පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන් බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ඔක්තෝබර් මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්: 24) නියම කළේ ය.
අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය මෙම විමර්ශනයට අදාළව මේ වන විට සැකකරුවෙකු වශයෙන් හඳුනාගෙන තිබෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝග නිකුත් කළේ, අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.
අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු
අද දහවල් අල්ලස් කොමිසම විසින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ එම කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසිංහ කියා සිටියේ,
"ස්වාමීනි... අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. එම විමර්ශනයේදී කරුණු අනාවරණය වුණා, කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට පිරිනැමීමේ කටයුතු කඩිනමින් ඉටු කර දීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂවරිය වශයෙන් කටයුතු කරමින් සිටි මෙම සැකකාරිය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක තුටු පඬුරක් ලබා දී තිබෙන බවට. අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු වන අමිත් කට්ටියාර්, රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා සහ ජනකී සිරිවර්ධන නමැති මෙම සැකකාරිය කටයුතු කර තිබෙනවා. මෙම සැකකාරියට අදාළ සමාගමේ කටයුතු මූල්‍ය තත්ත්වය වගේ ම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳවත් හොඳ අවබෝධයක් තිබෙනවා. මෙම අල්ලස් මුදල ලබා දීමේදී සැකකාරිය නිර්දෝෂි මනසකයින් යුතුව කටයුතු කර නැහැ. ඒ පිළිබඳව හොඳින් දැනුවත්ව නිවැරදි නොවන චේතනාවකින් කටයුතු කර තිබෙන බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම අල්ලස් මුදල මේ වන විට ඔස්ට්‍රේලියාවේ වාසය කරන නිමල් පෙරේරා නමැත්තාගේ බැංකු ගිණුමක් හරහා ලබා දී තිබෙන බවටත් කරුණු හෙළි වුණා. ජීවිත තර්ජන හේතුවෙන් නිමල් පෙරේරා නමැත්තා මේ වන විට ඔස්ට්‍රේලියාවට ගොස් එහි වාසය කරන අතර තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බවටත් ඔහු දැනුම් දී තිබෙනවා," යනුවෙන් පැවසුවා ය.
වැඩිදුරටත් අධිකරණයට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය මෙසේ ද පැවසීය.
"ස්වාමීනී... මෙම විමර්ශනයට අදාළව ක්‍රිෂ් සමාගමේ ලේඛන ගණනාවක් සහ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අවශ්‍යව තිබෙනවා. එමනිසා අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඊට අමතරව මෙම නඩුකරයේ සැකකරුවෙකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හඳුනාගෙන ඇති අතර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම තැනැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළ ලෙසත් මා ඉල්ලා සිටිනවා. ඒ වගේ ම මේ විමර්ශනයට මේ සැකකාරිය විසින් ප්‍රමාණවත් සහයක් ලබා දී නෑ. ස්වාමීනි... මේක ඉතා සංකීර්ණ පරීක්ෂණයක්. අල්ලස් අයැදීම, අල්ලස් පිරිනැමීම වැනි සංකීර්ණ කාරණා ඊට ඇතුළත් වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් අධිචෝදනා ගොනු කරන්න අල්ලස් කොමිසම කටයුතු කරනවා. මෙම විමර්ශනයට අදාළව මේ වන විට ඉන්දියාවේ සිටින ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ අමිත් කට්ටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුත්තා යන පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව දන්වමින් ඊමේල් පණිවිඩ සහ ගුවන් තැපෑලෙන් ඔවුන්ට දැනුම් දීම් යොමු කර තිබුණත් ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නෑ. එමනිසා ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා."
මෙම සැකකාරියට අදාළව දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙන බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නා ය.
මෙහිදී මහේස්ත්‍රත්වරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය මෙම සැකකාරිය විසින් පිරිනැමූ අල්ලස් මුදල නාමල් රාජපක්ෂ නමැත්තාට ලබා දී ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ සිටින නිමල් පෙරේරා නමැත්තාගේ ගිණුම හරහා බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කළා ය.
ජානකී සිරිවර්ධනගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු
ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිල දිසානායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"ස්වාමීනී අද දින අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන රුපියල් මිලියන 70ක සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් තමයි, එම චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ. එනම් රගර් ක්‍රීඩාව දියුණු කිරීමට බව සඳහන් කරමින් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් තමයි නීතිපතිවරයා එම චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ. එසේ තිබියදී එම මුදල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අල්ලස් පනත යටතේ තවත් චෝදනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේක ගැටලුසහගත තත්ත්වයක්. මෙය සුවිශේෂී කරුණක් සැලකිල්ලට ගන්නැ යි මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂිකාරිය කෙලෙස මෙම සැකකාරිය නම් කර තිබෙනවා. ඇය විමර්ශනවලට සහාය වී තිබෙනවා. ඊට අමතරව ඇයට වයස අවුරුදු දහසයක දියණියක සිටින අතර ඇය මෙම වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. දාහතර හැවිරිදි පුත්‍රයෙකුත් සිටිනවා. ඇයගේ සැමියා ඊයේ දින විදේශගත වී තිබෙනවා," මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකාරියට ඇප ලබා දෙන ලෙස නීතිඥ අමිල දිසානායක වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
“ස්වාමීනි… මෙම රුපියල් මිලියන 70 සිද්ධිය සම්බන්ධයෙන් තවත් නඩුවක් ගොනු කර තිබෙන බව සැකකාරියගේ නීතිඥ මහතා සඳහන් කළා. මේක වෙනම ම පරීක්ෂණයක්. මෙවැනි පරීක්ෂණයක් සිදු කිරීමට අල්ලස් කොමිසමට හැකියාවක් තිබෙනවා,” යනුවෙන් පැවසුවා ය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශය
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙසේ පෑවසීය.
“සැකකාරියගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු තුළ සුවිශේෂී කරුණු පහක් අධිකරණය විසින් හඳුනා ගන්නවා. ඉන් කරුණු තුනක් ම සඳහන් වී තිබෙන්නේ මහාධිකරණය ඉදිරිපිට පවතින නඩුවක් පිළිබඳව. සෙසු කරුණු පොදු කාරණා බව අධිකරණයට පෙනී යනවා. මෙම සැකකාරිය රිමාන්ඞ් භාරයට පත් කළහොත් මහාධිකරණ නඩු විභාගයට අගතියක් සිදුවිය හැකි බව සැකකාරියගේ පාර්ශවයෙන් ප්‍රකාශ කළත්, එය මගේ අධිකරණයට අදාළ වෙන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේ පැමිණිල්ල යි. ඉදිරිපත් වී ඇති කරුණු සලකා බැලීමේදී මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු අනාවරණය වන්නේ නෑ.”
ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
ඉන් අනතුරුව මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශය සටහන් කර ගැනීමට අවශ්‍ය කරන ඉන්දියානු ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන මෙන් අල්ලස් කොමිසම කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා විමර්ශන නිලධාරීන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අවශ්‍ය බව පැවසීය.
ඒ අනුව අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා විමර්ශන නිලධාරින් ලබන 02 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේ ය.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසු වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමට අවසර ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.
BBC–


