මේ දිනවල ආර්.ප්‍රේමදාස පිටිය ගැන විවිධ කතා ඇසෙයි.එය ඉංජිනේරු සංස්ථාව සැකසූ බව අයෙක් කියන විට රජිත කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ එය කොළඹ මහ නගර සභාව විසින් කළ බවය.මේ කතාවල පොදුවේ පිළිගන්න ඇත්ත එය පිටියක් කළ නොහැකි මට්ටමේ වගුරු බිමක ස්වරූපයක් ඉසිලූ බවය.එය තනිකරම රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටියදී කළ වැඩක් බවය.
මෙහිදී මේ රටේ ජනාධිපතිවරු අගමැතිවරුන්ට සහ ඇමතිවරුන්ට සිය දැක්ම සහිතව වැඩ කරන්න දුන්න සමයක් ලෙස තව අතෙකින් ගත හැකිය.ඒ නිසා ජේ.ආර් ගේ ජනාධිපති සමය තුළ ප්‍රේමදාස,ගාමිණි සහ ලලිත් යන තිදෙනාම එක ලෙස වැඩ කරන මට්ටමක සිටි බව නොරහසකි.ඒ ඉඩ ඉන් අනතුරුව නොතිබිණ.චන්ද්‍රිකා සහ සිරිමා දුව සහ මව ලෙස සිටියද අගමැතිණියට එසේ වැඩ කරන්නට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නොතිබිණ.ඇය රෝද පුටුවක හිඳුවා පක්ෂ අභ්‍යන්තරය සමබරව තබා ගැනීමට වඩා රටට දෙයක් කරන්නට හැකියාවක් නොතිබිණි.
අනතුරුව ගෝඨාභය සහ මහින්ද වූ මල්ලි අයියා දෙබාන ය.වැඩක් කෙරුණේ නැත.අයියාට සහ මල්ලීට දෙන්නටම ජනමතයට පිටු පෑම ලෙස සරලව චෝදනාව සංක්ෂිප්ත කළහොත්,බරපතල ජනතා විරෝධය මත තනතුරුද අතහැර ගොස් සැඟවී සිටින්නට සිඳු විය.
මේ ආකාරයෙන් බලන විට ජේ.ආර් දරුණුම ඒකාධිපතියා කියන කාරණයේ යම් සංශෝධනයක් සහිතව සිතන්නට වන්නේය.නමුත් ඒකාධිපතියා නිර්මාණය විය හැකි ව්‍යවස්ථාමය පසුබිම නිර්මාණයේ වගකීම ඔහුටමය.
මේ තත්ත්වය මත සැකසෙන ඛෙත්තාරාම ක්‍රිඩාංගණය ප්‍රේමදාසගේ නම ගැසූ පිටියක් වූයේ ඔහු ජිවත්ව සිටියදී නොවේය.මියගිය පසුවය.ඒ ප්‍රදේශයේ පැරණි මිනිස්සු තවමත් මේ දේ සළකන්නේ ආශචර්යයක් හැටියටය.නිතර තෙතැති බිමක අද හොදින්ම වතුර ඉවත්වෙන ක්‍රීඩා පිටියක් ලෙස පවතින ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියට ප්‍රේමදාස නාම හොඳින්ම ගැලපෙන බව අවට පැරන්නෝ පවසති.හේතුව දේශපාලකයාගේ පෞද්ගලික දේපළක් නොවුණ ද ඔහුට පහළ වූ අදහස සහ ඒ වෙනුවෙන් දැක් වූ උනන්දුව නොවන්නට පිටිය තිබෙන ස්ථානය අපිළිවෙලට පිරුණු මුඩුක්කු පේළියක් ලෙස අදත් දිස්වන්නට නියමිත තැනක්ය.
සමහර දේවල් ගෙදරින් නොගෙනාවත් සමහර අයගේ නම් යෙදිය යුතු මට්ටමේ පවතින්නේය.ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉතිහාස කතාව සහ අද වන විට ක්‍රිකට් පිටියක් ඉදිකිරීම සඳහා වන ඉහළම තාක්ෂණය සහිත පිටියක් හැටියට ලෝකයම පිළිගන්න මේ ක්‍රීඩා පිටිය සහිත බිම ගැන ඉදිකරන්නට පෙර මිනිස්සු දැක්කේ එහි ජාත්‍යන්තර පිටියක් යනු පිස්සුවක් ලෙස ය.නමුත් ප්‍රේමදාස එක්ක සෙල්ලම් නොහැකි බවට ඇති ප්‍රසිද්ධ කාතවට අනුව ඉංජිනේරුවරු කල්පනා කරන්නට වූයේ තමන් උගත් තාක්ෂණය වඩාත් පළල්ව සහ නිර්මාණාත්මකව මේ බිම සමඟ පාහන්නේ කෙසේද යන්නය.
ඒ නිසා අද තෙතැති මඩ වන බිමක් නොව,එය ඉතා ඉක්මණින් ජලය ඉවත් වී ක්‍රිඩා කිරීමට සුදුසු බිමක් බවට පත්වන ජාත්‍යන්තර පිටියක්ය.
එසේම මේ තැනූ පොළවේ ජීවත් වූ මිනිස්සු තරමටම දුප්පත්,අධ්‍යාපනයෙන් ඉහළ යන්නට වරම් නැති පරිසරයක වෙසෙන මිනිස්සු කොට්ඨාශයක් අද වන විට මේ පිටය ජාත්‍යන්තර මට්ටමේ ඉහළම පිටියක් බවට පත් කරමින් සිටින්නේය.ප්‍රේමදාස එකේනම් බය වෙන්න දෙයක් නැහැ පැය කිහිපයක් පෑවිවොත් මැච් එකට පිච් එක සෙට් වැනි අදහසකින් මේ පිටය වර්ණනා කරන විදේශ ක්‍රීඩකයෝ,ක්‍රිකට් බලධාරිහූ සහ මාධ්‍යවේදී හූ පිටිය සම්බන්ධයෙන් ලෝකයට ආඩම්බර හිතෙන ප්‍රකාශ නිකුත් කරති.
ආසියානු කුසලානය මුළුල්ලේම වැසි වැටෙන මොහොතක් ගාණේ විදෙස් මාධ්‍ය කතා කළේ මේ සේවක මණ්ඩලයේ විස්කම්වලට තරග පැවත්වීම භාර බව කියමින්ය.ඒ තරමට මේ මිනිසුන්ගේ සේවය ක්‍රිකට් සරසන ආභරණයක් සේ ලෝකය පිළිගන්නේය.වැස්සොත් බැහැ කියන සාමාන්‍ය මට්ටමේ කතාවෙන් ඈතට ගොස් ප්‍රේමදාස එකේනම් පුළුවන් වෙයි වගේ හැඟීමක් ලෝකයේම සිත් තුළ පැළපදියම්ව ඇත.මේ පිටිය ඉදිවීම සම්බන්ධ ඇත්තත් එබඳුමය.
නිලධාරීන්ට අනවශ්‍යය පීඩනයක් දෙමින් මඩ වගුරක් පිට්ටනියක් කරන්න හදන ප්‍රේමදාසගේ පිස්සුව ගැන කියූ මිනිස්සු අද මිය ගිය පසු ඒ පිටිය ප්‍රේමදාස වීම ගැන ප්‍රශංසා මුඛයෙන් දොඩන්නේ එය විය යුතුම ඛල නොහැකි දෙයක් කරන්නට නායකත්වය දුන් නායකයෙක් බවට ප්‍රේමදාසගේ නමට ප්‍රශස්ති ලියමින්ය.
මේ පිටියේ පසුබිමේ ඇත්තේ ලංකාවේ හිටපු දේශපාලන නායකයෙක් බැරි දෙයක් නැත යනුවෙන් කළ ඔප්පු කිරිමකි.අද මෙහි පිටිය සේවකයින් කරන්නේ ආයෙ ගහන්න බැහැ කියා හිතෙන වැස්සකදී වුව එහෙම බැහැයි කියලා දෙයක් නැති බව පෙන්වමින් පායා පැය කිහිපයකින් තරගය පැවත්විය හැකි මට්ටමට පිටිය සකසා දීමය.මහ වැස්සෙන් හානියක් නොවන්නට පිටිය ආරක්ෂා කර දීමය.යුහුසුළුව කඩි රැලක් මෙන් වැස්සෙන් පසුව තෙත ඉවත් කර දීමය.
ඒ නිසා ආර්.ප්‍රේමදාස පිටිය පිටුපස ඇත්තේ බැහැයි කියා දෙයක් නැති බව පෙන්වා දුන් සහ දෙන ලාංකිකයන්ගේ පරිච්ඡේදයක්ය.ඒ නිසා කෝලිලා,ගිල්ලා සහ රොහිත් ෂර්මාලා වැන්නන් ද,බුම්රා,ජඩේජා,කුල්දීප් වැන්නන් ද නැතුවාට ජයග්‍රහණය ලැබීම බැහැයි කියන මට්ටමට ශ්‍රී ලංකා කණ්ඩායම නොයා යුතුය.මේ පිටිය ලාංකිකයන් පෙණුමට බැහැයි කියා සිතෙන දේ හැකි බව ලෝකයේම විශ්මයට පත්වෙමින් ඉදිකළ සහ ඉටු කළ තැනක්ය.
සටහන – නිශ්මං රණසිංහ