රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ LNW :
ශ්රී ලංකාව සහ ජපානය අතර සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ජපන් සංචාරකයින් 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්රීලංකන් ගුවන් සේවයට අයත් තනි ගුවන් යානයකින් අද (30) දිනයේ ශ්රී ලංකාව බලා පිටත්ව තිබේ.
“ලිට්ල් ජැපෑන් ගෲප්” (Little Japan Group) විසින් සංවිධානය කරන ලද මෙම සංචාරක කණ්ඩායම, නරීටා ජාත්යන්තර ගුවන්තොටුපළේ සිට UL455 දරන ශ්රීලංකන් ගුවන් යානයෙන් මෙලෙස ශ්රී ලංකාව බලා ගමන් ආරම්භ කර ඇත.
ජපානයේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා, වාණිජ කටයුතු පිළිබඳ පළමු ලේකම් සඳුන් සමීර මහතා සමඟ ගුවන්තොටුපළ වෙත පැමිණ සංචාරකයින් හමු වී ඔවුන්ට සුබ පතමින් ගුවන් තොටුපළෙන් ඇරලවා තිබේ.

ශ්රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මෙම සංචාරකයින් සීගිරිය ඇතුළු රටේ ප්රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිත අතර, ශ්රී ලංකාවේ පාරම්පරික ආයුර්වේද සහ සුවතා (Ayurveda and wellness) ප්රතිකාරවල අත්දැකීම් ලබා ගැනීමටද නියමිතය.
ජපානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සහාය සහ අනුග්රහය ඇතිව “ලිට්ල් ජැපෑන් ගෲප්” විසින් මෙම සංචාරය සංවිධානය කර ඇත.
ගුවන්තොටුපළේදී සංචාරකයින් අමතමින් තානාපති කුමාරසිංහ මහතා, ඔවුන් ශ්රී ලංකාව සිය නිවාඩු නිකේතනය ලෙස තෝරා ගැනීම පිළිබඳව ස්තූතිය පළ කළ අතර, සුරක්ෂිත මෙන්ම සතුටුදායක සංචාරයකට සුබ පැතුම් එක් කළේය.
එකම ගුවන් වාරයකින් ජපන් සංචාරකයින් 200 දෙනෙකු මෙලෙස පැමිණීම ශ්රී ලංකා – ජපාන සංචාරක සබඳතාවල සාධනීය වර්ධනයක් බවත්, එය සංවිධානාත්මකව ශ්රී ලංකාවට පැමිණි විශාලතම ජපන් සංචාරක කණ්ඩායම්වලින් එකක් වන බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජපන් ජාතික සංචාරකයින් අතර ශ්රී ලංකාව කෙරෙහි ඇති උනන්දුව වර්ධනය වීමත්, ශ්රී ලංකා සංචාරක කර්මාන්තය ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අඛණ්ඩ උත්සාහයත් තුළින් දෙරට අතර සංචාරක හුවමාරුව තවදුරටත් වර්ධනය වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.
මෙම සංචාරය ශ්රී ලංකාව සහ ජපානය අතර ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් තහවුරු කරන්නක් බවත්, ජපන් සංචාරකයින් සඳහා ශ්රී ලංකාව සුරක්ෂිත, ආකර්ෂණීය සහ මතකයේ රැඳෙන ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමේ වැඩසටහන් සඳහා දිගටම සහාය දෙන බවත් තානාපති කාර්යාලය නැවත තහවුරු කළේය.


