිධානාත්මක අපරාධකරුවන්ව පෝෂණය කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු රජයක් ලෙස ඒ සියල්ල නතර කර ඇති බවත්, මේ වනවිට සංවිධානාත්මක අපරාධකරුවන්ව නිර්මාණය කළ දේශපාලනඥයින් හා ඔවුන්ගේ සබඳතා පිළිබඳ සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බවත් පැවසීය.
එවැනි අයගේ දේපොළ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන සිදුකරන අතර සංවිධානාත්මක අපරාධ රැසකට දේශපාලන සබඳතා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
ආණ්ඩුවක් ලෙස අවශ්‍යව ඇත්තේ රටට යුක්තිය, සාධාරණත්වය ලබාදීම මෙන්ම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම හා නීතිය සැමට සමානයි යන පණිවුඩය සමාජයට ලබාදීම බවද අමාත්‍යවරයා තවදුරටත් පවසන ලදී.
”ප්‍රමිතිගත සමාජයක් බවට පත්කර ගැනීම තුළින් තමා අපි සියලුදෙනාට සතුටින් ජීවිත් විය හැකි වන්නේ. ඒ නිසා අපි පොරොන්දු වු පරිදිම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සමාජයට ලබාදීමේ කර්තව්‍යයේ නියැලෙනවා. ඒ කරුණු අතර අපිට සුවිශේෂි වෙනවා සංවිධානාත්මක අපරාධකරුවන් නීතියට කොටු කරගැනීම. මේ වෙනවිට 75කට ආසන්න ප්‍රමාණයකට රතු වරෙන්තු නිකුත් කරලා තියෙනවා. එයින් 20 අධික ප්‍රමාණයක් ලංකාවට අරන් ඇවිත් තියෙනවා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැනට ඉන්දුනීසියාව භාරයේ ඉන්න අයව මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා. ඔවුන්ව මෙරටට ගෙන ආ පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි පාතාලය වේවා, දේශපාලනඥයින් වේවා, පොලීසිය වේවා, නිලධාරීන් වේවා සියලුදෙනාට නීතිය යටත්, නීතිය ක්‍රියාත්මක රටක් බවට අපි පත්කරනවා. බලය භාවිත කරමින් සමාජයේ හැසිරීමට අපි ඉඩදෙන්නේ නෑ” යනුවෙන් විජේපාල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ආශිකා බ්‍රාහ්මණ
