මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

Date:

ඉසුරු පරාක්‍රම

සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ එදාමෙදා තුර පැවති විශාලතම විරෝධතා රැළියක් ලෙස ඉකුත් සෙනසුරාදා (13) දින සංවිධානය කර තිබූ අන්ත-දක්ෂිණාංශික රැළිය සැලකිය හැකි ය.

මෙම රැළියේ ප්‍රචණ්ඩකාරී බව හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් 25 ක් සහ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට තුවාල සිදුව ඇති අතර, බ්‍රිතාන්‍ය වාමවාදී ආණ්ඩු විරෝධී ලක්ෂ ගණන් ජනයා ලන්ඩන් නගරයේ වීදිවල පෙළපාලියේ නිරතවන අයුරු දැකගැනීමට හැකිවිය. 

මෙම රැළියේ විශේෂත්වය වන්නේ එම රැළිය සංවිධානය කර තිබෙන්නේ සොරකම් ක්‍රියාවලට අධිකරණයෙන් වරදකරුවකු ව සිටින, බිහිසුණු අපරාධ ඉතිහාසයක් ඇති ටොමී රොබින්සන් (සැබෑ නම ස්ටීවන් යැක්ස්ලි-ලෙනන්) නම් අන්ත දක්ෂිණාංශික ක්‍රියාකරුවා විසින් වීම ය. 

මෙම ආණ්ඩු විරෝධී රැළිය සංවිධානයකළ රොබින්සන් සුදු අන්තවාදී ක්‍රියා මෙන්ම, ඉස්ලාම් විරෝධී සහ සංක්‍රමණික විරෝධී අභිමතාර්ථයන් උදෙසා ජනතාව ඒකරාශී කර ගන්නා බවට ප්‍රසිද්ධියක් උසුලන අතර, ඔහු විසින් සංවිධානයකළ පෙළපාලියේ, ඉකුත් දිනක එක්සත් ජනපදයේ වෙඩිකරුවකුගේ වෙඩිපහරින් මිය ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදී චාර්ලි කර්ක් නම් තරුණ ක්‍රියාධරයා අනුස්මරණය කිරීමේ පුවරු ද දක්නට ලැබිණි.  

එමෙන්ම, මෙම විරෝධතා රැළියේ තවත් සුවිශේෂී අංගයක් ලෙස, බිලියනපති ව්‍යවසායකයකු වන ඊලෝන් මස්ක් වීඩියෝ තාක්ෂණය හරහා එම රැළියට සම්බන්ධ වී සිටින අයුරු දක්නට ලැබිණි.   

ඡායාරූපය: Getty Images

“රාජධානිය එක්සත් කරනු” (යුනයිට් ද කිංග්ඩම්) යන සටන් පාඨය යටතේ සංවිධානයකර තිබූ මෙම පෙළපාලියට 110,000 – 150,000 ක පමණ පිරිසක් සම්බන්ධව ඇති බවට මෙට්රොපොලිටන් පොලීසිය පවසයි. 

යුනියන් ජැක් සහ ශාන්ත ජෝර්ජ් ධජයන්ගෙන් සැරසී සිටි විරෝධතාකරුවන්, විරෝධතාවය පාලනය කිරීමට යොදා තිබූ පොලිස් වැටවල් බිඳ දැමීමට උත්සාහ කරන අයුරු සහ නොසන්සුන් අන්දමින් පොලීසිය සමඟ ගැටෙන අයුරු කැමරා කාචයේ සටහන් වී තිබූ අතර, මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස ජනතාව හැසිරීම අනුමතකළ නොහැකි බව එක්සත් රාජධානියේ සහකාර කොමසාරිස් මැට් ට්විස්ට් පැවසුවේ ය. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂබානා මහ්මූද් පවසා සිටියේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධවන ඕනෑම තැනැත්තකුට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවයි. 

මේ අතර, අන්ත-දක්ෂිණාංශික විරෝධතාකරුවන්ට බ්‍රිතාන්‍යය කිසිවිටක යටත් නොවන බව එරට අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් පවසන අතර, මෙම විරෝධතාව අතරතුර පොලීසියට පහර දීමට සහ ආන්තික ජනකණ්ඩායම් ඔවුන්ගේ වාර්ගිකත්වය මත පහත්කොට සැලකීමට විරෝධතාකරුවන් කටයුතු කිරීම තරයේ හෙලා දකින බව අවධාරණය කරයි.  

නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ ඉංග්‍රීසි ධජය එරට විවිධත්වය නියෝජනය කරන බවයි. 

ඔහු එසේ පැවසුව ද, එක්සත් රාජධානිය තුළ මේ වන විට දැවැන්ත ජාතිකවාදී ව්‍යාපාරයක් ගොඩනැඟෙමින් තිබෙන අතර, එරට ජීවත්වන සංක්‍රමණික ප්‍රජාව, සහ විවිධ ජාතිකත්වයන් ඇති පුද්ගලයන් කෙරේ දැවැන්ත විරෝධතාවයක් ජනතාව අතර ගොඩනැඟී ඇති බව මෑතකාලීන ව නිරීක්ෂණයකළ හැකි ය. 

මේ හේතුවෙන් එරට අන්ත-දක්ෂිණාකංශික දේශපාලන ව්‍යාපාර ශක්තිමත් වෙමින් පවතී.

එක්සත් රාජධානියේ සුදු අන්තවාදියකු, වර්ගවාදියකු, සහ සංක්‍රමණික විරෝධී ක්‍රියාකරුවකු යැයි සැලකෙන ස්ටීවන් යැක්ස්ලි-ලෙනන් හෙවත් ටොමී රොබින්සන් | ඡායාරූපය: The Guardian


ඔලුව ගිනිගන්නා විට හුලුඅතු පත්තු කිරීම හෙවත් ඊලෝන් මස්ක්

පිරිස අමතමින් සිටි කථිකයන් අතර ඊලෝන් මස්ක් කැපී පෙනුනේ ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ විරෝධතාවයට එක්ව සිටීම නිසාවෙනි. එක්ස් සමාජ ජාලයේ හිමිකරුවන ඊලෝන් මස්ක් මෙම විරෝධතාවය අමතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මේ දිනවල සමාජ මාධ්‍ය කැළඹී තිබේ.

බ්‍රිතාන්‍යයේ වත්මන් රජය ප්‍රසිද්ධියේ විවේචනයට ලක්කරන මස්ක්, මෙම ආණ්ඩු විරෝධී, සංක්‍රමණික විරෝධී විරෝධතාවයට සම්බන්ධ වෙමින් පවසා සිටියේ මෙවැන්නකි;

මිනීමැරීමේ සහ මිනීමැරුම් සැමරීමේ පක්ෂය වමයි. ඔබ ප්‍රචණ්ඩත්වය තෝරාගත්තත් නැතත්, ප්‍රචණ්ඩත්වය ඔබ වෙත පැමිණෙමින් සිටිනවා. ඔබ ඊට එරෙහිව සටන්කළ යුතුයි, නැතහොත් මිය යා යුතුයි!”  

බ්‍රිතාන්‍යයේ ජීවත්වන සංක්‍රමණික සහ විවිධ වාර්ගිකත්වයන්ගෙන් සමන්විතවන ප්‍රජාවන් එරටින් අතුගා දැමිය යුතු ය යන ස්ථාවරයේ පසුවෙමින් සංවිධානයකර තිබූ මෙම විරෝධතාවයට එසේ සහයෝගය පළකරන ඊලෝන් මස්ක් ද එක්සත් ජනපදයේ නීත්‍යානුකූල පුරවැසිභාවයක් නොමැති සංක්‍රමණිකයකු වීම විශේෂත්වයකි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...

ගලේවෙලදී නීතිවිරෝධී කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පුරාවස්තු සොයා කැණීම්...