ප්‍රෙට්‍රල් ගණන් ගියා කියල හරි, ගෑස් ගණන් ගියා කියල හරි, අනිත් බඩු මුට්ටු ගණන් ගියා කියල හරි, බෙහෙත් නැහැ කියල හරි, වෙනත් ගැටළු නිසා හරි කියල ආයෙත් මිරිහානේ වගේ පන්දම් පත්තු කරගෙන ඒ පටන් ගන්න අරගලය කොළඹ අරන් එන්න නම් එපා. එපා කියන්නේ එපා නිසා.
ඊයේ පෙරේදා පෙට්‍රල් ගණන් ගියා කියල අනුරාධපුරේ කට්ටියක් ආයෙත් පන්දම් පත්තු කරගෙන විරෝධයක් පටන් අරගෙන. හිරුණිකා පවා ආයෙත් බෙහෙත් ප්‍රශ්නේ එක්ක පාරට බැහැල තියන නිසා මේක තවත් පාරක් අර ගෝල්ෆේස් ආකෘතියට යන්න තියන ඉඩකඩ නිසයි මෙහෙම ලියන්නේ. මොකද ආරම්භයේ තියන සමානකම එකයි. අපි හිතන්න පුරුදු වෙලා තියන පැටන් එක එකයි.
හැමදාම වගේ මේ සියලු විරෝධයන් එකමුතු වෙලා අන්තිමට කොළඹ එනවා. කේන්ද්‍රය එතන කියල හිතාන. අවසානය පුපුරන්න ඕනි එතන කියල හිතාන. හැමදාම වගේ එහෙමයි. විරෝධතා පාගමනක් ආවත් ඉවර කරන්නේ කොළඹ. වෙනත් දෙයක් පටන් ගත්තත් ඉවර කරන්න හදන්නේ කොළඹ. ලිප්ටන් එකේ. හයිඩ් එකේ. ගෝල්ෆේස් එකේ යනාදී වශයෙන්.
ඇත්තටම අපි පරිකල්පනය කරනවා කවුදෝ කොළඹ ඉන්නවා කියල අපේ ප්‍රශ්නයට අවසන් විසඳුමක් දෙන්න. අපි දිහා බලාගෙන. ඇත්තටම ගෝල්ෆේස් එකෙන් අපි දැක්ක දෙය තමයි කොළඹ කවුරුවත් නැහැ අපේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. ඒ කියන්නේ කොළඹ කියල දෙයක් පවතින්නේ නැහැ අපි හිතුවට.
වෙනත් විදියකට කිව්වොත් අපි කොළඹ කේන්ද්‍ර කරගෙන මාස්ටර් කෙනෙක් ඉන්නවා කියල හිතුවට සුදු ස්වාමියා ගියාට පස්සේ එහෙ මාස්ටර්ල නැහැ. කේමදාස මාස්ටර් වගේ කෙනෙක් හැර.
ඒ වගේම එහෙම අරගලයක් අවසානයක් කරා ගෙනියන්න අවශ්‍ය දේශපාලන ව්‍යාපාරයකුත් කොළඹ නැහැ. තියන ඒවා හතර අතේ බෙදිලා තියෙන්නේ. ඒවා හදාගන්න වෙන්නෙත් අපිටමයි.
ඊජිප්තුවේ කයිරෝ කියල එකක් තිබ්බට ලංකාවේ කොළඹ කියල එකක් නැහැ. ඒකයි වෙනස. අපි කොළඹ කියල එකක් තියනවා කියල හිතුවට අපි හිතන විදියේ කොළඹක් කොළඹ කියන ප්‍රදේශයේ පවතින්නේ නැහැ. තියෙන්නේ වෙනත් මොකක්දෝ එකක්. අපිට හිතාගත නොහැකි යථක්.
නිකම් බලන්න පෝයක් එක්ක නිවාඩු දවස් දෙකක් වැඩිපුර ආවොත් මොකද වෙන්නේ කියල. කොළඹ පාළුවට යනවා. හිස් වෙනවා. කට්ටිය අනුරාධපුරේ, නුවරඑළියේ, උඩවලවේ, රිවස්ටන් යනවා. අවම වශයෙන් අවුරුදු දවස් දෙක ගන්න. කොළඹ කියන්නේ සම්පුර්ණයෙන් හිස් මුඩු බිමක් වෙනවා. කොල්ලුපිටිය හරියේ මහ පාරවල් වල රේස් පදින්න පුළුවන් ගානට යනවා. එකම වෙනස දැන් අර චීන්නු ටිකක් ඉන්න එක විතරයි.
මම කියන්නේ කොළඹ එන්නේ නැතුව, කොළඹ විරෝධයෙන් පුරවන්නේ නැතුව, කොළඹ විරෝධයෙන් හිස් කරමු කියල. මිනිස්සුන්ගේ හිස් කරමු. හරියට අවුරුදු දවස් වගේ….
~ මහේෂ් හපුගොඩ
RN
