ජයග්‍රහණය පැහැදිලිය. සුබපතමි. එක්වරක් නොව දෙවරක් නොව තුන්වරක් නොව දසදහස් වාරයක් සුබ පතමි. මෙයනම් ඇති විශිෂ්ට වූ ජයග්රහණයකි. මුළු මහත් සමාජයක් ලෙසම එකට එක් වී එක මිටට ජයග්‍රහණය සැමරිය යුතුමය.
සමාජයක් ලෙසම මෝහනයට පත් වී සිටියත් සමාජයක් ලෙසම ජයපැන් බොන මොහොතේ සිතිය යුතු වැදගත්ම වැදගත් වූ කරුණු 2ක් ඇත. එම කරුණු 2 අතරින් අනගිභවනීය කරුණ ඉදිරියෙන්ම ඇත. එය නම් අන් කිසිවක් නොව සාමාන්ය පන්තියේ ජයග්‍රහණයයි. කම්කරුවන්ගේ, ගොවීන්ගේ ජයග්‍රහණයයි. අනේකවාරයක් වධ බන්ධනයට ලක් වුනු කාන්තාවන්ගේ ජයග්‍රහණයයි. සරලම භාෂාවෙන් කියතොත් පෑගෙන පෙළෙන පන්තියේ ජයග්‍රහණයයි. අනෙක් කරුණ ද ඊට නොදෙවෙනි වන්නේ නැත. එය නම් ලැබූ ජයග්‍රහණය දිගු කාලීනව පවත්වා ගැනීමයි. කෙලින්ම කියතොත් ජයග්රහනය විජයග්‍රහණය දක්වා ගෙන යාමයි.
ජයග්‍රහණය නම් සාමාන්ය දෙයකි. එය අපි ඇති තරමට, ඇති පදමට අත්දැක ඇත. වසර ගණනින් කියතොත් වසර 76ක් පමණ අත්දැක ඇත්තේය. අත්දැකීමේ තරම කෙතරම්ද යත් කරවෙන රොටිය පැත්ත මාරු කිරීම මෙන් අත්දැක ඇත. අඹ වාරයට අඹ වල රසය මෙන් රඹුටන් වාරයට රඹුටන් වල රසය මෙන් ජයග්රහණවල රසය විඳ ඇත්තෙමු. නිරිතදිග හා ඊසාන දිග මෝසම් කාල වලදී මෝසම් වැසි වලින් ලබන සිසිල මෙන් ජයග්රහණ වල සිසිල විඳ ඇත්තෙමු. වාරකන් කාලයට නැගෙන මුහුදේ සැඩ රළු රල පහරවල් සේ එහි රළු බවද විඳ ඇත්තෙමු. බක්මහට ගහන අකුණු මෙන් එහි හඬද අසා ඇත්තෙමු.
ජයග්‍රහණය ඇති පදමට දැක ඇතත් විජයග්‍රහණය නම් කවර දාකවත් දැකලාම නැත. දැන් යායුතුම ගමන ඇත්තේ විජයග්රහණය දක්වාය. යාමට ඇති දුර අපමනය, ගමනද බොහෝ සෙයින් දුෂ්කරය, ඉතාම අපහසුය, නමුත් යායුතුමය. කෙසේහෝ යායුතුම වන්නේය.
විජයග්‍රහණය පෙනේ. ළඟම නොව දුරකය. බොහෝ ඈතින් පිහිටි තැනකය. ඈතම ඈතින් පිහිටි ක්ෂිතිජය තුලය. පිහිනීම කල යුතුය. ක්ෂිතිජය දක්වාම පිහිනීම කල යුතුය.
දිය ගැඹුරුය. කෙතරම්දයත් මරියානා අගාධයටත් වඩා ගැඹුරුය. එගොඩ නොපෙනේ. ක්ෂිතිජය පෙනේ.
ඈතම ඈත ක්ෂිතිජය දක්වාම පිහිනිය යුතුමය. ශුරදීර පිහිනුම් කරුවන් ගණන නම් ඉතාම අල්පය. පිහිනීම කොහෙත්ම නොදත් පිරිසනම් ඉතාම බහුලය. නමුත් ඈතම ක්ෂිතිජය දක්වාම පිහිණිය යුතුමය. දිය ගැඹුරු මෙන්ම නිසලද නොවේ. දිය රැළි මෙන්ම සුනාමි රැළි ද පීඩන අවපාතන මෙන්ම උත්පාදන ද ඇත. ඇති විශාල වූ අයිස් කඳුද බහුලය. එහෙත් පිහිනිය යුතුමය. මිනී මෝරුන්, දිය කිඹුලන්, යෝධ තල්මසුන්, දිය නයින් ඇතුළු විශඝෝරුවන් එමටය. එහෙත් පසුබැසීමක් නොමැත. ඉදිරියටම පිහිනිය යුතුමය. දිය රකුසන්, යක්ෂයින්, භූතයින්, ප්රේතයින්, කුම්භාණ්ඩයින්, මකරන් මග අසුරාගෙනය. එහෙත් ඉදිරියට පිහිනීම කල යුතුමය. නිමේශයකින්වත් ආපසු හැරීමට ස්වල්ප වූ අවසරයක්වත් නොමැත. ඉදිරියටම පිහිනීම කල යුතුමය.
ජයග්‍රහණය සහ පරාජය අතර වූ තරඟයක් තිබිනි. දැන් එය අවසන්ය. ජයග්‍රහණය ලබා ඇත. නමුත් තරඟය නම් කිසිසේත්ම අවසන් වී නැත. දැන් ඇත්තේ තීරණාත්මක තරඟයයි එනම් විජයග්රහණය සහ අන්තපරාජය අතර තරඟයයි. ඈතම ඈත වූ ක්ෂිතිජය කරා පිහිනීමෙන් විජයග්රහණය ලබා ගැනීම හෝ අනන්ත වූ බාධක මැද මහා සාගරයේ ගිලී යාමෙන් ලබන අන්ත පරාජය අතර වූ තරඟයයි.
~ ගාමිණී ජයසූරිය
(අධ්‍යන කවය)
“ 89-සහෝදරත්වය”
RN