නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික) නිලධාරියෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

නිවාස ඉදිකිරිම සදහා නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබාදෙන රු. ලක්ෂ10ක ආධාර මුදල ලබා දීමට අවශ්‍ය තාක්ෂණික සහය හා නිර්දේශය ලබා දීමට අදාළ සැකකාර නිලධාරියා රු.50,000ක් ඉල්ලා ඇති අතර ඉන් රු.25,000ක් එම ආධාර වැඩසටහන යටතේ පළමු වාරිකය ලෙස රු 146,000ක මුදල ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් ලෙස ලබා ගෙන තිබේ.

ඉතිරි ආධාර මුදල ලබාගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදීම වෙනුවෙන් තවත් රු. 25,000ක් ලබාගන්නා අවස්ථාවේ සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

නියාගම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශය තුළදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් උක්ත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකාර නිලධාරියා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ