ඉන්දික ගුණවර්ධන කවියාගේ නික්ම යාම මෙනෙහි කරමින් වසර කිහිපයකට කලින් මම මෙසේ සටහන් කළෙමි.
“ඉන්දික ගුණවර්ධන කියන්නෙ කට පුරෝලා කවියෙක් කියන්න පුළුවන් ‘චරිතයක්’. ‘කවි ලිව්ව කෙනෙක්’ නෙමෙයි, ‘කවියෙක්’.
මට අනුව ඉන්දික ගුණවර්ධන තමයි ෆේස්බුක් කවියේ පුරෝගාමියා. ඔහුට පෙර මේකේ කවි ලියපු අය ඉන්න පුළුවන්. නමුත් ‘සෞන්දර්යය ප්‍රීතිය’ අත්පත් කර දෙන කවියක් ෆේස්බුක් එක හරහා අපේ මුහුණු අබියසටම අරන් ආවේ ඉන්දික. ඔහු 2010 මුලින්ම පළ කරපු ‘හිතේ කෙටූ ටැටූ’ ඒ වර්ගයේ එතෙක් මෙතෙක් පළ කෙරුණු හොඳම පොත. ඉන්දිකව අනුකරණය කරන්න බොහෝ අය උත්සාහ කළත් ඒ අය කෙරෙන් ‘කවිය’ මතු වුණේ නැති බවයි මගේ පුද්ගලික නිරික්ෂණය.
ඒකට බරපතළ හේතුවක් තිබුණා. ඉන්දිකගේ කවිය කියන්නනේ ඔහුගේ ජීවිතයේම පරාවර්තනයක්. ඔහු මාතෘකා තෝර ගෙන කවි ලිව්වේ නෑ. ඔහු ගත කළ ජීවන මොහොතට සමාන්තරවයි ඔහුගේ කවිය මතු වුණේ. 2016 ඔහු පොත් දෙකක් කළා. ‘සිසිරයේ දිගු රැයෙක’ සහ ‘අවන්හල් බළල්ලු.’ මේ පොත් දෙකත් ඉන්දිකගේ ජීවිතයේම අවිච්ඡින්න නිමේෂ.
ඉන්දිකගේ කවිය ඔහුටම අනන්‍ය වුණා වගේම ඔහුගේ ජීවිතයත් ඔහුටම අනන්‍යයි. ඒ ජීවිතය හරිම බරපතළයි; සංකීර්ණයි; ආදරණීයයි; සහෝදරාත්මකයි; එමෙන්ම විසංවාදීයි. ඔහුගේ හදිසි නික්ම යාමත් ඒ ජීවිතයේම රැඩිකල් ප්‍රකාශනයක්.
කොහොමත් මේක ‘ඩුප්ලිකේට්ස්’ ඉතුරු වෙලා ‘ඔරිජිනල්ස්’ නික්ම යන සමයක්.”
නුදුරු දිනෙක පළවෙන්නට නියමිත මගේ අලුත් කවිපොතේ ඉන්දික වෙනුවෙන් ලියැවුණු මේ කවිය ඇතුළත්.
ඒ් අවන්හල් බිළාලයාට
පෙඳින් ඇසි පිය සැළුණ මොහොතක
සුසුම්ලන මතකය
හෙමින් පියමැන ගිහින් නවතියි
අවන්හල අබියස
උඹට දැනුණෙද නොදැනුණාවෙද
අහස් ගව්වක දුර
රහස් රැව් දෙන සුසුම් අතරෙහි
දෑස් මඟ හැරුණිද?
වලාකුළු මත හිස තියාගෙන
වේදනා උහුලන
කොහෙන් ඇවිදින් දෙතොල රැඳුණි ද
ඇවිලෙනා මඳහස
සැහැල්ලුව මත කඳු ගසන්නට
පිරිත් හඬ මොකටද
රහත් සුවයෙක දෑස් ඇරගමි
රහත් කවි පදයෙක
ඉන්ද්‍රජාලික තරූ වියනෙකි
දෙසැම්බර අහස ම
ටැටූකරණය කෙරූ තරුවෙක
අපට අප හමුවන
දුමා දැල්වෙන සිනා අහුරක්
පෙමාතුර වෙනකොට
අවන්හල් යන බිලාලයනට
සුරාසුර යුද බිය
හිතේ කෙටු මෘදු ටැටූවෙක හඬ
හිනාවෙන් මිඳුණම
බිඳී මධුවිත රැඳේ හදවත
සනාතන හැඟුමක.
~ මංජුල වෙඩිවර්ධන
‘ හිතේ කෙටු ටැටූ’ විඳගන්න අද (01) පස්වරු දෙක හමාරට මහවැලි කේන්ද්‍රයට එන්න.