අධි මාත්‍රා ඖෂධ ලබා ගැනීම හේතුවෙන් පාසල් දරුවන් අතර වලිප්පුව පැතිර යාමේ අවදානමක්.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

වේදනා නාශක අධිමාත්‍රාව බැගින් ලබා ගැනීමට ඇබ්බැහිවීම හේතුවෙන් පාසල් දරුවන් අපස්මාරයට (වලිප්පුව) ලක්වීමේ අවදානමක් මතුවී ඇතැයි මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා පවසයි.

මත්වීමේ අරමුණින් ප්‍රබල වේදනා නාශක අධි මාත්‍රාව බැගින් ලබා ගැනීමට පාසල් දරුවන් හුරුවී ඇති බවත් රෝග ලක්ෂණ අනුව දරුවාට අපස්මාරය වැළදී ඇතැයි දෙමාපියන් විශ්වාස කරන බව විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

මත් උවදරුව ඇබ්බැහිවූ මහනුවර, මාතලේ හා ගම්පොල පොලිස් කොට්ඨාශවල තරුණයන් තුන්සියයකගේ ගැටලු සාකච්ඡා කිරීම නිමිත්තෙන් ඊයේ (03) මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැති වැඩසටහනකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මත් උවදුරින් රට බේරා ගනිමු යන තේමාව යටතේ මෙම වැඩසටහන පැවැත්විණි.

වාර්තා වී තිබෙන දත්ත වලට අනුව හෙරෝයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ ලක්ෂයක පමණ පිරිසක් මෙරට සිටින බවත් ඔවුන් අතරින් 6000 ක් පමණ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට පෙළඹී සිටින බවත් කී ඒ මහතා මේ නිසා ඒඩ්ස්, හෙපටයිටීස් වැනි රෝග ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙන බව ද අවධාරණය කළේය.

හෙරෝයින් අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් ශාරීරික හා මානසික ආබාධ වලට ගොදුරු වන පිරිස ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන්නේ යැයි ද ඒ විශේෂඥ වෛද්‍යවරයා කීය.

හෙරෝයින් ලබා ගැනීමට නොහැකි වූ විට ඒ වෙනුවට ප්‍රබල වේදනා නාශක භාවිත කිරීමට තරුණ තරුණයින් පෙළඹී සිටින බවත් සිසේරියන් සැත්කමකට ලක් වූ මවකට ලබා දෙන ප්‍රමාණයකට වඩා පස් ගුණයකින් වැඩි වේදනා නාශක මාත්‍රාවක් දෛනිකව ලබා ගන්නා පාසල් සිසුන් ද වාර්තා වන බවත් හෙතෙම පැවසුවේය.

මෙයට වසර කිහිපයකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ අවුරුද 13- 18 අතර පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් කළ පරීක්ෂණයක දී සිසුන් අතරින් 28 % ක් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිත කර තිබෙන බව අනාවරණය වූ බවත් එම 28% අතරින් 69 % ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමක පසුවූ බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇතැම් රෝහල් සේවකියින් වේදනා නාශක හා සිහිනැති කිරීමට භාවිත කරන ඖෂධ ලබා ගැනීමට පුරුදු වී සිටින බවත් මෙය රෝහල් පරිපාලනයට ගැටලුවක් වන තරමට ව්‍යාප්තවී තිබෙන බවත් විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා කීවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...