සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 23, (LNW) කොළඹ :
ඇත්තටම අප ඔහුව පූර්ණ ලෙස හඳුනාගත් බවක් නොහැඟේ.ඒ ඔහුට කෙනෙක් පූර්ණ ලෙස හඳුනාගන්නට තිබුණු හැකියාව නිසාම විය යුතුය.සරල තරමටම ගැඹුරු වෙන්න පුළුවන් මිනිස්සු අඩුය.ඒ නිසාම ඔහු මරු යැයි කියන බොහෝ අය වූහ.එහෙත් ඒ සරල බවින් මිදී ගැඹුරු සංවාදයකදී ඔහුගේ දැණුම,අවබෝධය සහ දැක්ම “මාර“ විය.
අවසානයේ ඔහු හා දොඩන්නට තිබුණු ආසාව මඟ හැරී ගියේ මගේ පෞද්ගලික කලා කටයුත්තක් නිසාය.ඒ සුදර්ශියේ පැවති ඔහු සම්බන්ධ සිනමා නිර්මාණ ප්‍රදර්ශනය නැරඹීමට යාමට නොහැකි වූ නිසාය.නිර්මාණ කාර්යයකදී මට ඩබ්ලිව් ජයසිරිව සම්බන්ධ වෙන්නේ එකම එක වතාවකදී පමණි.ඒ සුදත් රෝහණගේ උතුවන්කන්දේ සරදියෙල් ටෙලි නිර්මාණය ප්‍රදර්ශණයට පෙර සකස් කළ පූර්ව වැඩ සටහනට ධම්මික පීරිස්ගේ අදහසකට අනුව මා ලියූ පිටපත රූ ගත කරද්දීය.එය කළේ ද ධම්මිකය.
අන් සියලු තැන් හි ඔහුත් මාත් හරියට නොදන්නා ආගන්තුකයෝ වූහ.අසා සිටින්නට ආසා කතාවන් මෙන්ම අදහස් ද නිසා වැඩිය වචන හොලවන්නට මා අකමැත්තෙන් ඔහුට සවන් දෙන්නෙක් විය.කෙනෙක් ඔහු සමඟ අදහස් දැක්වීමේදී ප්‍රවේසම් විය යුතු බව ද එවැනි හමුවලදී දැණුන දෙයකි.
ඊඑම්ඩී උපාලි ගේ සටහනකට අනුව ඔහුගේ වයස ගැන කියවිණි.එහෙත් උප්පැන්නය ගෙනත් තිබ්බත් එච්චර වයස යැයි විශ්වාස කරන්නට බැරි තරමට ජයසිරි තරුණය.වැඩවලින් මෙන්ම සිතුවිලිවලින් ද සිය තරුණකම මරා ගන්නෙ නැතුව ජීවත් වුණ ජයසිරි යනු ඔහු ඇසුරු කළ අයෙකුටනම් තමන් මැරෙනකම්ම නොමියෙන මිනිසෙකු වෙනවා නිසැකය.
ඔහු හෙමින් වැඩ කළ අයෙකි.ඒ තරමටම තදින් වැඩ කළ අයෙකු ද විය යුතුය.මේ සියල්ල සුළුවට නොවන මතක වී හදවතේ තැන්පත් වන්නේ එබැවින්ය.කළ කී දේ සියල්ල විවේකය ගෙන හදවතේ නොසැලී තැන්පත්ව තිබෙන්නට ඔබන්නට ඔහු සමත් වි ඇත.ඒ නිසා ජයසිරි මිය ගිය බවක් නොදැනෙනු ඇත.පරිභෝජනවාදී සමාජයේ කලාකරුවාගේ භූමිකාව ඔහු තේරුම් ගෙන සිටියේය.
කම්කරුවෙක් බං
ඒ කතාව කිව්වේ කලාකරාවට නොවන බව සහතිකය.කලාව කරන අයට තමන් කලාකරුවන්දැයි සිතා බැලීම පිණිස බව විශ්වාසය.
අපි හෙටත් අනිද්දත් මියෙන තුරුම හමුවෙනු ඇත.
Photo – හේමන්ත අරුණසිරි
