සමාගම් දෙකක් සුරා බද්දට බිලියන ගණනින් පොලු තියලා!

Date:

කොළඹ LNW:සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත් පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

අනෙක් සමාගම් ගෙවීම් සැලසුම්වලට අනුව කටයුතු කළද මෙම සමාගම් ද්විත්වය ගෙවීම් සැලසුම් ඉදිරිපත් කොට නොමැති බවයි හෙළිදරව් වී ඇත්තේ.

එම අදාළ සමාගම් දෙක වන්නේ ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රිතු ගබඩාව යන සමාගම් බව සඳහන්.

අදාළ සමාගම් තම හිඟ බදු ඔක්තෝබර් 15 දිනට පෙර ගෙවීමේ අවශ්‍යතාව යළි අවධාරණය කෙරුණු අතර, එසේ නොකළහොත් ඔක්තෝබර් 30 වෙනිදා වන විට බලපත්‍ර අත් හිටුවීමක් සිදු කළ යුතු අවධාරණය කර ඇත.

මත්පැන් නිෂ්පාදන ආයතනවලට බලපත්‍ර ලබා දීමේ දි මින් යම් තැන්පතුවක් (Deposit/Bond) තබා ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් පෙන්වා දී තිබේ.

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකරය මුද්‍රණ කටයුතු සිදු කිරීමේදී වංචාව සිදුවී ඇත්තේ කෙසේද යන්න පුළුල් ලෙස විමර්ශනය කළ යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණය කළ අතර කාලාන්තරයක් මුළුල්ලේ මහා පරිමාණයෙන් සිදුව ඇති මෙම දැවැන්ත වංචාව නිසා රජයට අහිමි වූ බදු මුදල් ප්‍රමාණය අතිවිශාල බව කමිටුව පෙන්වා දුන්නේය.

2023 09.07 වන දින සිට ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ කොපමණ ප්‍රමාණයක් දඩ ලෙස අය කරගෙන ඇත්ද යන්න සම්බන්ධ වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන් කමිටු සභාපතිවරයා, මුදල් අමාත්‍යාංශය මගින් ව්‍යාජ ස්ටිකර් වලින් සුරාබදු දෙපාර්තමේන්තුවට අහිමි වූ ආදායම ගණනය කොට කාරක සභාව වෙත වාර්තා කරන ලෙස ද, නියෝග කළේය.

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සිදු කොට ඇති බවත්, එම කටයුත්ත සිදුවූ ස්ථානය සහ සිදු කළේ කවුරුන් ද යන්න තවමත් ස්ථිරව කිව නොහැකි බවත්, සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, කමිටු සභාපතිවරයා නියෝග කළේ මේ මස අග වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් මෙම කටයුත්ත සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු ස්ථිර කරගන්නා ලෙසයි.

සාම්පල වශයෙන් පරීක්ෂාවට ලක්වූ මත්පැන් බෝතල් 60532 කින් 55000 ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ස්ටිකරය සහිත බෝතල් බව ද මෙහිදී හෙළිවිය.

ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ වැටලීම් දිගින් දිගටම සිදු කරගෙන යන බවත්, එම වැටලීම්වලින් 90% කට වැඩි ප්‍රමාණයක ස්ටිකර් ව්‍යාජ ඒවා බවත්, සුරාබදු නිලධාරීන් විසින් අනාවරණය කරන ලදී. එහිදී කමිටු සභාපති ප්‍රකාශ කළේ සිල්ලර ව මත්පැන් අලෙවි කරන ආයතන මෙම ව්‍යාජ ස්ටිකර් යෙදූ ඒවා ඉවත් කළා ද නැද්ද යන්න සම්බන්ධව වාර්තාවක් අවශ්‍ය බවයි. දිගින් දිගටම අදාළ වැටලීම් සිදු කළ යුතු බවත්, දඩ ගැසීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරන ලෙසත් දඩ ගැසූ දින සිට මින් ඉදිරියට ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් නිෂ්පාදනය කර අලෙවි කළහොත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසි කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, මෙහිදී අවධාරණය කෙරිණ.

පළමු වතාවේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් අලෙවි කළ අය දෙවැනි වතාවේ එසේ කොට නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාව වෙත දැනුම් දී ඇත.

මෙම ස්ටිකරය සැපයීම සදහා ටෙන්ටර් කැදවීම, අදාළ තාක්ෂණික කමිටුව ඇතුළු සියලු තොරතුරු කමිටුවට ලබා දෙන ලෙස ද නියෝග කෙරිණි. එසේම අලුතින් ටෙන්ඩර් කැදවා මෙම ස්ටිකරය මුද්‍රණ කටයුතු ලබා දෙන ලෙස ද මුදල් අමාත්‍යාංශයට කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

මෙම පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභා සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, අශෝක් අබේසිංහ, ඉෂාක් රහුමාන්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...