දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ දිනෙන් දින වාර්තා වෙමින් පවතී.
මීට මූලිකම හේතුව වී ඇත්තේ මේ පාතාලයින්ට එරෙහිව පසුගිය සමයේ දැඩි ලෙස ක්‍රියාත්මක වූ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මේ වනවිට අක්‍රිය මට්ටමක පැවතීම බවයි පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ. මෙම පොලිස් ඒකකය අනෙකුත් පොලිස් ස්ථාන සහ පොලිස් විශෙෂ කාර්ය බලකාය සමග එක්වෙමින් පාතලය මර්දනය කිරීම සඳහා සාර්ථක මෙහෙයුම් රැසක නියැළී තිබිණි.
එහෙත් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු ප්‍රධානීන් කිහිපදෙනෙකුටම පසුගිය දිනවල ස්ථාන මාරුවීම් ලබාදී තිබිණි. විශේෂයෙන් එම ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාව රාජකාරියක් නොමැතිව පොලිස් මූලස්ථානයට මාරුකර යවා තිබුණු අතර ස්ථාධිපතිවරයාව ගාල්ලේ සිට මුලතිව් වෙත මාරුකර යවා තිබිණි. එමෙන්ම මෙම ඒකකයේ විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ද ඇත. එසේවෙතත් එම තනතුරු සඳහා වෙනත් නිලධාරීන් පත්කර එවා නොමැති බැවින් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මේ වනවිට අක්‍රිය මට්ටමක පවතින බව සඳහන්.
මේ දිනවල නිතර නම කියැවෙන ‘ලොකුපැටී’ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කල්ලිවලට පහසුවෙන් අපරාධවල නියැළීමට අවස්ථාව ලැබී ඇත්තේ මේ නිසා බව පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසීය.


