මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා අංක ලබාදී ඇත්තේ “UL” යන ඉංග්‍රීසි අක්ෂර දෙක සහිතව ය. පසුගිය කාලයක් තිස්සේම මේ “UL” අක්ෂර දෙකට උපහාසාත්මක අන්වර්ථ නාමයක් ලෙස ව්‍යවහාරයේ පැවතියේ “Usually Late” යනුවෙනි. ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රමාද වීම එතරම්ම නිරන්තරයෙන් සිදුවුණු නිසා ය. 2024 වසරේදීත් ගුවන් යානා ප්‍රමාද වීම් මෙන්ම ගුවන් ගමන් වාර අවලංගු කිරීම් ද ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් නිරන්තරයෙන් අසන්නට ලැබිණි.
එහෙත් මේ වනවිට එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මේ වනවිට හරියටම නිවැරදි වේලාවට ධාවනය වන බවත් වාර්තා වේ. මේ පිළිබඳව පාර්ශ්ව කිහිපයකින්ම අප විමසා බැලූ අතර ඒ සියලු පාර්ශ්ව තහවුරු කළේ ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර මේ වනවිට අදාළ කාලසටහන් අනුවම යමින් නිවැරදි වේලාවටම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් සිදුකෙරෙන බවයි.
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු නව පරිපාලනය දීර්ඝ කාලයක් තිස්සේ අපේ ජාතික ගුවන් සේවයට ඇලවී තිබුණු Usually Late ලේබලය ගලවා ගැනීමට වසරක් තුළ සමත්ව තිබේ.
ජාත්‍යන්තර ගුවන් සේවයක අභිවෘද්ධිය සඳහා ඉතාමත්ම වැදගත් වන්නේ නිවැරදි වේලාවට කටයුතු කිරීමයි. මන්දයත් ප්‍රමාද වී ධාවනය වන හෝ ගමන් වාර අවලංගු වන ගුවන් සේවයක ගමන් කිරීමට කිසිදු මගියෙක් කැමැත්තක් නොදක්වන නිසා ය. එමෙන්ම එවන් ගුවන් සේවයකට පහසුකම් සැපයීම විදෙස් ගුවන් තොටුපලවල්වලට සහ අනෙකුත් ගුවන් සේවා සමාගම්වලට ද විශාල කරදරයක් වන නිසා ය. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආකාරයෙන් සුපුරුදු ප්‍රමාද තත්වයෙන් ගොඩ ඒම රටක් වශයෙන්ම සතුටට කරුණකි.
මේ පිළිබඳව කරුණු සොයාබැලීමේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවකයන් අප වෙත පැවසුවේ මෙම ආයතනය වසර ගණනාවකට පසු වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම “සමාගමක්” වශයෙන් ක්‍රියා කරන්නේ දැන් බවයි. “මේක දැන් තමයි හරියටම කම්පැනියක් හැටියට වැඩ කරන්නේ. කිසිම දේශපාලන අතපෙවීමක් නෑ. ආයතනයක් හැටියට මේක පියවරෙන් පියවර ගොඩ එන හැටි දැන් කාටත් පේන්න තියෙනවා” යැයි ඔවුහු පැවසූහ.
ඇත්තෙන්ම පසුගිය ආණ්ඩු කාලවල දිගින් දිගටම සිදුවුණේ ශ්‍රීලංකන් ගුවන් සමාගම ඒ ඒ ආණ්ඩුවේ හොඳම සහචරයකු යටතට පත්කර මහජන මුදල් ඔහේ නාස්ති කරමින් සමාගම කාගෙන කාගෙන යාමට ඉඩහැරීමයි. මෙහි උච්ඡතම තත්වය පැවතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ය. ඒ, කෙළින්ම තමන්ගේ මස්සිනාවම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමට ඔහු කටයුතු කිරීමත් සමග ය.
එසේ විනාශ මුඛයට යමින් පැවති ජාතික ගුවන් සේවය සම්බන්ධයෙන් අවසානයේ එම පාලකයින් ඉදිරිපත් කළේ ද විකල්ප දෙකකි. එක්කෝ සමාගම විකුණා දැමීම හෝ නැතිනම් වසා දැමීම ය. පැවති අධික ණය බරත් සමග ශ්‍රීලංකන් සමාගම විකුණා දැමීම ද ප්‍රායෝගික කාර්යයක් වූයේ නැත.
එහෙත් වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගම සරත් ගනේගොඩ මහතා ඇතුළු නව පරිපාලනයක් යටතට පත්කෙරුණු අතර නැවත වතාවක් මෙම ගුවන් සමාගම නඟා සිටුවිය හැකි බවට ශක්තිමත් බලාපොරොත්තුවක් ඇතිකිරීමට එම පරිපාලනය මේ වනවිට සමත්ව තිබේ. පෞද්ගලික අංශය සතු කාර්යක්ෂමභාවය නැවතත් මෙම සමාගම තුළට ගෙන ඒමට ඔවුන්ට හැකිවී ඇත.
වැරදි දේ, නරක දේ විවේචනය කිරීම මෙන්ම හරි දේ, හොඳ දේ අගය කිරීමත් ජනමාධ්‍ය ඔස්සේ සිදුවිය යුතු බව අපේ හැඟීමයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවැරදි මාවතකට අවතීර්ණ කරගැනීමේ ගෞරවය එහි නව පරිපාලනයට මෙන්ම වත්මන් රජයටත් හිමිවිය යුතුය.
සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි බලාපොරොත්තු සහගතව සිටින රටක් වශයෙන් අපට ජාතික ගුවන් සේවය ඉතාමත්ම වැදගත් ය. ඒ, පිටරටින් පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳ පළමු ප්‍රසන්න අත්දැකීම ලබාදීමට හැක්කේ අපේ ජාතික ගුවන් සේවයට බැවිනි. එය මතුපිටින් පෙනෙනවාට වඩා බැරෑරුම් කරුණකි. ඒ වගකීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන්, ගුවන් යානා කාර්ය මණ්ඩල, ඉංජිනේරු සේවා කාර්ය මණ්ඩල, ගොඩබිම් මෙහෙයුම් සේවකයින් ඇතුළු සියලුම දෙනා විසින් සාර්ථකව ඉටුකරනු දක්නට ලැබීම සමස්ත ජනතාවගේම සතුටට මෙන්ම ආඩම්බරයට ද හේතුවකි.
