ලංකාව වසරක පමණ කාලයක් තිස්සේ බලා සිටි ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලද සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ එකඟතාවය පසුගිය මාර්තු මාසයේදී ඇති කරගනු ලැබුවා. ඒ සමඟම ණය මුදලේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක්ද ලැබුණා. මේ හා අදාළ පුවත් නිවේදනය නිකුත් වීමෙන් පසුව, අදාළ ස්ථායීකරණ වැඩ පිළිවෙළ සාරාංශගත කරමින් සහ එය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දිය යුතු අභියෝග හතරක් ගැන පැහැදිලි කරමින් 2023 මාර්තු 20 දින අප විසින් ලිපියක් පළ කළා.
ලිපිය ලියන විට අදාළ වැඩ පිළිවෙළෙහි සාරාංශයක් හැර විස්තරාත්මක වැඩ පිළිවෙළ ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ. එම වැඩිමනත් තොරතුරු දැනගත හැකි වුනේ දිනකට හෝ දෙකකට පසුව නිසා මේ ලිපියේ ඇති ඇතැම් කරුණු පාදක වූයේ ඒ වන විට දැනගත හැකි වූ සීමිත තොරතුරු මත වුවත්, මෙම ලිපියෙහි හඳුනාගෙන ඇති ප්‍රධාන අභියෝග හතරේ වලංගු භාවය යම් එකතු කිරීම් සහිතව තව දුරටත් එලෙසම තිබෙනවා. එමෙන්ම, මේ වන විට අවසන්ව තිබෙන පළමු සය-මාසික සමාලෝචනය හා අදාළ පුවත් නිවේදනය තුළද ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
“මේ වැඩ සටහන සාර්ථක වෙයිද?”
වැඩ සටහනෙහි මූලික කුළුණු දෙකක් වන රාජ්‍ය ආදායම් ඉලක්ක හා අපනයන ආදායම් ඉලක්ක ඉතාම අභියෝගාත්මක ඉලක්කයි. මෙම ඉලක්ක දෙස මා අසුබවාදී ලෙස නොබලන නමුත් ප්‍රායෝගිකව එම ඉලක්ක ලඟා කරගන්නා ආකාරය මට පැහැදිලි නැහැ. රාජ්‍ය ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ප්‍රාථමික අයවැය ඉලක්ක වලට යන්න බැහැ. අපනයන ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට යන්න බැහැ. ප්‍රාථමික අයවැය ඉලක්ක වලට සහ ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට ගියේ නැත්නම් අරමුදලේ වාරික දිගටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉදිරි වසර හතර රට පාලනය කරන කවර හෝ රජයකට ලේසි වෙන අවුරුදු හතරක් නෙමෙයි.
ඉතා ඉක්මනින් ඩොලර් බිලියන පහකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ලබා ගැනීම ක්ෂණික අභියෝගයක්. ඇතැම් විට මෙම මුදල ලබා ගැනීම සඳහා දැනටමත් කටයුතු සිදු වෙනවා විය හැකියි.
මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්ෂණික අභියෝගයක් ලෙස තිබෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ. එසේ නැත්නම් මේ ඉලක්ක වලට යන්න බැහැ. මෙම අභියෝගය, මගේ අදහස අනුව, ඉහත කී අභියෝග දෙක තරම් අමාරු නැහැ. වඩාත්ම අමාරු ඉහත කී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අභියෝගයයි.”
උපුටා ගැනීම: “ඩොලර් බිලියන තුනක IMF ණය අනුමත වේ!” – මාර්තු 20, 2023.
ඉහත උපුටා දක්වා ඇති කොටසේ විස්තර කර ඇති පරිදි, අප විසින් මාස හයකට පෙර හඳුනාගත් ක්ෂණික අභියෝග දෙක සහ මැදිකාලීන අභියෝග දෙක මේවායි.
- වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම
- ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම
- වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය රාජ්‍ය ආදායම් ඉලක්කය වෙත යාම
- වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය විදේශ ආදායම් ඉලක්කය වෙත යාම
දැන් අපි ඉහත අභියෝග හමුවේ කටයුතු සිදු වී ඇති ආකාරය පිළිබඳව සමාලෝචනයක් කරමු.
වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම:
දිනක් හෝ දෙකක් ඇතුළත වැඩිමනත් තොරතුරු දැනගන්නට ලැබුණු නිසා, තරමක් සංශෝධනය විය යුතු වුවත් අප විසින් මේ හා අදාළව මුලින් ලියා ඇති දේ පහත එලෙසම උපුටා දක්වනවා.
“විදේශ සංචිත”
මෙම වසර අවසානයේදී ඩොලර් බිලියන 4.43 දක්වාත්, 2026 වන විට ක්‍රමයෙන් ඩොලර් බිලියන 10.89 දක්වාත් වර්ධනය කර ගත යුතුයි. මගේ ඇස්තමේන්තුව මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.5-2.6 ආසන්න මට්ටමක ඇති බවයි. අරමුදලේ පළමු වාරික දෙක ඩොලර් මිලියන 666ක් සේ සැලකුවොත්, සැප්තැම්බරයේ බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 200 ගෙවීමෙන් පසුව, ඩොලර් බිලියන 3ක් පමණ දක්වා සංචිත මුදල් ඉහළ යනවා. ඩොලර් බිලියන 4.43 දක්වා සංචිත වැඩි කර ගැනීමටනම් මහ බැංකුවට වසර තුළ ඩොලර් බිලියන 1.4ක් පමණ වෙළඳපොළෙන් මිල දී ගැනීමට සිදු වෙනවා. පොලී ගෙවීම් හැර ජංගම ගිණුම් ශේෂයෙහි ඩොලර් මිලියන 150ක පමණ අතිරික්තයක් තිබිය යුතු නිසා, අවම වශයෙන් වසර තුළ ඩොලර් බිලියන 1.5ක පමණ ශුද්ධ විදේශ ණය ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා. ඊට අමතරව වසර තුළ ගෙවිය යුතු විදේශ ණය හා පොලී ගෙවීම සඳහා ඩොලර් බිලියන 3.2ක් පමණ අවශ්‍ය නිසා මේ ඉලක්කයට යාමටනම් ඩොලර් බිලියන 4.7ක පමණ විදේශ ණය අවශ්‍යයි. එම ණය ප්‍රමාණය ලබා ගැනීම සඳහා සැලසුම් රජය සතුව තිබෙනවා විය හැකියි.”
ඉහත ලිපිය පළ කළ මාර්තු මාසය අවසන් වන විට, මා හිතන පරිදි අරමුදලේ පළමු වාරිකයද ඇතුළත්ව, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,694ක්ව පැවතුණා. අගෝස්තු මාසය අවසානයේදී, මා හිතන පරිදි බංග්ලාදේශයට ගෙවිය යුතු වූ ණය මුදල ගෙවීමෙන් පසුව, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,600 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අරමුදලේ දෙවන වාරිකය වසර තුළ ලැබුණහොත් මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,934ක් පමණ දක්වා ඉහළ යනවා.
අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතුයි. ඒ අනුව, අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීමෙන් පසුවද, වසරේ අවසන් මාස හතර තුළ වෙළඳපොළෙන් තවත් ඩොලර් මිලියන 500කට ආසන්න විදේශ විණිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගත යුතුව තිබෙනවා.
ඉහත සටහනෙහි සඳහන් වසර තුළ ගෙවිය යුතු වූ විදේශ ණය හා පොලී ප්‍රමාණයෙන් කොටසක් මේ වන විට ගෙවා අවසන්ව ඇති අතර තවත් කොටසක් ගෙවීම පැහැර හරිනු ලැබ හෝ කල් දමා තිබෙනවා. අගෝස්තු, සැප්තැම්බර් හා නොවැම්බර් මාස වල ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 310ක් පමණයි. දෙසැම්බර් මාසයේදීද යම් ප්‍රමාණයක් ගෙවන්නට තිබෙනවා විය යුතු වුවත්, විදේශ අංශයේ දැනට පවතින තුලනය අනුව මේ ප්‍රමාණය ආපසු ගෙවීම විශාල ප්‍රශ්නයක් විය නොහැකියි.
මේ අනුව, අප විසින් හඳුනාගත් පළමු අභියෝගය මේ වන විට සෑහෙන තරම් සාර්ථක ලෙස ජයගෙන ඇති නමුත් තවමත් අභියෝගය අවසන්ව නැහැ. ණය වාරික හා පොලී ගෙවීම සඳහා අවශ්‍ය වන මුදල රජයට අලුත් ණය ලෙස ලැබෙන්නට ඉඩ ඇතත්, සංචිත ඉලක්කයට යාම සඳහා මහ බැංකුව විසින් තවත් ඩොලර් මිලියන 500ක් පමණ මිල දී ගත යුතුයි. රජය විසින් වසර තුළ ආපසු ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් විදේශ ණය ලබා ගැනීමට සමත් වුවහොත් මෙය පහසු කටයුත්තක් විය හැකියි. එසේ නොවුවහොත් සංචිත මිල දී ගැනීම හෝ විණිමය අනුපාතය පවතින මට්ටමෙහි පවත්වා ගැනීම යන ඉලක්ක දෙකෙන් එකක් අත හරින්නට සිදු වෙනවා.
අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 170.5ක සංචිත ප්‍රමාණයක් විකුණා තිබෙනවා. ඊට පෙර, ජූලි මාසය තුළද මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 12.5ක් විකුණා දමා තිබුණා. අපට පෙනී යන්නේ ඩොලරයක මිල රුපියල් 330 සීමාවට කිට්ටු වෙද්දී මහ බැංකුව නොසන්සුන් වන බවකුයි. මෙම 330 අංකය ඩොලරය මත වූ විචලන සීමාවන් ඉවත් කරන්නට පෙර මහ බැංකු අධිපතිවරයාගේ කටින් එළියට පැන්න අගයක්. පුද්ගලික විනිශ්චයන් මත පදනම් වූ මෙවැනි සීමාවන් සවිඥානිකව හෝ අවිඥානිකව මහ බැංකුවේ මැදිහත්වීම් කෙරෙහි බලපානවා විය හැකියි. 200 වගේම 330 කියන්නේත් නිකම්ම අංකයක් පමණයි!
අරමුදලේ පුවත් නිවේදනයේද මේ ගැන සඳහනක් දැකිය හැකියි.
“Reserve accumulation has slowed in recent months.”
“Against continued uncertainty, it also remains important to rebuild external buffers by strong reserves accumulation.”
වර්ෂාවසාන සංචිත ඉලක්කයට යාම තවමත් නොකළ හැක්කක් නෙමෙයි. එහෙත්, ඩොලරයක මිල ඉහළ යාම ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වෙන්න ගියොත් ඉලක්කය වරදින්න පුළුවන්. පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයේ ප්‍රශ්නය සවිඥානිකව හෝ අවිඥානිකව ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ විනිශ්චයන් විණිමය අනුපාතය කෙරෙහි බලපෑම් කිරීමයි. එම විනිශ්චයන් පහසුවෙන්ම වැරදෙන්න පුළුවන්.
ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම:
පහත උපුටා දක්වන්නේ මාස හයකට පෙර මේ ගැන අප විසින් ලියා ඇති දෙයයි.
“මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්ෂණික අභියෝගයක් ලෙස තිබෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ. එසේ නැත්නම් මේ ඉලක්ක වලට යන්න බැහැ. මෙම අභියෝගය, මගේ අදහස අනුව, ඉහත කී අභියෝග දෙක තරම් අමාරු නැහැ.”
මෙහි අප විසින් කර තිබෙන ණය වලින් අඩක් (50%ක්) කපා හැරීමේ අවශ්‍යතාවය පදනම් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවන්නේය යන උපකල්පනය මතයි. විදේශ ණය හා අදාළව එවැනි ණය කපා හැරීමක් සිදු වීනම්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය විය නොහැකිව තිබුණා.
කෙසේ වුවත්, දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කර අවසන්. එයින් අදාළ කාලය තුළ දදේනියෙන් 1.5%ක පමණ ණය බර අඩුවීමක් අපේක්ෂා කර තිබුණා. අදාළ විදේශ ණය වලින් 30%ක් කපා හැරීම මගින් අදාළ කාලය තුළ ණය බරෙහි දදේනියෙන් 2.6%ක අඩුවීමක් අපේක්ෂා කෙරෙනවා. යම් හෙයකින් අදාළ විදේශ ණය වලින් 50%ක් කපා හැරිය හැකි වීනම්, ඒ මගින් පමණක් දදේනියෙන් 4.3%ක පමණ ණය සහනයක් ලැබෙන නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.
අර්බුදයෙන් පසුව ස්වෛරිත්ව බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම 50% මට්ටමෙන් පහතට පැමිණ තිබුණු නිසා 50%ක ණය කප්පාදුවක් වුවද කළ නොහැක්කක් නොවූ බව මගේ අදහසයි. එයින් අදහස් වන්නේ මෙවැන්නක් ආතතියක් නැතිව, පහසුවෙන් කළ හැකි වූ බව නෙමෙයි. නමුත්, යම් උත්සාහයක් දැරිය හැකිව තිබුණා. එය කළ නොහැකි වන්නට හේතුව විය හැක්කේ ද්විපාර්ශ්වික ණයයි. වාණිජ ණය හා අදාළව මෙවැනි සහනයක් අපේක්ෂා කරන්නේනම්, ද්විපාර්ශ්වික ණය හා අදාළවද ඊට සමාන ආකාරයකින් සැලකිය යුතුව තිබුණා.
මේ වන විට ඉලක්කය විදේශ ණය වලින් 30%ක් කපා හැරීම වුවත්, මෙම කටයුත්ත තවමත් අවසන් නොවීමෙන් පෙනෙන්නේ එය හිතන තරම් පහසු නැති බවයි. ප්‍රධාන බාධකය චීනය බවද පෙනෙන්නට තිබෙනවා. චීන ණය ද්විපාර්ශ්වික ණය ගොඩේ වගේම වාණිජ ණය ගොඩේද තිබීම විශේෂත්වයක්. මේ අනුව, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළවද සීමාකාරී සාධකය වී තිබෙන්නේ චීනයයි.
ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ ප්‍රධාන ප්‍රශ්නය විදේශ ණය ප්‍රශ්නයයි. එම ප්‍රශ්නය නොවිසඳා දේශීය ණය පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මූලික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. කලින්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදුව තිබෙන්නේ අමාරු වැඩේ පැත්තකින් තියා ලේසි වැඩේ කලින් කිරීමක්. බදු පදනම් වැඩි කර ගැනීම වෙනුවට දැනටම බදු ගෙවන අයගේ බදු අනුපාතික වැඩි කිරීම වගේම තමයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විට සාර්ථක ලෙස අවසන් කර තිබෙනවා. එහෙත්, එයින් ණය තිරසාරත්වය ඇති වන්නේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම හා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කරුණු දෙක ඉටු වුවහොත් පමණයි. මේ මොහොත වන විටද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නය එලෙසම තියෙනවා. එම ප්‍රශ්නය එලෙසම තිබියදී සාර්ථක ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අලියා ගන්නට පෙර හෙණ්ඩුව මිල දී ගැනීමක් පමණයි.
වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය රාජ්‍ය ආදායම් ඉලක්කය වෙත යාම:
පළමු සය-මාසික සමාලෝචනයෙන් පසුව සිදු කළ නිවේදනයෙහි රාජ්‍ය ආදායම් ඉලක්ක සම්බන්ධව විශාල අවධානයක් යොමු කර තිබෙනවා. පහත තියෙන්නේ පසුගිය මාර්තු මාසයේදී අප විසින් ඒ සම්බන්ධව ලියා ඇති දෙයයි.
“පසුගිය (2022) වසරේ දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. මෙය රුපියල් බිලියන 1,900 මට්ටමේ සිට රුපියල් බිලියන 5,600 මට්ටම දක්වා රජයේ ආදායම් වැඩි කර ගැනීමක්. ඒ ගැන ඊට වඩා කියන්න යන්නේ නැහැ.”
ශ්‍රී ලංකා රජය විසින් හැමදාමත් ආකර්ශනීය ආදායම් ඉලක්ක ඉදිරිපත් කරන නමුත් මතක ඇති කාලයක එම ඉලක්ක ලඟා කරගෙන නැහැ. දැනට වුනත්, මේ තත්ත්වයේ වෙනසක් නැහැ. බදු අනුපාතික වැඩි කරගැනීම මගින් රජයේ ආදායම් වැඩි කරගෙන ඇතත් ඉලක්ක මට්ටමට බදු ආදායම් වැඩි කරගෙන නැහැ.
පළමු සය-මාසික සමාලෝචනයේදී සලකා බලනු ලැබුවේ ජූනි මස අවසානයේ තත්ත්වයයි. වසරේ පළමු මාස හය තුළ රජයේ බදු ආදායම වූයේ රුපියල් බිලියන 1,198.85ක් පමණයි. අරමුදල සමඟ එකඟ වී තිබුණු ඉලක්කය වූයේ රුපියල් බිලියන 1300ක්. මේ අනුව, රජයේ ආදායම ඉලක්කයට වඩා 7.8%කින් අඩුයි. අරමුදල විසින් පුරෝකථනය කර තිබෙන්නේ මෙම වෙනස වසර අවසාන වන විට 15% දක්වා ඉහළ යනු ඇති බවයි.
කෙසේ වුවද, ණය තිරසාරත්වය සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වූයේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය ළඟා කර ගැනීමයි. ආදායම් ඉලක්කය අවශ්‍ය වූයේ එයට උදවුවක් ලෙසයි. අරමුදල සමඟ වූ එකඟතාවය අනුව, පළමු මාස හය අවසානයේදී ප්‍රාථමික අයවැය ශේෂය රුපියල් බිලියන 113ක හිඟයක් ඉක්මවිය නොහැකිව තිබුණා. රජය විසින් රුපියල් බිලියන 30.7ක අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මෙය කර තිබෙන්නේ ආදායම ඉලක්කයට වඩා රුපියල් බිලියන 101.15කින් අඩු වෙද්දී, වියදම ඉලක්කයට වඩා රුපියල් බිලියන 244.85කින්, එනම් 17.3%කින් අඩු කිරීම මගින්.
මගේ අදහසනම් ආදායම් ඉලක්කය කරා යා නොහැකි බව රජය මුල සිටම දැන සිටි දෙයක්. නමුත්, යා හැකි මට්ටමට වඩා වැඩි ඉලක්කයක් ලබා නොදුනහොත් අදාළ ආයතන/ නිලධාරීන් යා හැකි මට්ටමටවත් යන්නේ නැහැ. මෙය ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක්. ඉලක්කයෙන් 92.2%ක් දක්වා යාම ලංකාවේ පසුබිමේදී නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ.
මගේ මතකය පරිදි පසුගිය මාර්තු මාසය ආසන්නයේදී භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මේ පිළිබඳ අදහස් දැක්වීමක් සිදු කළා. එහිදී ඔහු විසින් අරමුදලේ මෙහෙයුම් ඉලක්කය ප්‍රාථමික අයවැය ශේෂය බවත්, ආදායම් ඉලක්ක වලට යා නොහැකි වුවහොත්, වියදම් සීමා කිරීම මගින් ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය කරා යාමට කටයුතු කරන බවත් එහිදී පැහැදිලිව සඳහන් කළා. මගේ මතකය නිවැරදිනම් මේ සාකච්ඡාවට මහ බැංකු අධිපතිද සහභාගී වුනා. මේ වන විට භාණ්ඩාගාරය පැත්තෙන් මේ අවශ්‍ය දේ සිදු වී තිබෙනවා.
කෙසේ වුවත්, අරමුදලේ නිවේදනය අනුව පෙනෙන්නේ රජයේ වියදම් කැපීම සාධනීය දෙයක් ලෙස නොව නිශේධනීය දෙයක් ලෙස ඔවුන් විසින් සලකා ඇති බවයි. ඔවුන්ගේ නිවේදනයෙන් පෙනී යන්නේ මොන විදිහකින් හෝ ආදායම් වැඩි කර ගත යුතු බව කියා සිටීමක්. මෙය එක අතකින් මස් රාත්තලම ඉල්ලීමක්. මීට පෙර මහ බැංකු අධිපතිවරයා විසින්ද රජයේ ආදායම් ඉලක්ක ලඟා කර නොගැනීම ගැන බර තබා කතා කර තිබුණා.
දිගුකාලීනව හා මැදිකාලීනව කෙසේ වුවත් වසර තුළ රජයේ ආදායම් ඉලක්ක ලඟා කර ගත නොහැකි වීමට සිදු වීම තනිකරම රජයේ වරදකින් සිදු වන දෙයක් නෙමෙයි. උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා පහත වැටීම මෙයට ප්‍රධාන හේතුවක්.
අරමුදල සමඟ එකඟ වී සකස් කරගත් ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව වසර අවසානයේ උද්ධමනය පැවතිය යුතු වූයේ 12%-18% පරාසය තුළයි. එහෙත්, මේ වන විට උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබෙනවා. උද්ධමනය අඩු වීම හොඳ දෙයක් වුනත්, මෙහිදී සිදු වී තිබෙන්නේ වැඩ සටහනේ ඉලක්ක වලින් පිට පැනීමක්. වැඩ සටහන අනුව වසර අවසානයේදී උද්ධමනය 12% මට්ටමට වඩා අඩු විය යුතු නැහැ.
ස්ථායීකරණ වැඩපිළිවෙළ පැත්තකින් තිබ්බත් මහ බැංකුවේ දිගුකාලීන ප්‍රකාශිත ඉලක්කය උද්ධමනය 4%-6% මට්ටමේ තියා ගැනීමයි. වැඩ සටහන තුළ ඉලක්ක කළේ වැඩ සටහන් කාලය අවසන් වෙද්දී උද්ධමනය මෙම මට්ටම දක්වා අඩු කිරීමයි. මෙවැනි ප්‍රකාශිත ඉලක්කයක් තිබියදී උද්ධමනය ඊට වඩා අඩු වීම සාර්ථක මුදල් ප්‍රතිපත්ති කළමනාකරණයක් ලෙස හඳුන්වන්න බැහැ. මිල ස්ථායීතාවය යන්නේ අදහස් වන්නේ උද්ධමන ඉලක්ක කලින් ප්‍රකාශයට පත් කර එම ඉලක්ක ලඟා කර ගැනීමයි. උද්ධමනය ඉලක්ක සීමාවෙන් උඩට යාම වගේම පහළට යාමද මිල ස්ථායීතාවය නෙමෙයි. පහළ අගයක් කලින්ම ඉලක්කය සේ ඉදිරිපත් කළානම් එය වෙනම කතාවක්.
උද්ධමනය මෙසේ ඉලක්ක මට්ටමට වඩා අඩුවීම ගැන අරමුදල කතා කරන්නේ, මහ බැංකුව මෙන්ම, විශාල ජයග්‍රහණයක් ලෙසයි.
“These efforts are bearing fruit as the economy is showing tentative signs of stabilization. Inflation is down from a peak of 70 percent in September 2022 to below 2 percent in September 2023…”
මෙහි තිබෙන ප්‍රශ්නය උද්ධමනය ඉලක්කය ඉක්මවා ඉහළ ගිය විට මෙන්ම පහළ ගිය විටද පුද්ගලයින්ගේ හා ආයතන වල ආර්ථික තීරණ කෙරෙහි එයින් නිශේධනාත්මක බලපෑමක් සිදු වීමයි. වසර මුල රජයේ ආදායම් ඉලක්ක සකස් කරන විට එම ඉලක්ක සකස් කරන්නට ඇත්තේ වසර අවසානයේදී උද්ධමනය 15%කට ආසන්න මට්ටමක පවතිනු ඇතැයි සලකමිනුයි. සමාගම් වල ආදායම් ඇස්තමේන්තු ආදිය කෙරෙහිද මෙය මෙලෙසම බලපානවා.
වැට් වැනි බදු අය කෙරෙන්නේ විකිණුම් මිල මතයි. උද්ධමනය නිසා මිල ඉහළ යද්දී බදු ආදායම්ද ඉහළ යනවා. උද්ධමනය අඩු වෙද්දී අපේක්ෂිත බදු ආදායම් අඩු වෙනවා. ඒ වගේම, උද්ධමනය වැඩි වෙද්දී බොහෝ දෙනෙකුගේ ආදායම්ද වැඩි වෙනවා. ඒ මත අය කෙරෙන බදු ප්‍රමාණය ඉහළ යනවා. උද්ධමනය අඩු වෙද්දී මෙම බදු ආදායම් අපේක්ෂිත මට්ටමට වඩා අඩු වෙනවා.
උද්ධමනය මේ තරම් පහළට ඇවිත් තියෙන්නේ මුදල් සැපයුම සීමා කිරීම නිසා පමණක් නෙමෙයි. ඩොලරයක මිල අඩු වීම ආනයනික මිල ගණන් සැලකිය යුතු ලෙස පහත දමා තිබෙනවා. ඩොලරයක මිල අහම්බයක් නෙමෙයි. මහ බැංකුවේ මැදිහත්වීම් වල බලපෑම මෙහි තිබෙනවා. අරමුදලේ වැඩ සටහන සකස් කරන විට උපකල්පනය කර තිබුනේ වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 390ක් පමණ වනු ඇති බවයි. එය එසේ නොවී කාලයක් පැවති 360 මට්ටමෙන්ද පහළට ආවේ තවමත් දිගටම ක්‍රියාත්මක වන ආනයන සීමාවන් හා මහ බැංකුවේ මැදිහත්වීම් වල සීමාවන් නිසායි. ඩොලරයක මිල ඉලක්ක මට්ටමට වඩා පහළ යාමද රජයේ බදු ආදායම් කෙරෙහි නිශේධනාත්මක බලපෑමක් සිදු කරනවා. මේ තත්ත්වයන් තුළ මුල් බදු ආදායම් ඉලක්ක ලඟා කර ගැනීම කළ නොහැක්කක්.
සමාලෝචනය සිදු කළ අරමුදලේ නිලධාරීන් විසින් සිදු කර තිබෙන වැරැද්ද උද්ධමනය හා ඩොලරයක මිල අඩු වීම නිසා රජයේ බදු ආදායම් කෙරෙහි වූ බලපෑම නොසලකා හරිමින් ආදායම් අඩු වීම ගැන පමණක් බර තබා කතා කිරීමයි. අනෙක් අතට උද්ධමනය හා ඩොලරයක මිල අඩු වෙද්දී රජයේ වියදම්ද ඉලක්ක මට්ටමට වඩා පහළින් පවත්වා ගත හැකි වෙනවා. රජය විසින් එය එසේ කර තිබෙනවා. ඒ නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව, රාජ්‍යමූල්‍ය කළමනාකරණය පැත්තෙන් ස්ථායීතාවය තර්ජනයට ලක් කිරීමට ක්‍රියා කර නැහැ.
කෙටිකාලීනව ප්‍රශ්නයක් නැතත්, මැදිකාලීනව ප්‍රශ්නය එලෙසම තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදීම සටහන් කළ පරිදි, දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. නමුත්, මෙය කරන්න වෙන්නේ බදු අනුපාතික වැඩි නොකර බදු පදනම පුළුල් කර ගැනීමෙන්. බදු අනුපාතික දැනටමත් වැඩි කර අවසානයි. තවත් කරන්නට තිබෙන්නේ වත්කම්/ ධන බද්ද පැනවීම පමණයි. එයින් බදු ආදායම් වල විශාල වැඩි වීමක් වෙන්නේ නැහැ.
විපක්ෂයේ සිට ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායම් විසින් රජයේ ආදායම් වැඩි කර ගන්නා ආකාරය නිශ්චිතව පෙන්වා දී නැතුවා වගේම ආණ්ඩුව විසින්ද මේ වැඩේ කරන විදිහ නිශ්චිතව පෙන්වා දී නැහැ. අවශ්‍ය ආදායම් ඉලක්ක වලට නොගියහොත් ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම වියදම් සීමා කරන්න සිදු වෙනවා. ආණ්ඩුවේ උපාය මාර්ගය එය වෙන්න පුළුවන්. කොහොම වුනත්, වැඩ සටහන අවසන් වන තුරු අවශ්‍ය ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගත නොහැකි වුවහොත් ණය තිරසාරත්වය ඇති වන්නේ නැහැ. මෙම අභියෝගය 2027 පමණ දක්වා පවතින අභියෝගයක්.
වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය විදේශ ආදායම් ඉලක්කය වෙත යාම:
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වන්නේ රටක අවම විදේශ සංචිත අවශ්‍යතාවය මෙන් 100%-150% අතර ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගත යුතු බවයි. ඩොලර් මිලියන 14,208 යනු (2027දී) මෙම අවම ප්‍රමාණයයි. එනම්, 100% මට්ටමයි. 150% මට්ටම යනු ඩොලර් මිලියන 21,312ක්.
ලංකාව මෙම අවම මට්ටම දක්වා ක්‍රමයෙන් සංචිත ගොඩ නගා ගත යුත්තේ පහත ආකාරයෙනුයි.
2023 අවසානය – ඩොලර් මිලියන 4,431 දක්වා
2024 අවසානය – ඩොලර් මිලියන 6,128 දක්වා
2025 අවසානය – ඩොලර් මිලියන 8,520 දක්වා
2026 අවසානය – ඩොලර් මිලියන 10,888 දක්වා
2027 අවසානය – ඩොලර් මිලියන 14,208 දක්වා”
“සංචිත වැඩි කර ගැනීමේ අභියෝගය” – ජූලි 12, 2023.
මේ ඉලක්ක වලට යාම සඳහා රජය සතු වැඩ පිළිවෙළ කුමක්ද? ආණ්ඩුව සතු වැඩ පිළිවෙළ කුමක්ද? අනෙකුත් විපක්ෂ කණ්ඩායම් සතු වැඩ පිළිවෙළ මොනවාද?
(මගේ යෝජනා මොනවාද කියලා අහන්න එපා. මා සතුව එවැනි යෝජනා නැහැ.)
ලොකුම ප්‍රශ්නය මෙයයි. මොන විදිහකින් හෝ මේ වසර අවසානයේදී ඩොලර් මිලියන 4,431 ඉලක්කයට ගියා කියමු. ඔය සංචිත ප්‍රමාණය 2027 අවසානය වන විට ඩොලර් මිලියන 14,208 දක්වා උස්සන්න තරම් ඩොලර් ප්‍රවාහයක් රටට එන්නේ කොහෙන්ද? මටනම් එහෙම එන ක්‍රමයක් පේන්න නැහැ.
මේ අවුරුද්ද අවසාන වන විට අපනයන ආදායම් ඉලක්කය ඩොලර් මිලියන 13,106ක්. මෙය 2027 වන විට ඩොලර් මිලියන 16,869 දක්වා ඉහළ යා යුතුයි. ජූලි මාසය අවසන් වන විට අපනයන ආදායම ඩොලර් මිලියන 6,891.5ක් පමණයි. මෙය පසුගිය 2022 වසරේ පළමු මාස හතට සාපේක්ෂව 10.3%ක අඩු වීමක්. මේ යන විදිහට ගියොත් ඩොලර් බිලියන 12 සීමාවට යන්නත් අමාරුයි. පසුගිය වසරේ ඩොලරයක මිල ඉහළ යාම අපනයන වලට සාධනීය ලෙස බලපාන්න ඇති. ඩොලරයක මිල පහළ යද්දී ඒ තත්ත්වය කණපිට හැරෙනවා.
සංචිත ඉලක්ක වලටද යමින්, අපනයන ආදායම් වැඩි කර ගනිමින් ආනයන සීමා කර ගන්නනම් ඩොලරයක මිල ගැන වෙනස් විදිහකට හිතන්න වෙනවා. ඩොලරයක මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ මිල වැඩි වී උද්ධමනය ටිකක් ඉහළ යයි. දැන් පවතින මට්ටම එක්ක එය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. විණිමය අනුපාතයේ උදවුවෙන් උද්ධමනය පහළින් තියා ගැනීම කියන්නේ දිගින් දිගටම අත් හදා බලලා අසාර්ථක වූ ක්‍රමය. ඒ ක්‍රමය නැවත පරීක්ෂා කළ යුතු ක්‍රමයක් නෙමෙයි. ඩොලරයක මිලත් පහළින් තියාගෙන රටට ඩොලර් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවානම් කවුරු හෝ විසින් ඒ ක්‍රමය ඉදිරිපත් කළ යුතුයි. එහෙම ක්‍රමයක් ගැන කවුරුවත් නිශ්චිතව විස්තර කරලා නැහැ.
~ ඉකොනොමැට්ටා
RN