මෑතකදී NPP නායක අනුර කුමාර දිසානායක මහතා විසින් උතුරේ චන්දදායකයින් අමතා කරනලද එක් ප්‍රකාශණයක් අරඹයා මහාචාර්ය නිර්මාල් දේවසිරි විසින් කරන ලද පැහැදිලි කිරීම අළලා මෙය ලිවීමට සිත්විය. විෂේශයෙන් “89-සහෝදරත්වය” කුඩා දේශපාලන කවය තුල මහනුවර උපුල් රවීන්ද්‍ර සොයුරාගේ මැදිහත්වීමෙන් අප කවය තුල ඇතිවූ මේ පිළිබඳ සංවාදයේදී ඔහුගේ ඉල්ලීම වූයේ එම නිර්මාල් ගේ පැහැදිලිකිරීම සම්බන්ධව “89-සහෝදරත්වය” කවය තුල මා ඉදිරිපත්කල අදහස සමාජ ගතකිරීම සුදුසු බවයි. එබැවින් එය මෙසේ සමාජගත කිරීමට අදහස් කරමි.
අනුර දිසානායක මහතා කරන ලද ප්‍රකාශයේ හරය වන්නේ”ජාතික ජනබලවේගයට විරුද්ධව උතුරේ ජනයා චන්දය දෙන්නේනම් එමගින් දකුණේ ජනයාගේ අප්‍රසාදයට ඔවුන් ලක්වීමට ඉඩ ඇතිබවය”. මාගේ අදහස නම් මේ ප්‍රකාශය අළලා මහාචාර්ය නිර්මාල් දේවසිරි කරන පැහැදිලි කිරීම නිර්මාල්වම පඹගාලක පටලවාගැනීමක් බවය. ඇත්තෙන්ම නිර්මාල් දේවසිරි යනුම උතුරේ උතුරේ වර්ගවාදී යුද්ධය ඉතා දරුණු අයුරින් සිදුවන විට පවා උතුරේ ජනවාර්ගික ගැටළුව කෙරෙහි වඩාත් සාධාරණ අයුරින් සහ ඉතා තර්කානුකූලව සලකා බැලූ, එමෙන්ම එම වාර්ගික ගැටළුව පිළිබඳව ජනප්‍රිය නොවූ එහෙත් නිවැරදිව එය දකිමින් ඉතා නිර්භයව ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටි, සීමිත විද්වතුන් කිහිප දෙනාගෙන් එක් අයෙකි.
එකල ජවිපෙ විසින්මත් දකුණතුල මහා පරිමාණයෙන් වගාකල ජාතිවාදී මතවාදයන් තුල පෝෂණය වෙමින් මුළු දකුණම, පැවති වාර්ගික යුද්ධයට සහයෝගය දීමටත්, උතුරේ දෙමළාගේ ප්‍රශ්නය”ලේ” වලින්ම විසඳීමටත් සැදී පැහැදී සිටි බහුතර මතය තුලදී පවා නිර්මාල් දේවසිරි පෙනීසිටියේ උතුරේ ජනයාගේ අයිතීන් වෙනුවෙනි. එය මේ මොහොතේ පවා මම ඉතාමත් අගය කිරීමටද කැමැත්තෙමි. එසේම මෑතක් වනතුරුම ඔහු ඉතා වැඳගත් කතිකාවන් තුලිනුත්, ඔහුගේ විශ්ලේශනයන් තුලිනුත් ඉතා වැඳගත් කර්‍යභාරයක් කල අයෙකු බවත්, “දෙමළාගේ ප්‍රශ්නය” වැනි අගනා කෘති පලකල විද්වතෙකු බවත් කිවයුතු වන අතර, ජවිපෙ විසින් නිර්මාණය කරනලද ” ජාතික ජනබලවේගය” තුලට ඔහුගේ පක්ෂපාතිත්වය දැක්වීම ඇරඹීමෙන් පසුව ඔහුගේ විශ්ලේෂණයන් සහ නිරීක්ෂණ යම් ආකාරයකට NPP කරණය වී ඇතිබවක් ඉතා පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බවද කිවයුතුය.
පසුගිය දිනවල අනුර කුමාර මහතා උතුරේ චන්දදායකයින් ඉලක්ක කොටගෙන කල ප්‍රකාශය තුල අන්තර්ගතව ඇති, දකුණේ දේශපාලකයින් තුල ඇති උතුරේ දේශපාලනය මනෝභාවය පිළිබඳව ඇති නොමේරූ බව පෙන්නුම් කිරීමේ තවත් එක් අවස්ථාවක් බව මට දැක්විය හැකි වූවත් නිර්මාල් සිය පැහැදිලි කිරීමේ ප්‍රවිශ්ඨයේදීම කියා සිටින්නේ “මෙහි හරි වැරදි සොයා බැලීමට වඩා, මෙවැනි මතභේදාත්මක තත්වයක් ඇතිවෙලා තියෙන්නේ කුමන සන්දර්භයක් ඇතුලේද කියලා හොයා බලන එකයි” යනුවෙනි. ඔහු ඇරඹුමේදීම අනුරගේ ප්‍රකාශයේ ප්‍රශ්න කිරීම සහ ඒ ප්‍රධාන කරුණම ඉතාමත් තක්කඩි අයුරින් මගහැර යයි. ඉන්පසු ඔහුගේ සුපුරුදු වාග් මාලාව අරඹයි. ඔහුගේ පැහැදිලි කිරීමේ තවත් තැනක ඔහු, ” අනුරගේ පණිවිඩය ඉදිරිපත්වූ ආකාරය පැත්තකින් තිබ්බොත්” යැයි පවසමින් අනුර එය ප්‍රකාශ කල ආකාරය පිළිබඳව විග්‍රහ කිරීමද ඉතාමත් තක්කඩි අයුරින් මගහැර ගොස් අනුරගේ ප්‍රකාශයේ අනෙකුත් වටපිටාවන් ඔහුගේ නිරීක්ෂණයට යටත්කරනු ලබයි. ඇත්තටම මේනම් නිර්මාල්ගේ සුපුරුදු විශ්ලේශන රටාව නොව ඔහු දැන් NPP එකට අතිශය පක්ෂපාත වෙමින් ගෙනයන ඔහුගේ දේශපාලන ගේම් එකතුල මේ අනුර කුමාර දිසානායක කරනලද ප්‍රකාශයේ ” සැරබාලකර” ගෙනහැර දැක්වීමට හෝ විස නසා පෙන්වීමට ගන්නාලද අසාර්ථක උත්සාහයකි.
ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක මහතා උතුරේ චන්දදායකයින් වෙත කරනලද ප්‍රකාශය නිර්මාල් විග්‍රහ කරනවාට වඩා ඔහු එය වඩාත් ගැඹුරින් විග්‍රහ කරන්නට ගියහොත් නිර්මාල් තවතවත් උගුලක හිරවෙන බව දන්නා නිසාම, ” මම මේක ගැඹුරින් විග්‍රහ කරන්න යන්නෙ නෑ” යනුවෙන් කල්තියාම කියා තබයි.
මේවනවිට ජනපතිවරණ සටන තුල වඩාත් ඉදිරියෙන් මේ දක්වාම සිටින්නේ අනුර කුමාර දිසානායක මහතා බව රහසක් නොවේ. ඒ අනුව අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන රනිල් සහ සජිත් පාර්ශවයන් අතර පවතින්නාවූ “බලුපොරය” ඉදිරි සති දෙකේදීත් එලෙසම පැවතුනහොත් අනුර දිසානායක මහතාට ලබන 23 හෝ 24 වැනිදා ලංකාවේ 9 වන විධායක ජනාධිපති වරයා ලෙස ඉතා පහසුවෙන් දිවුරුම් දීමට හැකිවනු ඇත. එබැවින් අනුර විසින් උතුරේ ජනතාව වෙත කරනලද ප්‍රකාශ නිකම්ම බැහැර කලහැකි නොවන්නේ ඔහු අනාගත ජනාධිපති වරයා වීමටද බොහෝ ඉඩකඩ ඇතිනිසාය. තවද අනුර දිසානායක නියෝජනය කරනු ලබන්නේත්, නායකත්වය දෙනු ලබන්නේත් උතුරේ වර්ගවාදී යුද්ධය සමයේ එම යුද්ධය මෙහෙයවූ සේනාධිනායකයා අනුරලාම කී පරිදි, ” බල්ලො නාවන්න ගෙනියන අයුරින්” යුද්ධය සඳහා ඇදගෙන යාමට වෙහෙසවුනු පක්ෂයකි. නමුත් අදවනවිට ජවිපෙ විසින් ඒ සියළුම පව් සමාකරගෙන ඒ ජාතිවාදී ස්වරූපයෙන් නිර්මාල් කියනපරිදි “මද්‍යස්ථ මට්ටමකට” පැමිණ ඇත. එහෙත් මේ නිර්මාල් කියන ජවිපෙ ප්‍රමුඛ අනුර දිසානායකලා පැමිණ ඇති “මද්‍යස්ථ මට්ටම” අපිට දැනගැනීමට ලැබෙන්නේ ඔවුන් වේදිකාවල කරනලද චන්දය ලබාගැනීමට කරනුලබන අලංකාර කථාවලින් පමණකි. ඒ නැතිව ඔවුන්ගේ භාවිතා වලින්නම් ජවිපෙ අනෙකුත් නායකයින් සහ අනුර වෙත ජනවාර්ගික අර්බුධයට සහ සුළු වාර්ගික ජනතාවන් වෙත භාවිතාවෙන් නැඹුරුවූ බවක් පෙනෙන්නට නොමැත. ඔවුනට ජවිපෙ ආරම්භයේදීවත් එසේ තිබුනේවත් නැත. එබැවින් නිර්මාල් කියන මේ මද්‍යස්ථ මට්ටම තේරුම්ගත නොහැක. සමහරවිට නිර්මාල් NPP කරණය වීමේදී ඔහුට මේ කරුණු ඒ විදියට පෙනෙනවා වෙන්නටද පුළුවන.
හැමදාමත් සිදුවන අයුරින් මැතිවරණයක් පැමිණිවිට දකුණේ දේශපාලකයින්ට උතුර මතක්වීම අරුමයක් නොවේ.ඔවුන් ඉව අල්ලන්නේ උතුරේ පවතින චන්ද ලක්ෂ 25-30අතර ප්‍රමාණයෙන් සැලකිය යුතු චන්ද කුට්ටියක් කඩාගැනීමට මිස වෙනත් දෙයකට නොවේ. මම දකින අකාරයට උතුරේ ජනතාව වෙනුවෙන් වඩාත් සාධනීය ආර්ථික වැඩපිලිවෙලක් සැලසුම් කලේ රනිල් වික්‍රමසිංහ මහතාය. එදා යුද්ධයේදී වූවද උතුරට යුද්ධය නොවන විසඳුමක් ඉදිරිපත් කලේ වික්‍රමසිංහ මහතාය. එදා ඒවා දකුණේ ජනතාවට ඇලජික් වූයේද ජවිපෙ සහ නොයෙකුත් දකුණේ ජාතිවාදීන් විසින් වපුරාතිබූ ජාතිවාදී මතවාදයන් නිසාය. එමෙන්ම දකුණේ දේශපාලකයින් විසින් උතුරට ඔවුන්ගේ ඉල්ලීම් වලින් අබ ඇටයක තරම්වත් දෙයක් දීමට අදිමදි කරනවිට රනිල් ඉදිරිපත්වී උතුරේ ජනතාවගෙන් ලබාගත් ඉඩම් ඒ ජනතාවට නැවත ලබාදීමටත්, උතුර සහ ඉන්දියාව යාකොට උතුරට විශාල ආර්ථික වැඩපිලිවෙලවල් හඳුන්වා දීමටත් ඉදිරිපත් විය. ඒ පමණක් නොව රනිල්ගේ පොරොන්දුවක් වූයේ උතුරට “ගඟක්”හැරවීමටයි. මෙය දකුණේ ජනතාවට හාස්‍යජනක කරුණක් වූවද දේශපාලන නායකයින් එවැනි සිහින දැකිය යුතුය. එය ඉතා යහපත් දෙයකි.
උතුරට ගඟක් හැරවීමට අනුර ජනාධිපති වීමෙන් පසු ඔහුට හැකිවූවොත් ඒ ගඟ දිගේ ගලන ජලයත් සමඟ දකුණේ ජනතාවගේ සහෝදරත්වය උතුරට ගෙනයාමට අනුරට හැකිවනු ඇත. දියුණු දේශපාලකයින් දකින සිහින ලොකු වැඩිනිසා ඒවා සාමාන්‍ය ජනයාට ජෝක් විය හැකිය. බටහිරින් එදා රුසියාවේ ලෙනින්ට කීවේ ” ක්‍රෙම්ලිනයේ සිහිනදකින්නා” කියාය. ඒ සිහින ඉටුවනවිට ඒවා දැකීමට ලෙනින් සිටියේ නැති උනද පසුකලෙක ඒ සිහින රුසියන් පොළොවේ යථාර්ථයක් වී ලොව බලගතුම රටක් බවට පත්විය.
එබැවින් අනුර දිසානායක ජනාධිපති වුවහොත් ඔහු පටන්ගත යුත්තේ මහින්ද අවසන් කලතැනින් නොව රනිල් ආරම්භ කල තැනිණි. වැල් පාළමේද ඉතිරි ටික යනවා සේම උතුර සමඟ දේශපාලන ගණුදෙණුවේදීද අනුර සම්පූර්ණ කලයුත්තේ රනිල් උතුර සමඟ කරගෙන පැමිණි වැඩකොටසයි. මා දකින අයුරින් සහ දැන් නිර්මාල්ලා නොදකින අයුරින් අනෙකුත් බොහෝ දකුණේ දේශපාලන නායකයින් මෙන්ම අනුර කුමාර දිසානායකගේත් “අදිඥ්ඥාණිකව” ඇති උතුර පිළිබඳ දකුණේ පැළපදියම්ව ඇති ඩොමිනන්ස් (dominance) එකෙන් විතැන්වී උතුර සහ දකුණ දෙකක් ලෙසනොව එකක්ලෙස සිතීමට හැකිවන්නේ එවිට පමණි.
~ රංජන සේනානායක
(අධ්‍යන කවය)
“89-සහෝදරත්වය”