කොළඹ LNW:ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් ගොඩ නොනැගෙන තුරු මේ රටට ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නොහැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකොන් මහතා පවසයි.
මෙරට අනිකුත් ආගම් නියෝජනය කරන පිරිස් සුළු ජාතීන්, සහෝදර ජාතීන් වශයෙන් හැදින්වීම අවසන් කොට ඔවුනුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් හදුන්වන තෙක් මෙරටට එක් ජාතියක් වශයෙන් ඉදිරියට යෑමට නොහැකි යැයි ද ආණ්ඩුකාරවරයා පැවසුවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර ජින්නා ශාලාවේදී ජාතික සංහිදියාව ශක්තිමත් කරමු මැයෙන් පසුගිය (29) පැවැති මහජන මන්ත්‍රණ සභාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.
තමන් ආණ්ඩුකාරධූරයට පත්වූ පසු, මධ්‍යම පළාත් රාජ්‍ය සේවය තුළ විවිධ රාජකාරී සඳහා අයදුම්පත් යොමු කිරීමේ දී ආගම හා ජනවර්ගය සඳහන් කිරිමට ඇති කොටස් ඉවත් කළ බවත් රජයේ සේවයක් ලබා ගැනීමේදී තමන් නියෝජනය කරන ජාතිය ආගම කුමක්ද යන්න වැදගත් නොවන බවත් ඒ මහතා පැවසුවේය.

කාන්තාවක වශයෙන් ඉපදීම හේතුවෙන් ද සමාජයේ සුළුතර භාවයක් හිමිවී ඇතැයි පැවසූ ඒ මහතා ඉදිරියේදී එළැඹීමට නියමිත දියවඩන නිලමේ පත් කර ගැනීමේ නිලවරණය සඳහා ප්‍රාදේශීය ලේකම්වරුවන් 171 දෙනෙකුට ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇතත් ඉන් 95 දෙනෙකු කාන්තාවන් වීම හේතුවෙන් ඡන්ද අයිතිය අහෝසිවී ඇතැයි පැවසුවේය.
පාසල් අධ්‍යාපන ක්‍රමය තුළද සිංහල, හින්දු, මුස්ලිම් ආදී වශයෙන් පාසල් වර්ග කිරීම හේතුවෙන් ද වාර්ගික බෙදීමක් නිර්මාණය කොට ඇතැයි පැවසූ ඒ මහතා මෙම කරුණු සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍යවරිය සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළ බව ද තව දුරටත් පැවසුවේය.
මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව සහ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ මෙහෙයවීම මත පැවැති මෙම මහජන මන්ත්‍රණ සභාව සඳහා පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක, කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු පීඨාධිපති සම්මානිත මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, සබරගමුව විශ්ව විද්‍යාලයේ සංචාරක ක්ෂේත්‍ර පිළිබඳ මහාචාර්ය එම්.එස්.එම්.අස්ලම් මහතා, අන්තර් ආගමික කමිටුවේ කැඳවුම්කරු ගාමිණී ජයවීර මහතා ඇතුලු ආගමික නායකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර
