*
Friday, April 26, 2024
spot_img

Latest Posts

අර්බුදයේ අර්බුදය … !!

සමස්ථ ලාංකීය සමාජයම තිරිංග සිඳී ගිය අබලන් රියක් සේ කෙලවර නොපෙනෙන ප්‍රපාත බෑවුමක් දෙසට වේගයෙන් ඇදී යයි. නමුත් පාලක පාලිත දෙපාර්ශවයම මේ තත්වය බරපතල ලෙස බාර නොගන්නා සහ අර්බූදය හමුවේ අසංවේදී අස්තානයක සියල්ලෝ මිදී ඇති බවක්ද පෙනෙන්නට තිබේ.

දැනටමත් ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම නැවතී මිලියන එකහාමරක පිරිසකට රැකියා අහිමිව බඩේ පාර වැදී ඇත. පිටි මිල, ගෑස් මිල ප්‍රශ්නය නිසා කුඩා පරිමාණ බේකරි,හෝටල් විශාල ප්‍රමාණයක් වැසී ගොස් ඇත. තාප විදුලි බලාගාර වලට අවශ්‍ය ගල් අඟුරු ඇණවුම්වල තත්වයද අවිනිශ්චිතය. යම් හෙයකින් ගල් අඟුරු සැපයුම නැවතී විදුලි බල සැපයුම බිඳ වැටුනොත් ඉතිරි කර්මාන්තය ටිකද අහවර වීමට නියමිතය .

සෞඛ්‍ය ක්ෂේත්‍රය ක්‍රමයෙන් බිඳවැටෙමින් සහ රෝහල් පද්දතිය ටිකෙන් ටික අකර්මණ්‍ය වන තත්වයක පවතී. අනෙක් පැත්තෙන් අධි උද්දමන තත්වයක මුව විටේ පවතින වෙළඳපොලේ මිල උච්චාවචනය වීම් තුල මිලදී ගැනීමේ සක්‍යතාවය දුර්වල පාරිභෝගිකයන් ඛේදජනක ලෙස දිනෙන්දින වෙළඳ පොලින් පිටමං කරමින් පවතී..

ජනාධිපතිවරයා බලයට පත්ව සැලකිය යුතු කාලයක් ගතවි ඇතත් ඔහුද චොකාලට සනත් නිශාන්තලට ඇමතිකම් ලබාදෙමින් පොහොට්ටුවට කප්පම්ගෙවමින් පදවියේ බලය ස්තාවර කරගැනීමට දරණ පටු උත්සාහයක් මිසක අර්බුධයෙන් රට ගලවා ගන්නට ඔහු ගන්නා පියවර කිසිවක් පෙනෙන්නටද නැත.
ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකම අපේෂාව ඉදිරිවසර දෙකහමාර අවසන්වන තුරු කෙසේ හෝ පාර්ලිමේන්තුව තුල හිඳිමින් ගතහැකි සියළු වරප්‍රසාද වරදාන කප්පම් රනිල් හරහා ලබාගෙන ඔහේ කාලය ගෙවා දැමීම පමණි. රනිල්ගේ අපේක්ෂාවද අහඹු ලෙස ඉහට කඩාවැටුන සහ කාලයක් තිස්සෙ පෙරුම්දම් පුරමින් බලාසිටි ජනපති පදවිය කෙසේ හෝ බේරාගැනීම පමණ්ක් බවද දැන් දැන් පෙනෙන්නට තිබේ..

වීරවංශ, පාඨලී, ජ.වි.පෙ., පෙ.ස.පෙ. වැනි සකළාකාර විපක්ෂ කන්ඩායම් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමක් ගැන රොමෑන්තික ජනප්‍රිය වාදයක් දේශනාකරමින් තරඟෙට අයි.එම්.එෆ්. බිල්ලෙකු මවමින් සිටී. මීට වසර හාරපන්සීයකට පෙර පැවති දේශීය ආර්ථික කතාවස්තුව ප්‍රාග්ධන අපනයනය සිදුවන මේ සියවසේ සාකච්චාවට ගැනීමෙන් දැන් සිදුවන්නේ ලිං මැඩි ජාතිකවාදය කුළු ගැන්වීම පමණි.

ඔවුන්ගේ මේ චන්ද එකතුකර ගැනීමේ ජනප්‍රියවාදී දෙශපාලන කඹ ඇදීමේ අවසාන ප්‍රතිපලය අන් කිසිවක් නොව අර්බූධයෙන් ගැලවිය හැකි එකම මාර්ගයටද වල කපාගැනීමය..
මෙය අති බයානක දේශපාලන බල සූදුවකි.

මෙයද බොහෝ දුරට ජන ඝාතක යුද්ධය මාකට් කරමින් ස්වකීය නරුම චන්ද පදනම පෝෂනය කරගනිමින් හෙළ උරුමය සහ ජ.වි.ප.ය තරඟෙට ජාතිවාදය උඩ දැම්මා වැනිම වු ක්‍රියාවකි..

එක් පසෙක සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අයි. එම්. එෆ්. විරෝධී වෙමින් සහ රාජ්‍ය ( හොරගුහාවන් බවට පත්ව ඇති) ව්‍යවසායන් ආරක්ෂා කරගත යුතු යැයි කියමින් උත්ගෝසනය කරයි. ඔවුන් සමඟ තරඟෙට විමල්ගේ උත්තර සබාවද, ජ.වි.පෙ.ද, පාඨලීගේ සේනාංකයද අධිරාජ්‍ය විරෝධය මාකට් කරයි. බොහෝ දුරට ඔවුන් මේ කරන්නේ දැනුවත් වංචාවකි. මේ ඊනියා අධිරාජ්‍ය විරෝධය මහජනයා පහසුවෙන් ආකර්ශනය කරගත හැකි කූඨ සූත්‍රයකි.

නමුත් රට මෙතරම් දරුණු අගාධයක් වෙත රට රැගෙන ආවේද සත්‍ය වසංකොට මහජන අවකාශය පහසුවෙන් දිනාගත හැකි මේ ගෝත්‍ර නිල පිරි මැදීමේ දේශපාලනයයි..

අරගලය යනු අර්බුදයට රැඩිකල් විසඳුමක් සෙවීම සඳහා නිර්මාණය වූවක් ලෙස මතු පිටින් පෙනෙන්නට ඇතත් අරගලය යනු අර්බූදයේම රෝග ලක්ෂනයකි. මහා ගිනිවිජ්ජුම්බරයක් නැටීමෙන් පසුවද අරගලයෙන් කරගත් එකම දෙය ගෝඨා දී රනිල් ගැනීම පමණි. අවසානයේ අරගලයේ එකම අබිලාශය කෙසේ හෝ අරගලය පවත්වාගෙන යාම පමණක් සහ ඉන් එහාට කිසිවක් නොපෙනෙන අඤ්ඤකොරොස් තැනකට අරගලය වැටී ඇත.

අනන්‍යතාවයක් රහිතව සිටි ඇට්ටා බැට්ටා වැනි ලුම්පන් පුත්ගල සරීර කීපයකට හිටි ගමන් කඩාපාත් උන අරගලය නිසා ජාතික අනන්‍යතාවයක් දැන් ලැබී ඇත. දැන් ඔවුන්ට එකී මහා අනන්‍යතාවයන් අතහැර ගෙදර යාමට හිත හදාගත නොහැකිය.

ගෝඨා එලවූ අරගල කරුවන් ඊළඟට රනිල්ද එලවිය යුතු බව කියයි. රනිල් එලවීමෙන් පසු සිදුවිය යුත්තේ කුමක් දැයි ඔවුන්ද නොදනී.

කොහොමත් ආරම්බයේ සිට මේ දක්වාම අරගලය යනු බුද්ධිමය හිසක් රහිත රැඩිකල් කවන්දයක් පමණි. වර්තමාන අර්බුදය හමුවේ උක්ත අරගලය යනු යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයකි.

නූතන අර්බූදය හමුවේ සාමාන්‍ය ජනතාවගේ බුමිකාව දෙස බැලූ විට පෙනී යන්නේ ඔවුන්ටද ඉදිරියේ ඇති අර්බූධය ගැන වගේවගක් නැති බවය. ඇතමුන් ක්‍රිකට් ජයග්‍රහණ වලින් අමන්දානන්දයට පත්වී දිනගනන් ජයපැන් බොති. තවත් සමහරු සති අන්ත නිවාඩුව ලැබුන සැනින් නුවර එළියේ සැනකෙළි බලා ට්‍රිප් යති. ඇතැම්හූ නෙළුම් කුළුණ නරඹමින් එහි ගුණ වයති. තවත් ලක්ෂගානක් පොත් සැනකෙළි වලය..

ඉදිරියේ ඇතිවිය හැකි ආහාර අහේනියකින් දිවිගලවා ගැනීම සඳහා සූදානම් විය යුතු ආහාර සුරක්ෂිත වැඩපිළිවෙළක් ගැන හෝ කෘෂිකර්ම ප්‍රවර්ධනයක් ගැනවත් කිසිවෙකුටහෝ වගේ වගක් නැත.

මේ ආර්ථික අවපාතය කල් තබා හඳුනාගත්තේ පිටත ලෝකයේ ඇති ආර්ථික සමීක්ෂණ ආයාතන විසින් මිස ලංකාව ඇද වැටීමට යන නූතන ආර්ථික අර්බූදය කල් තබා දැනගැනීමේ හැකියාව තිබූ කිසිදු ආර්ථික විශේෂඥ්ඥයෙකු හෝ විශේෂඥ ආයාතනයක් හෝ මෙහි තිබුනේ නැත.

සමස්තයක් ලෙස ගත්විට අප අපට වෙන්නේ කුමක්දැයි කියාවත් හරි හැටි නොදන්නා අන්ධභූත ජාතියකි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan