සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන බැංකොක් නගරය ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදා කලාපයක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.
පසුගිය පැය 48 තුළ මිලිමීටර් 300ක (අඟල් 12ක) පමණ වර්ෂාපතනයක් ලැබීමෙන් පසු ඇති වූ පුළුල් ගංවතුර තත්ත්වය හේතුවෙන්, බැංකොක් නගරාධිපතිවරයා විසින් අද(26) දිනයේදී තායිලන්තයේ අගනුවර ‘ආපදා බලපෑමට ලක්වූ කලාපයක්’ ලෙස ප්රකාශයට පත් කර තිබේ. පවතින අධික වර්ෂාපතනයත් සමඟ නගරයේ ප්රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර, මාර්ගවල ගමනාගමනයට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.
බැංකොක්හි දිස්ත්රික්ක 50ම ආපදා ප්රතිචාර කටයුතු යටතට ගෙන ඇති අතර, බලපෑමට ලක් වූ ජනතාව සඳහා සහන සහ තාවකාලික නවාතැන් පහසුකම් සැපයීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.
කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි දිනවලදී ද තද වැසි ඇතිවිය හැකි බැවින් ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි.

