පැනමාවෙන් මතු වූ අමුතු වස්තුව පිටසක්වල ජීවියෙක් ද? ටික්ටොක් ගිනිබත්කළ වීඩියෝවේ නොකී කතාව

Date:

ඉසුරු පරාක්‍රම

සැප්තැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මීට දින කිහිපයකට මත්තෙන් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයෙන් මතු වූ අමුතු වීඩියෝපටයක් ගැන ලෝකයක් කතාබහ කළ අතර, ඒ පිළිබඳ සංවාදය වඩාත් උත්සන්න වූයේ එම වීඩියෝපටපෙළ උඩුගතකළ ගිණුම් හිමියා ඔහු විශ්වාසකළ පරිදි ඔහුගේ හෙළිදරව්වෙන් දින කිහිපයකට පසු ආගිය අතක් නොමැති බවට පළ වූ පුවත හේතුවෙනි.

මෙම වීඩියෝපට පෙළෙහි දැක්වූයේ මධ්‍යම ඇමරිකාවේ පැනමා ප්‍රදේශයෙන් හමුවූයේ යැයි කියන උල්කා වස්තුවකින් මතු වූ ජීවයක් ඇති බවට හැඟවෙන ද්‍රව්‍යයකි. එම ද්‍රව්‍යයේ විශේෂත්වය වූයේ එය හමුවූයේ යැයි කියන දිනයේ සිට දින කිහිපයක් ගතවන්නට මත්තෙන් දැවැන්ත, අපැහැදිලි, එහෙත් අත්භූත හැඩයක් ගන්නා, සහ චලනයක් පෙන්නුම් කරන කළු වස්තුවක් බවට එය පත්ව තිබීමයි. 

මෙලෙස විශාල වී තිබූ ද්‍රව්‍යය මාර්වල් චිත්‍රකතාවල පැමිණෙන නිසි හැඩයක් නොමැති “වෙනම්” (Venom) නම් පිටසක්වල ජීවියාගේ හැඩයට බොහෝ සෙයින් සමාන ය.  

මෙම වීඩියෝපටපෙළ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට උඩුගතකළ (@kingpanama නමින් පෙනී සිටි) ගිණුම් හිමියා පවසා සිටියේ එම උල්කා වස්තුව ඔහුගේ නිවසේ වත්තේ පිළිකන්නට වැටී තිබූ බවත්, එය රැගෙනවිත් නිවසින් තබා දින කිහිපයක් ගතවන්නට මත්තෙන් ඉන් ජීවයක් බඳු මෙම කළු ද්‍රව්‍යය ගොඩනැඟී තිබූ බවත් ය.

මෙම වීඩියෝපටය මිලියන ගණනක් වූ ටික්ටොක් පරිශීලකයන් නරඹා තිබූ අතර, ලොව පුරා මාධ්‍ය ජාලවල ක්ෂණික ශීර්ෂපාඨ මවන්නකු බවට පත්විය. කෙසේවෙතත්, තාක්ෂණික දියුණුව අතින් හිනිපෙත්තකට පිවිස සිටින සමාජ මාධ්‍ය යුගයේ ජීවත්වන මිනිසුන් මෙම වීඩියෝපටය පිළිබඳ සෑහීමකට පත්වූ බවක් පෙනෙන්නට නොතිබිණි. මෙම වීඩියෝපටවල දැක්වෙන අත්භූත වස්තුව සාවද්‍ය එකක් බවත්, එය එම ටික්ටොක් ගිණුම්හිමියා පවසන පරිදි පිටසක්වල වස්තුවක් නොවන බවත් එම වීඩියෝපට නැරඹූ දහස් ගණන් පරිශීලකයන් කමෙන්ටුවලින් අදහස් දක්වා තිබිණි. ඇතමෙකු පැවසුවේ මෙය ඒඅයි තාක්ෂණය මඟින් කෘතිමව නිර්මාණය කරන ලද්දක් වන්නට ඇති බවත්, තවත් පිරිසක් පැවසුවේ පාෂාණ වර්ණ ගන්වා, ලාභ උප්පරවැට්ටි ඔස්සේ ජනතාව රවටා නැරඹුම්වාර ලබා ගැනීමට මෙම තැනැත්තා උත්සාහ දරන්නට ඇති බවත් ය.

මෙම අත්භූත වස්තුව පිළිබඳ මෙම ටික්ටොක් ගිණුම්හිමියා පළකළ වීඩියෝපටපෙළ යම් ස්ථානයක දී නතරවන අතර, ඉන් මත්තට කිසිඳු වීඩියෝපටයක් උඩුගත කිරීමට ඔහු කටයුතුකර නැති අතර, ඔහු පිළිබඳව තොරතුරක් සොයාගැනීමට ද නොහැකි බවට ඉන් අනතුරුව වාර්තා පළවිය. @kingpanama නමින් පෙනී සිටි මෙම ටික්ටොක් ගිණුම් හිමියා මෙම අත්භූත වස්තුව සම්බන්ධයෙන් උපකාර ඉල්ලා සිටින බවට එරට විශ්ව විද්‍යාලවලින් පවා ඉල්ලීමක් කළ ද ඊට ද යහපත් ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි. 

මේවන විට, මෙම අත්භූත වස්තුව සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් රෙඩිට් සමාජ ජාලයේ පළවී තිබේ. මෙම වීඩියෝපටය සාවද්‍ය වීඩියෝපටයක් නොවන නමුත්, එහි දැක්වෙන වස්තුව නිසැකවම පිටසක්වල ජීවයක් නොවන බවට එම පැහැදිලි කිරීමේ දැක්වෙයි. 

HighStrangeness නම් රෙඩිට් පරිශීලකයා පවසන පරිදි, මෙම වස්තුව සිලිකන්-පාදක වූ පොලිඩයිමෙතිල්සිලොක්සේන් (polydimethylsiloxane) නම් පොලිමර් ද්‍රව්‍යය පොදු ද්‍රාවක ද්‍රව්‍යයක්වන හෙක්සේන් (hexane) සමඟ මිශ්‍රකළ විට ලැබෙන රසායනික ප්‍රතික්‍රියාවයි. 

මෙම රසායනික ද්‍රව්‍ය දෙකම එදිනෙදා ජීවිතයේ සුලභව භාවිතයට ගන්නා බවත්, වෛද්‍යමය කටයුතු, ආහාර පිසීම, ලිහිසිකාරක, සහ සිදුරු වැසීම වැනි කටයුතු සඳහා එම ද්‍රව්‍ය භාවිතයට ගන්නා බව එම පැහැදිලි කිරීමේ දැක්විය. 

තව ද, පොලිඩයිමෙතිල්සිලොක්සේන්වලට හෙක්සේන් උරාගන්නා බවත්, එවිට එහි ප්‍රමාණය විශාලවන බවත්, එමඟින් වීඩියෝපටවල දැක්වෙන පරිදි චලනයක් පෙන්නුම්කරන බවත් HighStrangeness නම් රෙඩිට් පරිශීලකයාගේ පැහැදිලි කිරීමේ වැඩිදුරටත් දැක්වෙයි. මෙසේ ද්‍රාවකය අසමාන ලෙස වාෂ්පවන විට, පොලිමර් ද්‍රව්‍යය අක්‍රමවත් ලෙස හැකිලී ගොස් හුස්ම ගන්නා බඳු චලිතයක් ඇති කරන අතර, මෙම සමස්ත ක්‍රියාවලිය තුළ එම ද්‍රව්‍ය සංයෝජනයේ පෙනුම, වර්ණය සහ චලනය හේතුවෙන් එය සැබෑ කාබනික ජීවයක් බඳු පෙනුමක් ගන්නා බවයි එම පැහැදිලි කිරීමේ දැක්වෙන්නේ. 

ඡායාරූප: අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකානු මහ බැංකු පොලිය 0.25 කින් කැපීම, අපේ මුදල්වලට බලපාන හැටි.

මූල්‍ය සාක්‍ෂරතා අත්වැල 03 ලිපියේ අරමුණ සහ පසුබිම   ඇමෙරිකානු මහ බැංකුව විසින්...

විදුලි බල සාකච්ජා අසාර්ථකයි. සාකච්ජාව අතරතුර වෘත්තීය සමිති නැගිට යයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය...

ග්‍රැමී සම්මානලාභී රචක බ්‍රෙට් ජේම්ස්, ගුවන් අනතුරකින් මරුට!

සටහන – පුලී සැප්තැම්බර් 20, කොළඹ (LNW): 2005 වසරේ ජනප්‍රිය...