*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුව විසුරුවන දවස ? ජනාධිපතිවරණය දිනන්නේ කවුද ? ඉන්දියාවේ -චීනයේ හා ඇමරිකාවේ තීරණ – ගීතාගේ පිම්ම- දරුවන්ගේ ශෝකාලාපය – රනිල් මාලිමාවට පහර ගසයි- රනිල් අනුර පරදවන හැටි සජිත් කියයි – අනුර නීතිගරුක රටක් ගැන කියන කතා

  • ඉන්දියාව – චීනය – ඇමරිකාව සහය දක්වන්නේ කාටද ?
  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීම
  • ජාතික ලැයිස්තුවට එන්න හදන අය
  • ජාතික ලැයිස්තුව විහිළුවක් වෙලා
  • රනිල් ගෙන් මාලිමාවට ප්‍රහාර
  • රනිල් – අනුර අයියා මලෝ ජෝඩුව පරදවන බව සජිත් කියයි
  • අල්ලස -දුෂණය නැතිකර නීතිගරුක රටක් හදන හැටි අනුර කියයි
  • ගීතා සජබයට
  • ළමා පරපුරේ ඛේදවාචකය

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ඉතිහාසයේ වඩාත්ම තියුණුම ජනාධිපතිවරණය අභියස සිටින ශ්‍රීලංකාවේ පුරවැසියෝ ජනාධිපතිවරණය කුමන පැත්තකට දෝලනය වේදැයි බල සිටින්නේ දැඩි විමසිල්ලකිනි.
ඒ ඒ පාර්ශව කුමක් කීවද මේ දක්වා කිසිදු පාර්ශවයකට පැහැදිලි ජයග්‍රහණයක් අත්වන බවක් පෙනෙන්නට නොමැත.එනම් කිසිදු පාර්ශවයක් සියයට පනහක ප්‍රතිශතයක් ලබා ගන්නා බවක් මේ මොහොතේ නොපෙනේ. ඒ සියල්ලටම හේතුවී ඇත්තේ මෙතෙක් කල අප අත්දැක ඇත්තේ ප්‍රධාන පාර්ශව දෙකක් අතර තරගයක් වන මුත් මෙවර අප දකින්නේ ප්‍රධාන පාර්ශව කීපයක් අතර තරගයකි.
අනෙක් අතට ජයග්‍රහණය නොකරන ඇතැම් අපේක්ෂකයන් පවා විශාල ඡන්ද ප්‍රමාණයන් ලබා ගනු ඇති අතර එය අවසන් ප්‍රතිඵලයට බෙහෙවින් බලපානු ඇත.

මෙවර ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණයක් ගෙන නොමැති පිරිස්ද බොහෝය. එම පිරිස් ඇතැම් විට ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකශ නොකිරීමට හෝ කටු ගෑමට තීරණය කළහොත් එහි පුදුමයක්ද නොමැත. ඒ ඒ තරමට ඇතැම් අයට මේ දේශපාලන ක්‍රමය තිත්ත වී තිබේ.
කෙසේ වෙතත් ප්‍රධාන අපේක්ෂකයන් සියල්ලමත් ඔවුන්ගේ සමීප නායකයෝත් පවසන්නේ තමතමන්ගේ පාර්ශ්වය ජයගන්නා බවය.

ඉන්දියාව – චීනය – ඇමරිකාව සහය දක්වන්නේ කාටද ?

මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක කාර්යභාරයක් සිදු කරන්නේ රටවල් බව රහසක් නොවේ. භූගෝලීය පිහිටීම නිසා ශ්‍රීලංකාව ලොව ප්‍රධාන රටවලට අතිශය වැදගත්ය. එක අතකින් ඉන්දියාවත් අනෙක් අතට චීනයත් මේ සියල්ල අතරේ ඇමරිකා එක්සත් ජනපදයත් මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙයි. ඇතැම් පාර්ශව වලට අසීමිත ලෙස මුදල් ලබාදෙන විවිධ කණ්ඩායම් හා රටවල් සම්බන්ධයෙන් බොහෝ කතා පැතිරයමින් තිබේ. තවත් මාලදිවයිනක් බවට ශ්‍රීලංකාව පත් කර ගැනීම ඇතැම් පාර්ශව වල අභිලාශය බව පැවසේ. කෙසේ වෙතත් ජනතාව මේ අවස්ථාවේ මේ සියලු කාරනා තේරුම් ගැනීම අත්‍යවශ්‍යවේ. ජනාධිපතිවරණය වෙනුවෙන් මේ ආකාරයට විසි කෙරෙන මුදල් ජනතව වෙනුවෙන් වැය කරන්නේ නම් රටේ දුප්පත් ජනතාවට ඉදිරි පස් වසරේ නොමිලේ කන්නට බොන්නට ලබාදිය හැකි තරමේ මහා ධනස්කන්ධයක් වැය කෙරෙමින් තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

මේ අතර ජනාධිපතිවරණ දිනයේ හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් ගැනද කියවේ. ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කලද පාර්ලිමේන්තුව විසුරුවාහැරීම මේ වන විට ස්තිරවී තිබේ. මැතිවරණ කොමිසම පවසා ඇත්තේ දින 66 ක් තුල මහමැතිවරණයක් පැවැත්විය හැකි බවය. ඒ අනුව මේ වසරේ නොවැම්බර් මස අවසානයේ මෙරට මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ජාතික ලැයිස්තුවට එන්න හදන අය

කෙසේ වෙතත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වර්තමාන පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකුට තීරණාත්මක වනු ඇත. විවිධ චෝදනා සහිත බොහෝ දෙනෙකු මෙන්ම පොහොට්ටුවේ සහ ගෝඨාභය රැල්ලෙන් පාර්ලිමේන්තුවට පැමිණි බොහෝදෙනෙකුට යලිත් පාර්ලිමේන්තුවට යාම පහසු නොවනු ඇත. මේ නිසා බොහෝ දෙනෙකු ජාතික ලැයිස්තුවට ඇස ගසා සිටිනු දැකිය හැකිය.එහෙත් ඒ අවස්ථාව හිමිවන්නේ ඉතාම සීමිත පිරිසකට පමණි. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින පිරිස් තමන් මහජනතාවට සේවය කරා නම් ජනතාව ඔවුන් යලිත් පාර්ලිමේන්තුවට යවනු ඇත. එම නිසා පාර්ලිමේන්තුවේ දැනට සිටින මන්ත්‍රීවරු යලිත් ජාතික ලැයිස්තුව බලාපොරොත්තුවීම බරපතල විහිළුවකි.

ජාතික ලැයිස්තුව විහිළුවක් වෙලා

ජාතික ලැයිස්තුව හඳුන්වා දුන් අභිමතාර්ථ වෙනුවට දැන් බොහෝදුරට සිදුවන්නේ තම හිතමිතුරන් හෝ දේශපාලන හිතවත්කම් මත පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමය. වර්තමාන පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත්කළ ඇතැම් නම් පළමුවරට දුටුවේ එසේ පත්කළ අවස්ථාවේය. මේ ඇතැම් අය ශ්‍රීලංකාවේ දේශපාලනය කලේදැයි අප දන්නේ නැත. පක්ෂවලට ජීවිත කාලයම කැපකළ දරදිය ඇදි අයට ජාතික
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති වාර ගණන සීමා කිරීම හෝ එසේ පිවිසෙන පුද්ගලයන්ට ඇමතිධුර හා විශ්‍රාම වැටුප් ආදිය ලබාදීම සම්බන්ධයෙන් සීමා පැනවීම කල යුතුව තිබේ. හේතුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන පුද්ගලයන් මේ වන විට බොහෝදුරට හැසිරෙන්නේ මහජන මතය තුට්ටුවකටවත් මායිම් නොකරන ආකාරයෙනි. සැබවින්ම මහජන ඡන්දයෙන් නොපැමිණි හෙයින් මහජනතාව සම්බන්ධයෙන් වගවීමක් ඔවුන්ට නොමැත. එම නිසා මෙහි යම් යම් සීමා ඇතිකිරීම අත්‍යවශ්‍ය වන්නේ එහිදී මහජනතාවගේ ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් ඇතිකෙරෙන බැවිනි.

සමාජ මාධ්‍ය තුල ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාර ,වෛරී ප්‍රකාශ හුවමාරු වීම තවදුරටත් ඉහළ යමින් පවතී. ඇතැම් මාධ්‍ය සිතාමතාම තමන්ගේ ලැදියාවන් ඇති පක්ෂවලට වාසිදායක වන ආකාරයේ සමීක්ෂණ වාර්තා පල කරමින් සිටිනු දැකිය හැක. ඇතැම් මාධ්‍ය තමන් විරුද්ධ පක්ෂ වල ගැටුම් නිර්මාණය කරන පුවත් පලකරනු දක්නට හැකි අතර ඒ හරහා ජන මනස වෙනස් කරන තත්වයන් නිර්මාණ කරමින් සිටී.

මැතිවරණය ආසන්න වීමත් සමග ඉදිරි දින කිහිපයේ මෙම තත්වය වර්ධනය විය හැකිය.

රනිල් ගෙන් මාලිමාවට ප්‍රහාර

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියහොත් වාර්ෂිකව රුපියල් බිලියන හාරදහසක් රටට අහිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගම්පොළ ජන රැළියේදී පැවසීය.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වාර්ෂිකව රුපියල් බිලියන 8900 ක වියදමක් යන බව කී ජනාධිපතිවරයා , බදු අඩු කළ විට ලැබෙන ආදායම රුපියල් බිලියන 4900 ක් පමණක් බව සඳහන් කළේය..

කෝපි කඩේ කතා නැතුව සංඛ්‍යාලේඛන සමග මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නැයි අනුර දිසානායක ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.”මිත්‍රයා” ලෙස ආමන්ත්‍රණය කරන්නට එපා යැයි අනුර දිසානායක තමා හට පවසා තිබෙන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඒ නිසා හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ආමන්ත්‍රණය කරන බවද කියා සිටියේය.

“අප ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කරමු. අනාගතයේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය අනුව ඉදිරියට යා යුත්තේ ඒ නිසයි.”’

” ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනෙක් අය රට හදන ආකාරය ගැන කියන්නේ මොනවාද? සජිත් ගැන මොනවා කියන්නද? ඔවුන් හැම දෙයක්ම නොමිලේ දෙන බව කියනවා. තව ටික දවසකින් ඔවුන් බඩු ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනවා කියාවි.”


මාලිමාවෙන් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අය කියන්නේ කෝපි කඩේ කතා. ඇත්ත කියන්න බයයි. මාලිමාව කියන විදියට අයවැය හැදුවොත් ආරම්භ වෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල 400 – 450 අතර අගයකින් ඉහළ නැගලා. එහෙම වුනොත් උද්ධමනය සියයට 25කට යනවා. අපට ණය ගන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහක අගයක් දක්වා පමණයි.දැනට අපේ වාර්ෂික වියදම ඩොලර් බිලියන 6800ක් පමණ වෙනවා. නමුත් ආදායම ඩොලර් බිලියන 5100ක්. මේ අනුව අපට පරතරයක් තිබෙනවා. ඒ පරතරය පියවීම සඳහා සියයට පහකට වඩා අඩු පොලියකට ණය ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. එවිට අපගේ අයවැය පරතරය පියවීමට හැකියාව ලැබෙනවා.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන්ගේ අයවැය පිළිබඳ මා සලකා බැලුවා. රුපියල් බිලියන 8900 ක් මාලිමාවේ ප්‍රතිපත්ති අනුව වියදම යනවා. මේ අය කියන පරිදි බදු අඩු කළ විට ආදායම රුපියල් බිලියන 4900 ක් පමණයි. අපගේ අයවැය අනුව ලබන ආදායම බිලියන 5100යි. රුපියල් බිලියන 4000ක් අඩුවී තිබෙනවා. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 11.9ක් අඩු වී තිබෙනවා. ඉතින් ඉතිරි ටික හොයාගන්නේ කොහොමද?

ණයට සල්ලි ගන්න ගියොත් ඔවුන්ට පොලිය සියයට 25 ක්වත් ගෙවන්න වේවි. සල්ලි අච්චු ගහන්න ගියොත් මොකද වෙන්නේ? කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ ඩොලරය පන්සියයක් වේවි.

මා අහන්න කැමතියි මා මිත්‍ර……. ආ, මට මිත්‍රයා කියන්න එපා යැයි කියලා තිබෙනවා . හිටපු කෘෂිකර්ම ඇමති අනුරගෙන් මම අහනවා. මේ අයවැය මොකක්ද? මිනිසුන්ට නැවත මෙහෙම බර පටවන්න හදන්නේ ඇයි? වහාම සංඛ්‍යාලේඛන කියන්න. නිකං කෝපි කඩේ කතා කියන්න එපා. ජනතාවට දාන්න යන බර ගැන කියන්න.හිල් තියෙන බැනියම් අඳින කෙනා සහ ඩොක්ට සූරියප්පෙරුම මෙය හැදුවා නම් ඒ අය උත්තර දෙන්න. මේ අයට ආර්ථිකය සැලසුමක් නැහැ. ආර්ථිකය නැවත කඩනවා. එහෙම වුනොත් ගෝඨාභයගේ කාලෙට වඩා අමාරු තත්ත්වයක් හිටපු කෘෂිකර්ම ඇමති අනුරදී යුගයක් ආවොත් ඇතිවේවි. මේ නිසා ඔබ ඡන්දය දෙන්නේ කාටද කියා තීරණය කරන්න” යයි ද ජනාධිපතිවරයා කීය.


රනිල් – අනුර අයියා මලෝ ජෝඩුව පරදවන බව සජිත් කියයි

රට පරදවන, රට විනාශ කරන, රට ගිනිබත් කරන, රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජෝඩුව දේශපාලන ජෝඩුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ මහනුවර දී පැවති ජන රැලිය අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
‘‘රට පරදවන, රට විනාශ කරන, රට ගිනිබත් කරන, රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජෝඩුව දේශපාලන ජෝඩුවක් වෙලා. එයාලගෙ අරමුණ මොනවා හරි කරලා මාව පරද්දන එක. එයාලා දැනටමත් එයාලගෙ දෙවැනි මනාප බෙදාගෙන. ඒ නිසා දෙවැනි මනාප අවශ්‍යවෙන්නෙ නෑ. පළමු වටයෙන්ම සමගි ජන බලවේගය ජයග්‍රහණය කරනවා. මොකද මේ රටේ ජනතාව මේ දේශපාලන ඩීල්වලට රැවටෙන්නේ නෑ.

රටේ ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් එයාට පාස්පෝට් හෝ වීසා දෙන්න බැරි වෙලා තියෙනවා. මේ අයට රටේ ප්‍රශ්න විසදන්න බෑ. පාස්පෝට් හා වීසා ගන්න දිග පෝලිම්. ඒකාබද්ධ ඇගලුම් සංගමය කියන ආකාරයට ගැනුම්කරුවන්ට සැපයම්කරුවන්ට තාක්ෂණික සේවා සපයන අයට අප රටට එන්න වීසා දෙන්න බැරි වෙලා තියෙනවා. මේක අපේ රටට බලපානවා. මේ නිසා සංචාරක ක්ෂේත්‍රය පවා කඩා වැටෙමින් පවතිනවා.


අනුර එක්ක හොර ඩීල් නොගහ පාස්පෝට් සහ වීසා දෙන වැඩපිළිවෙළ සකස් කරන්න කියල මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ අය රටේ වගකීම බාර ගත්තොත් ඇපත් නැති වෙනවා. ඒ නිසා රනිල් අනුර මහා කුමන්ත්‍රණය පරාජය කළ යුතු වෙනවා. රජය වීසා හා පාස්පෝට් පෝලිමක් හැදුවෙ හිතාමතාමයි. මේවා වුණේ දුෂිත ගනුදෙනු නිසා; හොර ගනුදෙනු නිසා. සමගි ජන බලවේග රජයක් තුළ මේ වීසා හා පාස්පෝට් පෝලිමට තුඩුදුන් හොරකම් ටික ජනතාවට හෙළිදරව් කරලා වැරදි කළ අය නීතිය හමුවට ගෙන එනවා.

වත්මන් රජයේත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ පාලනය කාලයේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ගත්තු අමනෝඥ තීන්දු නිසා දුප්පත්කම වැඩි වෙලා. දුප්පතුන් සදාකාලික සහනාධාර අපේක්ෂා කරන්නෙ නෑ. යම් රාජ්‍ය මැදිහත් වීමක් සිමාසහිත කාලයකට ලබා දීම අපි අපේක්ෂා කරන නිසා: ගැමිදිරිය, අස්වැසුම, ජනසවිය, සමෘද්ධි, යන වැඩසටහන්වල හොඳ ගුණාංග අරගෙන දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් දියත් කරනවා.
මේ නගරයේ හැම තැනක ම නිවාස සහ නාගරික ගැටලු. ඒ නිසා අපි විධිමත් නගර සංවර්ධනයක් කරා යා යුතුයි; ජලය නොමැති පැතිවලට ජල ව්‍යාපෘති ක්‍රියාත්මකළ යුතුයි. මොකද ජලය ජනතාවගේ මානව අයිතියක්. අපි අනිවාර්යයෙන් එය ලබා දෙනවා.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම අපි ඉදිරිපත් කළේ දළදා වහන්සේට. බංකොලොත් රට යළි ගොඩනගන ගමන වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා එක්ව ජනතාව සමග සමාජ ගිවිසුමකට එලැඹුණා. අපේ රට දැවැන්ත ඛේදවාචකයන් රැසකට මුහුණ දෙමින් සිටිනවා. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව මේ ඛේදවාචකයට මුහුණ දිලා අසහනයෙන් පෙළෙනවා. රටේ උග්‍ර පොහොසතුන් හැරුණු කොට ලක්ෂ දෙසිය විස්සක ජනතාව දරාගත නොහැකි දුකක් විඳිනවා මේ දුකින් ජනතාව මුදවා ගැනීම මගේ වගකීමක්.


අල්ලස -දුෂණය නැතිකර නීතිගරුක රටක් හදන හැටි අනුර කියයි

මේ වන විට ජනතාවගේ එක ම අරමුණ ජනතාවගේ අරමුණු සහ පාලකයින්ගේ අරමුණු එකට සමපාත වෙන ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුව අමතමිනි.
එම සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,
‘‘මේ රටේ හිටපු කීර්තිමත් විනිසුරුවන්, නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් අද මෙතනට රැස්වී සිටීම ඉතාම සතුටට කාරණයක්. රටේ යම් දේශපාලන චලනයක් සිදුවෙන්න යන කොට මුලින්ම ඒක දැනෙන පිරිසක් තමයි නීතිඥවරු. ඒ නිසා තමයි මේ තරම් විශාල පිරිසක් අද මෙතනට රැස්වෙලා ඉන්නේ. විවිධ අවස්ථාවල අපේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා. නායකයෝ පත් කළා. ඒ හැම අවස්ථාවකම අපේ පුරවැසියන්ට යහපත් බලාපොරොත්තුවක් තිබුණ. කුඩා කණ්ඩායමක් ඉන්න ඇති තමන්ට පෞද්ගලිකව යමක් ලබා ගන්න. නමුත් බහුතරය ඡන්ද පොළට යන්නේ යහපත් රටක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාවෙන්. ජනතාවගේ ඒ අපේක්ෂාවන් මුළුමනින්ම ඒ පාලක කණ්ඩායම් විසින් බිඳ දමා තිබෙනවා. ජනතාවගේ අරමුණුයි පාලකයාගේ අරමුණුයි එකට සමපාත වෙන ආණ්ඩුවක් දැන් අපිට ඕනෑ. අපේ රටේ හැමදාම ආණ්ඩු හැදුණේ ජනතාවගේ අරමුණු සහ පාලකයාගේ අරමුණු පරස්පර වෙන ආණ්ඩු. මෙතන තමයි ගැටලුව තිබෙන්නේ.

ඔබට ඔබගේ ක්ෂේත්‍රය පිළිබඳ විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ ‘සියලු දෙනා නීතිය ඉදිරියේ සමානයි’ කියන මූල ධර්මයට පණ දෙන්න ඔබට අවශ්‍යයි. තවම අපේ සමාජය තුළ ප්‍රායෝගිකව එය ඉටුවී නැහැ. ජාතික ජන බලවේගෙයේ ආණ්ඩුවක් මේ මූල ධර්මයට යළි පණ දෙන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. ‘නීතියේ විධානයේ ආධිපත්‍ය ඉදිරියේ සැවොම සමානයි’ කියන මූලධර්මය අපි අනිවාර්යයෙන්ම ක්‍රියාවට නගනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අපි ස්වාධීනත්වය ලබා දෙනවා. ඒ ආයතන පද්ධතිය අදාළ අරමුණු වෙනුවෙන් මෙහෙය වීමට අපි නායකත්වය දෙනවා. කිසි විටෙකත් එම ආයතන පද්ධතිය අපේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් අපි යොදා ගන්නේ නැහැ. අපේ රටේ ජනාධිපතිවරු පවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසලකා හරිනවා නම් මොකක්ද අපේ රටට අත්වෙන ඉරණම?

නීතියේ විධානයේ ආධිපත්‍යය පාලකයන් විසින් ම නොතකා හැරීම, අපේ රටේ ආර්ථිකය, සමාජ දේහය කඩා වැටීමට විශාල ලෙස බලපා තිබෙනවා. දැන් මේක සංස්කෘතියක් වෙලා. මම උදාහරණ එකක් දෙකක් දෙන්නම්. හෝටලයක් ඉදිකිරීම සඳහා ඉඩමක් ගන්න ගියොත් ආණ්ඩුවේ ඇමතිවරයා අදහසක් හදනවා එයාගේ අත්සන නිසා තමයි ඒ ඉඩම ලැබෙන්නේ කියලා. ඒ නිසා කෙනෙක් හෝටලයක් හදනවා නම්, ඉන් ලාභයක් ලබනවා නම්, ඒ ලාභය ලැබෙන්නේ මගේ අත්සන නිසා ඒ ලාභයෙන් කොටසක් මටත් අයිතියි කියලා එයා හිතනවා. දැන් අපේ රටේ දූෂණය, අල්ලස තවදුරටත් පවතින්නේ වංචාවක් ලෙස නොවෙයි; අයිතියක් ලෙසයි. පුරවැසියන් හිතනවා මොනවා වුණත් ඇමතිතුමානෙ මට ඉඩමක් දුන්නෙ. ඒ නිසා එතුමාට කීයක් හරි දෙන එක මගේ යුතුකමක් කියලා. දැන් අල්ලස හා දූෂණය කෙනෙකුගේ යුතුකමක් සහ තව කෙනෙකුගේ අයිතියක් කියන තැනට පත්වෙලා. මේ දේශපාලන සංස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනෑ.

සමහරු කියනවා වංචා, දූෂණ නැති කළ පමණින් රට හදන්න බැහැ කියලා. ඒක අපි දන්නවා. හැබැයි වංචා, දූෂණ නතර නොකර රට හැදීම ගැන හිතා බලන්නවත් බැහැ. අද අපේ ගොඩාක් ක්ෂේත්‍ර කඩා වැටිලා තිබෙන්නේ මේ වංචා, දූෂණ නිසා. බෙහෙත්වලින් හොරකම් කරනවා නම්, සෞඛ්‍යය හදන්න පුළුවන්ද? වංචා, දූෂණ තියාගෙන, පාරක් හදන්න පුළුවන්ද? මම හොඳටම දන්නවා, මේ පාර්ලිමේන්තුවේ ඔවුන් ඇමති ධුර හොබවන්නෙ ම හොරකම් කිරීම සඳහා කියලා. ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක් දෙනවද නැද්ද කියලා සලකා බලන්නේ ඔහුට වැඩි මුදලක් ඉන් ලැබෙනවද කියන පදනම මත. පරිසර අමාත්‍යාංශයට අයිතියි වෙරළ සංරක්ෂණය. කාලයක් වෙරළ සංරක්ෂණය අතේ තබාගෙන හිටියේ රටේ ජනාධිපතිවරයා. මොකද වටිනාම ඉඩම් තිබුණේ වෙරළ සංරක්ෂණ කොටස යටතේ. විදුලි අමාත්‍ය ධුරය තිබුණා. ඒකෙ ටී.ආර්.සී. එක ජනාධිපතිවරයා අතට ගත්තා. මොකද? එතන තමයි වැඩිම මුදල් කන්දරාවක් සංසරණය වුණේ. අධිකරණ අමාත්‍යාංශය යටතේ නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුව තිබුණා. ඒක ජනාධිපතිවරයා යටතට ගත්තා. මේ විෂයයන් බෙදීම තිබෙන්නේ අල්ලසට, දූෂණයට ඉඩ ලැබෙන පරිදියි. මෙය අපේ සමාජය, ආර්ථික බිඳවැටීම සඳහා ඉවහල් වූ ප්‍රබලම කරුණයි.


ගීතා සජබයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඇය මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලිය සඳහා එක්ව සහයෝගය පළ කළාය.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නීය.
එසේම ළමුන් සහ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ඇය නිරන්තරයෙන් පෙනී සිටි අතර ළමුන් පිළිබඳ සහ කාන්තාවන් පිළිබඳ කාරක සභා රැසක් ඇතුළු තවත් පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක සාමාජිකත්වය ඇය දරනු ලබයි.


ළමා පරපුරේ ඛේදවාචකය

රටක ජීවනාලිය ළමා පරපුරයි. පසුගිය කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ වැඩියෙන්ම බැටකෑවේ ළමා පරපුරය. දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතා හමුවේ දරුවන් මුහුණදුන් අර්බුද වල නිමක් නොමැත.

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම – වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බවයි.

ග්‍රෑම් 2500 ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022 දී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මගින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව මෙම වාර්තාවෙන් පෙන්වාදී ඇත.

තවද සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බවත් මෙම වාර්තාවේ සඳහන් ව තිබේ.

2023 වසරේ ජුනි මාසයේදී කෘෂභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10% ක් ලෙස එහි දැක්වෙන අතර අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2% ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති බවත් සඳහන් වෙයි.

සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇති බවත් එහි සඳහන් ව ඇත.

2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2% ක වැඩිවීමක් බවත් අනාවරණය වී ඇත.

ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව නිසි පරිදි නොපැවතීම ද මන්දපෝෂණ තත්ත්වය ඇතිවීමට බලපා ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan