මෙවර ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල ඇරඹෙන්නේම ප්‍රශ්න සමඟය.LNW අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නේ පුහුණුවට ඉඩ නොදෙන සුගතදාසය ගැනය.ඊට වගකිවයුත්තන්ටද අපි ඒ සටහන් යොමු කළෙමු.දියගම නිලධාරි ඒකාධිකාරය ගැන කීවෙමු.වගකිවයුත්තෝ නෑසු කන්ව සිටියහ.
ඉනික්බිති උදා වූයේ පාසල් මලල ක්‍රීඩා සංගමයේ ඇඟේ බැඳ ආසියානු 18 න් පහළ තේරීම් තරගයෙන් ගොඩ යන්නට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ගත් උත්සාහය වතුරේ ගසාගෙන යන හැටිය.මේ වන විට තේරී පත්වීම් දෙකකි.ඒ උස පැනීම සඳහා බාලක බාලිකාය.එක් බාලිකාවකි.බාලකයන් දෙදෙනෙකි.බාලකයන් දෙදෙනාගේ පසුබිම් එකකට එකක් වෙනස්ය.දෙදෙනාම සම උස පැන්නත් තාක්ෂණික ගණනයන් අනුව එකට ඉන්නේ ඒ වෙනස්කම්වල පීඩිතයාය.මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල බෝදාගම නම් වූ අති දුෂ්කර පාසලක අවම පහසුකම් මැද ඉහළට නැඟෙන ඒ නමනිය සිරුරේ හිමිකරු දෙනෙත් අනුහස් ය.
ඔහු හා සම උස පැන්න අනෙක් ක්‍රීඩකයා කොළඹ ඩීඑස් සේනානායකයේ අර්ථවිඳුය.ඔවුන් දෙදෙනා පමණක් නොව මෙම ඉසව්වේ ඉහළ තරගකාරීත්වයද වැදගත්ය.පස් දෙනෙක්ම වර්ණලිභින් විය.
දෙනෙත් ට ඉර අතින් ගෙන උස පනින්නට එන්නට නොහැකිය.
“රෑට අලි ඉන්නවා.හොඳට එළිය වැටෙනකං ඉන්න ඕනි ඉතිං එන්න”
ඒ දෙනෙත්ගේ හඬය.අලින්ට උඩින් දෙනෙත් සිය ජීවිතයේ සාර්ථකත්වය රැඳෙන උස පැනීමේ පිටිය දැකිය යුතුය.
දෙනෙත්ගේ අම්මා මැද පෙරදිග ගෘහ සේවිකාවක්ය.තාත්තා දිවිය සවි කර ගන්න දවසේ ලැබෙන රැකියාවක නියැලෙන්නේය.ආච්චීද,සීයා ද සමඟ ගෙවෙන දෙනෙත්ගේ ජීවිතය සහෝදර උණුසුම දෙන මලයන්ඩිය ද අයියාගේ අඩි පාරේ යමින් දැන් උස පනින්නෙක්ය.ඔහු මේ උළෙලේ අවුරුදු 16 න් පහළ එම ඉසව්වේ පස්වැන්නා වූ පන්සිළු ය.
“ප්‍රැක්ටිස් එන්නෙ – යන්නෙ පයින්.කිලෝමීටර් දෙකක් විතර තියෙනවා.ගාණක් නැහැ.”
මීටර් සීයටත් වාහන තියෙන සංස්කෘතීන් ඇති පාසල්ද ඇති රටක දෙනෙත් විඳහා පෙන්වන්නේ දරා ගැනීමේ හැකියාවය.
බෝදාගම පාසල් පිටිය ගල්තලාවක්ය.මේ ගල් ගැන තොරතුරු ඉහළට ගිය ද ඒවායේ ඉන්න අයගේ හිත් ගල්මෙන් තිබෙන තුරු තෙත් වන්නේ නැත.
“ජම්ස්ස්වලට තැනි ප්‍රදේශයක් හදාගෙන ඒවයේ තමයි ජම්ප්ස් කරන්නෙ.රන්ප් එක ඉතිං ඒ දුරට සීමා වෙනවා.වෙන ඉඩ නැහැනෙ”
මේ සඳහා හුරු පුරුදු විසඳුමක් රටේ ක්‍රීඩා බලධාරීන්ටත් මලල ක්‍රීඩා බලධාරීන්ටත් තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.
දෙනෙත්ගේ මල්ලි පන්සිළු
අපි ස්කෝලයක් දෙන්නම්.මල්ලිවත් ගන්නම්.18 වුණාම හමුදාවට එන්න.(සෑම හමුදාවකින්ම හමුදා අනුඛණ්ඩයන්ගෙන්ද මේ ආරාධනා දැනටමත් ලැබි ඇතැයි අපි විශ්වාස කරමු)
එතැනින් බෝදාගම නැඟෙමින් තිබෙන මලල ක්‍රීඩා සංස්කෘතිය හමාර වන්නේය.ඔවුන් පාසලට ගේන ආඩම්බරය දැක විඳ එ පසුපස එන පිරිස නිමා වන්නට හෝ හමාර වන්නට හැකිය.
මීටර් 150 ක පමණ ධාවන පථයක් ඇඳ ගන්නට යාන්තමට හැකියව ඇති බෝදාගම පිට්ටනිය ඉඩ මදි කියා විශාල හදවත් ඇති ක්‍රීඩා ගුරුවරිය නිලූකා සේනාරත්නත්,ක්‍රීඩා පුහුණුකරු කළණ විජයසෝමත් සැලෙන්නේ නැත.අව්වට වැස්සටවත් ඔවුන්ව නවත්තන්නට බැරිය.මහපාර, පංති කාමරය ඔවුන් දෙදෙනා ක්‍රීඩා පිටිය කරගෙන වැඩේ කරගෙන යන්නේය.දෙනෙත් සහ පන්සිළු පමණක් නොවේ,ඔවුන් කළාප දිස්ත්‍රික් සහ පළාත් මට්ටමෙන් බෝදාගමට බොහෝ දෑ අත්කර දෙන්නෝය.
“අම්මට කිව්වා හරි සතුටුයි.”
අම්මාගේ සතුට දෙනෙත් ගේ දෙනෙත් සසැලීමෙන්ම හඬ පැටලීමෙන්ම පැහැදිළිය.
කාන්තාර පිරි භුමියක ඇය දරුවන්ගේ අනාගතය පලබර කරන්නට වෙහෙසමින් දකින සිහිනයක් දිගේ පුතා මැද පෙරදිගටම ආසියාව සමඟ හැප්පෙන්නට පැමිණෙන්නේය.තරගාවලිය පැවත්වෙන්නේ කුවේට් හි නිසා එසේ එන පුතුට, තමා හිස නමා අචාර සමාචාර කරන මිනිස්සු නැඟිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිටියේ ඇවිද යද්දි ආචාර කරයිනම්….ඇගේ ඇඟේ දහඩිය ගැන – වෙහෙස ගැන, නෙතේ හෙළු කඳුළු ගැන ලැබෙන සතුට කෙතරම් වනු ඇද්ද?
ආච්චිල සීයලට සතුටුයි.තාත්තත් සතුටුයි කිව්වා.එයාලට ඉතිං බලන්න එන්න බැහැනෙ.ගමේම අය සතුටු වෙයි.එයාල මට ආදරෙයි.මම දවල්ට පාඩ්ම් කරන්නෙ ගමේ මල්ලි කෙනෙක්ගෙ ගෙදර.ඕලෙවල් කරලා ඉන්නෙ.ක්‍රීඩා උපදේශකයෙක් වෙන්න තමයි ආශාව.
මේ සියලු ආශාවන් සහ ආදරණිය ගම දෙනෙත්ගෙන් උඳුරා දමන්නට නරකය.අනන්ත කැපවීමෙන් දෙනෙත්ලාට ක්‍රීඩාවෙන් ජීවිතයේ වටිනාකම දකින්නට උගන්නන නිලූකා සහ කළණ තනි කරන්නට ද නරකය.ඩබ්ලිව් පි සෝමරත්න විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය මෙවැන්නන් ක්‍රීඩාවෙන් පෙරට ගෙන එන්නට සහය නොදක්වන්නේන්ම් දෙනෙත්ලාට ජීවිතය නොපෙණෙනු ඇත.දරුවන් 550 ක් පමණ සිටින කුඩා පාසලක් දෙනෙත් උගුල්ලා ගැනීමෙන්ම වසන්නට හැකිය.ඒ වටා හෙට දකින්න සිහින මවන්නට අසල්වාසීන්ට පෙන්වන්නේ දෙනෙත්ය.
ඒ නිසා කරුණාකර බලධාරීන් දෙනෙත් මෙන්ම දෙනෙත්ගේ පාසලද බොහෝ දුර දකින්නට ඉඩ තියෙන දෙනෙතක් සේ සිතා රැක ගත යුතුය.හමුදා සෙබළෙක්ට සීමා නොවුණු ජිවිතයක් අධ්‍යාපනයෙන් ලබන්නට වෙනත් දේශයකට යොමු කරන්නට හැකිනම් ඇයගේ මව බැල මෙහෙ කර රටට විදේශ විනිමය අඩුම මොහොතක එවන ඩොලර්වලට බලධාරීන් දක්වන කෘතවේදිත්වයක් වනු ඇත.
සමහර දේශයන් ක්‍රීඩාව සහ ක්‍රීඩකයා දෙස ජාතික සම්පත් සේ දැක අනාගතය වෙනුවෙන් එක් පදක්කමකට දරණ වැයගැන අපි අසා ඇත්තෙමු.දැක ඇත්තෙමු.ඒ තරම් දුර යායුතු නැත.මේ මොහොත බෝදාගම යනු දෙනෙත් අනුහස්ය.එහි බොහෝ දෙනාට මේ පිම්ම අනුහසක් සේ දැණෙනු ඇත.තමන්ගේ ගම ගැන රට මේ විදිහට කතා කරන වේදිකාවක් කළ අනුහස්ගේ පිමිම නැඟෙන්නේ අඩු පහසුකම් ඇති බෝදාගම පාසලෙන්ය.පාසල පාසලේ ක්‍රීඩා පිටිය බෝදාගම ගෞරවණීයම තැන කළ දෙනත් වෙනුවෙන් ඔහු පෑ අනුහසට කෘතවේදීව ගම එකතු වුව ද එහි රටට ඇති වටිනාකම වැඩි කළ හැකිය.රටට ද රටක් වටින පුතුන් තනන ඒ බිමට තව තවත් පහසුකම් දෙන්නට මැදිහත් වන්නට හැකිනම් බෝදාගමට පමණක් නොව දෙනෙත් අනුහස් රටටම අනුහසක් වනු ඇති බව අපි විශ්වාස කරමු.
තවත් දෙයක් අවසනට එකතු කරන්නට ඇවැසිය.ශ්‍රී ලංකාවට අපූරු යොවුන් මිටර් 400 සූරයෙක් හමුවිය.ඔහු දකුණු ආසියාතික කණිස්ඨ මීටර් 400 ඉසව්වේ රන් පදක්කමද ගෙල ලා ගත්තේය.ඔහුගේ අම්මා හිටියේද මැද පෙරදිගය.පුතාගේ දස්කම්වලින් අමන්දානන්දයට පත් අම්මා සියල්ල කැප කර පුතාගේ දුවන පය ඇවිදින විට රිදෙන එක නවත්තන්නට යතුරු පැදියක් ගෙන දුන්නාය.පසුව ඔහු පොළොන්නරුවේ සිට කොළඹ රාත ියේ මැසි මඳුරු උවදුරු පීඩාව ඉවසන්නට බැරිව තරග දවසට යතුරු පැදියෙන් එන්න යන්නට පටන් ගත්තේය.ක්‍රීඩාවට අවශ්‍යය විවේකය නොලද්දේය.පරාජය විය.ක්‍රීඩාවෙන් ඉවත් විය.
ඒ නිසා මහන්සියෙන් හම්බකරන සල්ලිවලින් දෙනෙත්ගේ දැක්ම පළල් කරන්නට නිරන්තරයෙන් ඔහුගේ ක්‍රීඩා ජිවිතය ගැන පුහුණුකරුවන්ගේ උපදෙස් ලබන්නට අම්මා සංව්දි වේනම් එයද යහපත්ය.
RM