ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙන එන්නේ ඒකාධිපති වෙන්නවත්, මර්දනය කරන්නවත් නොවන අතර ඉක්මණින් නඩු අසා ජනතාවට යුක්තිය, සාධාරණය ඉෂ්ට කිරීමට බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
සමස්ත අධිකරණ ක්‍රියාවලියේම ප්‍රතිසංස්කරණයක් ලෙස මෙය ගෙන එන බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.
සුම්බුන් විපක්ෂයටමේ ගැන ඕන දෙයක් කිව හැකි නමුත් ආණ්ඩුව ලෙස ජනතාව වෙනුවෙන් මේ ගමන දිගටම ඉදිරියට යන බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.
”මේ සංශෝධනය හරහා අද කුමක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? මේ සංශෝධනය හරහා ව්‍යවස්ථාවට ගෙනෙන සංශෝධනය අධිකරණ සංවිධාන පනතට ගෙනෙන සංශෝධනය හරහා අපි බලාපොරොත්තු වෙනවා, මෙම නඩුකාරතුමන්ලා සියලුදෙනාගේම විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න. දැන් මේක ආරම්භයේදී මොකක්ද සිද්ධ වුණේ? සියලුම ප්‍රතිසංස්කරණ කරන අතරම දැනුමැති, පළපුරුද්ද ඇති අයව මේකේ රඳවා තබාගැනීම අවශ්‍ය වෙනවා. මොකද සියලුම ප්‍රතිසංස්කරණ අතරතුර එයත් අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඒ පළපුරුදු අය රඳවා තබාගැනීම සඳහා තමයි අපි මේක කරන්නේ. මෙය මේ වෘත්තිය තුළ වසර ගණනාවක් සාකච්ඡා වී තිබෙනවා. මොකද 1978 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ට විශ්‍රාම වයස අවුරුදු 65යි යනුවෙන් පටන් ගත්ත එක, අද අවුරුදු 30ක් ගිහිල්ලත් වැඩි කරලා නැහැ, ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. එකෙන් වෙන දේ තමයි යම් නඩුකාරතුමෙක්ගේ අත්දැකීම් බහුලව, පරිණත වෙලා එනකොටම ඔහු විශ්‍රාම යනවා. ඔවුන් 60න්, 65 න් විශ්‍රාම ගිහිල්ලා පුද්ගලික අංශයට ඉතාම හොඳට සාර්ථක ලෙස තමන්ගේ දායකත්වය දෙනවා. මේ නීතිය නිසා රජයට ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න විදියක් නැහැ. ඒ නිසා, ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා මේ වෘත්තිය තුළ නිතරම සාකච්ඡා වුණා, මං හිතන්නේ එක අවස්ථාවකදී ගරු ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීතුමත් පුද්ගලික පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනාවක් ගෙනාවා මේ දේවල් සිද්ධ කරන්න, එය ඉදිරියට ගියේ නැහැ. 2016 වසරේ අධිකරණය පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව බලන්න. එතන යෝජනා වෙන්නේ මොකක්ද? “සියලු උපරිමාධිකරණ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස එකම වයසක් විය යුතු අතර එම වයස අවුරුදු 65ක් නම් වඩාත් සුදුසු වේ.” මොකද ඒ උත්සාහ කරන්නේ අර අභියාචනාධිකරණයේ 63වයස 65ට ගේන්න.. “සමහර විනිසුරුවරුන් විශ්‍රාම ලැබූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ නිපුණතාවය සහ සේවා සැපයීම දියුණු කිරීම හා වැඩිදියුණු කිරීම උදෙසා එම විනිසුරුවරුන්හට උපදෙස් ලබාදීම සහ ඔවුන් අධීක්ෂණය කිරීම සඳහා සේවයේ යෙදවිය හැකිය. එම විනිසුරුවරුන්ට වයස අවුරුදු 70 දක්වා සේවය කළ හැක.” ඒ කියන්නේ 2016 දීත් පිළිගන්නවා මේ නඩුකාරතුමන්ලාට වැඩ කරන්න පුළුවන් 70 වෙනකල් කියලා. ඒ සියලුම කරුණු සලකා බලා තමයි අපි මේ වයසම අවුරුදු දෙකකින් වැඩි කරන්න තීරණය කළේ.”
”මේ සංශෝධනයට, ගොඩක් නීතිඥවරු කැමතියි. මොකද මේ හරහා ඔවුන්ගේ සේවාදායකයන්ට සාධාරණයක් වෙනවා, කොයි නීතිඥයෙක් අකමැති තමන්ගේ සේවාදායකයාගේ නඩුව ඉක්මනින් ඉවර කරනවට. නමුත් කීපදෙනෙක් දේශපාලන හේතු මත වෙනත්ම අර්ථකථනයක් දෙන්න ගත්තා.
අපි මේ සංශෝධන ගේන්නේ ඒකාධිපති වෙන්නවත්, මර්දනය කරන්නවත් නෙමෙයි. ඉක්මනට නඩු අහලා මිනිස්සුන්ට යුක්තිය, සාධාරණය ඉෂ්ට කරන්න. ඒක අපි ගේන්නෙත් එක කෑල්ලක් හැටියට නෙමෙයි, සමස්ත අධිකරණ ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණයක් හැටියට. අපි මේක පටන් ගත්තේ 2024 දී. අපි ජනතාවට දීපු පොරොන්දුවක්, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 200 දීපු පොරොන්දුවක් තමයි අපි මේ ඉෂ්ට කරමින් යන්නේ. සුම්බුන් විපක්ෂයට කෑලිවලට ඕන එකක් කියන්න පුළුවන්, අපි ජනතාව වෙනුවෙන් මේ ගමන දිගටම ඉදිරියට යනවා කියන සටහන තබනවා.”


