රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ LNW :
එක්වදෝරයේ විශාලතම ජල විදුලි බලාගාරය ඉදිකිරීමට අදාළ අල්ලස් ලබාගැනීමේ නඩුවකින් හිටපු ජනාධිපති Lenin Moreno වරදකරු බව එරට අධිකරණය තීන්දු කළ බව රජයේ අභිචෝදක කාර්යාලය සිකුරාදා ප්රකාශ කළේය.
73 හැවිරිදි වියේ පසුවන මොරෙනෝට වසර පහක සිරදඬුවමක් නියම වී ඇති අතර, අනාගතයේදී කිසිදු රජයේ තනතුරක් දැරීම ඔහුට ස්ථිරවම තහනම් කර ඇත.
‘කොකා කොඩෝ සින්ක්ලෙයාර්’ (Coca Codo Sinclair) බලාගාරයට සම්බන්ධ අල්ලස් ජාලයකට මොරෙනෝ, ඔහුගේ පවුලේ සාමාජිකයන්, සහ ප්රදේශයේ මෙන්ම චීන ව්යාපාරික පාර්ශ්වකරුවන් සම්බන්ධ බවට චෝදනා කරමින් නීතිපති කාර්යාලය 2023 මාර්තු මාසයේදී පරීක්ෂණ ආරම්භ කළේය.
මෙම බලාගාරයේ කටයුතු 2016 දී ආරම්භ වූ අතර එතැන් සිට විවිධ තාක්ෂණික ගැටලුවලට ලක්විය.
නඩු තීන්දුව ප්රකාශයට පත් කරමින් විනිශ්චය සභාවේ ප්රධානී මැනුවෙල් කබ්රේරා (Manuel Cabrera) විනිසුරුවරයා සඳහන් කළේ, “ලෙනින් මොරෙනෝගේ හැසිරීම පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද චෝදනාවලට අනුකූල වේ. එනම් රාජ්ය නිලධාරියෙකු විසින් සිදුකරන ලද අල්ලස් ගැනීමේ වරදයි” යනුවෙනි.
2009 සහ 2018 අතර කාලය තුළ ව්යාජ උපදේශන කොන්ත්රාත්තු හරහා චීන රාජ්ය සන්තක ‘සිනොහයිඩ්රෝ’ (Sinohydro) සමාගම ඩොලර් මිලියන 76.1 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ගෙවා ඇති බව නීතිපති කාර්යාලය පැවසීය.
මොරෙනෝගේ බිරිඳ සහ දියණිය ඇතුළුව ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ ඔවුන්ගේ බිරිඳයන් ද වරදකරුවන් වූ අතර ඔවුන්ට වසර දෙකහමාරක සිරදඬුවම් නියම විය. මීට අමතරව කිටෝ (Quito) අගනුවර සිටි හිටපු චීන තනාපති කායි රුන්ගුඕට (Cai Runguo) ද වසර පහක සිරදඬුවමක් නියම විය.
මොරෙනෝගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් වෙත ළඟාවීමට පෙර මෙම මුදල් විදේශීය ගිණුම් සහ බදු සහන කලාපවල (tax havens) පිහිටි ව්යාජ සමාගම් හරහා සංසරණය වී ඇති බව විමර්ශකයින් චෝදනා කළහ. 2007 සිට 2013 දක්වා කාලය තුළ මොරෙනෝ උපජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහු සහ ඔහුගේ සමීප ඥාතීන් ඩොලර් මිලියන 1 කට වැඩි මුදලක් ලබාගෙන ඇති බව අභිචෝදකයෝ පැවසූහ.
කෙසේ වෙතත්, මෙම ව්යාපෘතියේ කොන්ත්රාත්තු අත්සන් කිරීමට හෝ අධීක්ෂණය කිරීමට තමාගේ කිසිදු මැදිහත්වීමක් නොතිබූ බව පවසමින් මොරෙනෝ මෙම චෝදනා දිගින් දිගටම ප්රතික්ෂේප කළේය.
“ඔබ සොයන්නේ වැරදි තැනකින්. කොන්ත්රාත්තුවලට අත්සන් තැබූ, අල්ලස් ඉල්ලා සිටීමේ පුරුද්දක් තිබූ අය දෙස බලන්න,” යැයි මොරෙනෝ අධිකරණ වාරය අතරතුර පැවසීය.
2017 සිට 2021 දක්වා ජනාධිපති ලෙස කටයුතු කළ මොරෙනෝ, මෙම නඩුවට මුහුණ දීම සඳහා පැරගුවේ සිට නැවත එක්වදෝරයට පැමිණියේය.


