මහජන මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් පරිහරණය කරන්න – ජනපතිගෙන් උපදෙස්

Date:

වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.

ඒ අනුව රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරු වෙත ඊයේ (09) ලිඛිත උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිතුමා විසින් පෙරේදා (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් සිය රාජකාරී කටයුතු සිදු කරගෙන යාමේදී එම නියමයන්ට අනුව පහසුකම් සැලැස්විය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරු වෙත මෙම උපදෙස් නිකුත් කර ඇත.
ඒ අනුව,

1- රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන් කෙරෙන්නේ නැත. එම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරයෙකු පත් නොකරන අතර එක් එක් විෂය පථයට ගැනෙන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කටයුතු පහසු කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු අතරින් ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයා යෙදවිය යුතුය. එම අතිරේක ලේකම්වරයාට සහාය වීම පිණිස දැනට අමාත්‍යාංශයේ සිටින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු පුර්ණකාලීනව යෙදවිය යුතුය.

2- අදාළ රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇති අමාත්‍යාංශයට දැනට අනුමත කාර්ය මණ්ඩලයෙන්ම කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාදිය යුතුය. ඒ වෙනුවෙන් නව තනතුරු ඇති කර ගැනීම සඳහා වන ඉල්ලීම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් නොකළ යුතුය.

3- කාර්යාල පවත්වාගෙන යාම සඳහා දැනට අදාළ කැබිනට් අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන කාර්යාල පරිශ්‍රය තුළම පහසුකම් සලසාගත යුතුය.

4- රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්වරයා වෙත පමණක් නිල වාහනයක් ලබා ගැනීම සඳහා හිමිකම් ලබන අතර, පෞද්ගලික ලේකම්ගේ නිල රියදුරුගේ අතිකාල හා සංයුක්ත දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.

5- සහාය කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් සඳහා පොදු වාහන 02ක් පමණක් වෙන් කර දිය යුතුය. අමාත්‍යාංශය සතු වෙනත් සංචිත වාහන එකී නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා නොකළ යුතු වේ.

6- කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරි, කාර්යාල කාර්ය සහායක සහ රියදුරු ස්ථීර රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අතරින් පමණක් තෝරාගත යුතු වේ. එම රියදුරන්ට මාසික අතිකාල දීමනා ලැබිය හැක්කේ පැය 150ක උපරිමයකට යටත්ව වන අතර ඔවුන්ගේ මාසික සංයුක්ත දීමනාව උපරිම දින 08කට හිමිකම් ලබයි.

7- පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී සඳහා අනුමත උපරිම සීමාවට යටත්ව සන්නිවේදන දීමනාව ලබාදිය යුතු අතර, එම සන්නිවේදන දීමනාවට දත්ත භාවිතා කිරීම, ජාත්‍යන්තර දුරකථන ගාස්තු, මාසික ස්ථාවර ගාස්තු, බදු මුදල් හා අනෙකුත් ගාස්තු අයත් වේ.

8- සහාය කාර්ය මණ්ඩල සඳහා රජයේ වියදමින් ජංගම දුරකථන ලබා නොදිය යුතුය.

ඒ අනුව සීඒ/1/17/1 සහ 2010 මැයි මස 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් නිකුත් කර ඇති ලිපි සහ ඊට වරින් වර සිදු කරන ලද සංශෝධන සහිත ලිපිවල සඳහන් විධිවිධාන නැවත සංශෝධනය කරමින් මෙම නියෝගය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...