අනුරාධපුර පූජා භූමි සැලැස්ම ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කතා කරයි – ඉල්ලීමකුත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර ඒ සඳහා අවශ්‍ය උපකාර සිදුකරන ලෙස වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියෝ ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකළේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අද (16) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පත්කෙරුණු ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී අද (16) පෙරවරුවේ පවත්වා තිබුණි.

එම උපදේශක සභාවේ සම සභාපතිවරු වන වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඊට එක්ව සිටියහ.

ඒ අනුව ,මෙම පුජා භූමි සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට නොහැකි වීම ගැන කණගාටුවට පත්වන බවයි උන්වහන්සේ පැවසුවේ.

“ජන විඥානය තේරුම් අරගෙන යමක් සමාජගත කරන්නට බැරි වීම ගැන ඇත්තටම කණගාටු වෙනවා. අපට මේකේ තිබුණු යම් යම් කරුණු කාරණා පිළිබඳව මුලදීම ජනතාව දැනුවත් කරන්න බැරි වුණා. උදාහරණයක් විදිහට මේ වැට සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා. මීට දශක එකහමාරකට පමණ පෙරත් මෙහි වැටක් ඉදිකර තිබුණා. එම වැටේ ඉතිරි කොටස සංරක්ෂණය කරමින් නැවත නිර්මාණය කිරීමේ ඉල්ලීමක් අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේගෙන් ඉදිරිපත් වී තිබුණා. මේ වැට ඉදිකිරීමට යෝජනා කළේ වෙනත් අරමුණක් වෙනුවෙන් නෙමෙයි. ගවයන් ඇතුළුවීම, මල් සහ කුරුම්බා දැමීම, පුරාවිද්‍යා ස්මාරක මත වාහන නැවැත්වීම සහ අනවසර ඉදිකිරීම් වැනි කටයුතු නිසා මෙම ස්මාරක විනාශයට පත්වන නිසයි වැටක් ඉදිකිරීමට යෝජනා කර තිබුණේ. ඇත්තටම එම වැට ඉදිකිරීමට නියමිතව තිබුණේ පූජාභූමියට බොහෝ ඈතින්. කෙසේ වෙතත්, දැන් මේ වැට සම්බන්ධයෙන් අපේ අදහසක් නැහැ. ඒක අතහැරලා ඉවරයි. පූජා නගරය තුළ පදිංචිව සිටින ජනතාව ඉවත් කරනවා කියලා කතාවක් තිබෙනවා. නමුත් එවැනි අදහසක්වත්, සංකල්පයක්වත් නැහැ. වර්ග කිලෝමීටර් 28ක්ව තිබූ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 38ක් වුණේ ඇයි කියලා ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඇත්තටම ලක්ෂයක ජනතාවක් පැමිණෙනවා නම් කාර් 25,000ක්, වෑන් රථ 10,000ක් හෝ බස් රථ 5,000ක් පැමිණිය යුතුයි. එලෙස විශාල පිරිසක් පැමිණි පසු ඔවුන් නිසි පරිදි කළමනාකරණය කරගැනීමත් ඉතාම අපහසු කාර්යයක්. උදාහරණයක් විදිහට පොසොන් උත්සවයට සාමාන්‍යයෙන් ලක්ෂ 13කට ආසන්න ජනතාවක් සහභාගි වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා.

රජවරු එකසිය හතර දෙනෙක් මේ නගරය ආරක්ෂා කරා. ඒ නිසා අනාගතයටත් එහෙම වෙනවා. කවදාවත් අයහපත් චේතනාවක් මේ සම්බන්ධව තියාගන්න නම් එපා. මොකද හේතුව, මේකේ තියෙන වැලි ඇටයක්, ගල් ඇටයක් ගානේ බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ ස්පර්ශය ලබපු ශුද්ධ භූමියක්. මේ භූමිය රකින්න, ආරක්ෂා කරන්න, මේ බෞද්ධයෝ විතරක් නෙමෙයි, අබෞද්ධයෝ පවා කැපවෙලා තියෙනවා. ඒ නිසා, අපි හැම කෙනෙකුගේම යුතුකම, වගකීම තියෙන්නේ, මේවා රැකගන්.. ආරක්ෂා කරගන්න. මේවා ප්‍රතික්ෂේප කරලා, මේවා කඩාකප්පල් කරන්න එපා.මේවාට උදව් කරන්න, ඔබතුමාලගේ අදහස් දෙන්න.” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“පිළිකාවක් යනු මරණයයි” යන මිථ්‍යාව….

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පිළිකා වැළැක්වීම...

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව: විමල්ට නොතීසි

කොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්!

කොළඹ LNW:33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි...

නීතිඥ සහයකුත් නැහැ.ත්‍රිකුණාමලය සිද්ධියට කස්සප හිමි යළි රිමාන්ඩ්!

කොළඹ LNW:පූජ්‍ය බලංගොඩ කස්සප හිමි නැවත රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට...