ගගන වර්ණකුලසූරිය යන නම මෙන් ම ඔහුගේ ලිවීමේ හැඩතල මා දැනගත්තේ SUN – Soul of the Unstoppable Nation සනුහරය විසින් සංවිධානය කරනු ලැබූ කාව්‍ය ඇගයුම් ක්‍රියාවලියක පිණිස මා ලැබ දුන් සම්ප්‍රදානය තුළ ය.
විශාල කවි රාශියකින් මට දැනෙන මගේ නිර්ණායක අනුව ප්‍රශස්ත කවිය ලෙස මවිසින් තෝර ගැනුණේ ගගන ලියූ ‘විමලේස්වරී’ නම් දේශපාලන කවිය යි.
මගේ ඇගයීම් සටහනෙන් උපුටා ගත් කොටසක් ගගන තමන්ගේ පළමු කාව්‍ය සමුච්චය වූ “ඒ සමනළුන් මියගියේ මා නමින් නම්?” පසු කවරයෙහි පළ කර තිබිණ. ඒ කොටස මෙබඳු ය.
“………එහෙත්, කාව්‍යමය ගොඩනැංවීම හරහා, තවමත් නොවෙනස්ව පවතින, රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වෙත වූ හෙළන බැල්ම බරපතළ වන්නේ වෙයි. දකුණේ සිංහල බෞද්ධ අධිනිශ්චය වීම් හමුවේ බොහෝ ලියන්නන් වෙතින් මගහැරී යන සමාජ සංසිද්ධියක් කාව්‍යමය පරිකල්පනයක් තුළ ඇවිලවීමට ඔහු සමත් ව ඇති බවත් අනාගතයේදී විශිෂ්ටත්වයට පත්වන කවියකුගේ විභවයක් ඔහු සතු බවත් අවධාරණය කළ යුතුය”.
පොත මුද්‍රණයෙන් පල වී ඉතාම කෙටි කාලයකින් ගගන ඔහුගේ ‘සමනළුන්’ මා අතට පත් කරන්නට තරම් නිහතමානීකමක් පවත්ව ගත් තරුණයක් බව කිව්ව යුතුය. ඒ කෘතියෙන් සේ ම ඔහු සමග කළ අවිධිමත් ඇසුරෙන් ඔහුගේ නිර්මාණ තුළ මෙන්ම භෞතිකවම ඔහු තුළ පවතින මුරණ්ඩුකම්, රැඩිකල්කම්, දාර්ශනික පිපාසාවන්, පර්යේෂණකාමී විභවයන් මගේ නිරීක්ෂණයට හසු විය.
“ඉරේසරීය ඊරාවෙකින් ඉක්බිතිව ඉතිරිව” කෘතිය ගැන ගගන මට පැවසූයේ ඔය අතරතුරය. ඔහු ඒ සඳහා කෘති කිහිපයක් තෝරාගෙන තිබිණ. ඒ කත්‍යානා අමරසිංහගේ ‘ධරණී’, ජෙගන් ගනේෂන් විසින් සිංහලට නැගුණු දෙමළ කෙටි කතා ඇතුළත් කෘතිය වූ “අතිශය අභ්‍යන්තර පරීක්ෂණයක්”, තක්ෂිලා ස්වර්ණමාලිගේ “ඉක්බිති ඔවුහු බුදියගත්ත”, ලක්ෂාන් මදුරංග වික්‍රමරත්න විසින් සම්පාදිත “70 දශකයේ සිංහල කවිය” සහ මංජුල වෙඩිවර්ධනගේ පැරිස් වලාකුළු’ යන කෘතිවල ඔහුගේ ඉසියුම් ඉගැඹුරු නිරීක්ෂණයට හසුවූ ඇතැම් පිටු ය. මේ කෘති තෝරා ගැනීම පවා තරුණ ගගන තමන්ගේ දේශපාලන ස්ථාවරයේ මාත්‍රාව සලකුණු කිරීමක් බව නිරීක්ෂණය කළ හැකිය. ඊට පැහැදිලි හේතුවක් ඇත. මෙම කාව්‍ය ප්‍රවර්ගයේ පදනමේම වූ දේශපාලන නැමියාවයි.
මෙම Erasure Poetry – ගගනගෙ අර්ථයෙන් ශේෂ කවිය – සඳහා පදනම දැමෙන Found poetry කිසියම් ගද්‍යමය ලියවිල්ලක හෝ පද්‍යමය රචනාවක කතෘත්වය අභියෝගයට ලක් කරන පරිශෝධනයන් නොහොත් ප්‍රතිශෝධනයන් යෝජනා කරනු පිණිස ඉස්මත්තට ආ කාව්‍යමය ව්‍යාපාරයක් ලෙස හඳුන්වනු යෙහෙකිය. එය, කවිය පිළිබඳ එතෙක් පැවති නිර්ණායක අභියෝගයට ලක් කළ ප්‍රති-කවි පන්නයේ ආක්‍රමණයකි. නවසිය හැටේ දශකයේ මැද භාගයේ ඩොරිස් ක්‍රොස් සහෘද සමාජ ගත කළ ‘ “Dictionary columns” හරහා පටන් ගැනුණු මෙම කාව්‍ය ව්‍යාපාරය විවිධ නාමකරණයන් ගනිමින් කටුගා දැමීම්, මකා දැමීම්, බ්ලේඩ්තල පහර දී කපා දැමීම්, පරිප්පූ පන්නයේ ඇට වර්ග වපුරා වසා දැමීම්, තෝරා ගත් මුද්‍රිත පිටුව මත නා නා චිත්‍රණය කිරීම් ඈ ඌ විවිධ හැඩතල අතරින් මතු කරගෙන නිශ්චල සේයා රුවකට නැඟූ මෙ කවි දෘශ්‍ය කේන්ද්‍රීය නව මාධ්‍ය හමුවේ ‘ඉන්ස්ටග්‍රෑමීය’ සැඩ පහරක් සේ නව සහස්‍රකයේ අලුත් පරම්පරාව ආමන්ත්‍රණය කිරීමට ද පටන් ගැනුණි. ගගන අයත් වන්නේද මෙකී පරම්පරාවට ය. ගගන සතු චිත්‍රණ බුහුටියාව මෙන්ම පර්යේෂණකාමී සහ දේශපාලන හික්මීම නිසා ම, සම්ප්‍රදායික කවිය අභියෝගයට ලක් කෙරෙන ශේෂ කවිය ඔහු අප හමුවේ තබා ඇත. ඉදින් එය බරපතළ ලෙස භාරගත යුතු වන්නේ ය. එබැවින්, පොත අතපත ගෑමෙන් නොනැවතී සමාජ සංස්කෘතික දේශපාලන කතිකාවක් දක්වා එය රැගෙන යාම ‘පුනරුද?” සමාජයේ පැහැර හැරිය නො හැකි වගකීමක් බව අවධාරණය කළ යුතුය.
~ මංජුල වෙඩිවර්ධන
RN