ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වක්‍ර සාකච්ඡා ඇරඹෙයි!

0
126

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වක්‍ර සාකච්ඡා ආරම්භ වී තිබෙන බව වාර්තා වේ. ඒ, ගාසා යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඊජිප්තුවේ ෂාර්ම් එල් ෂෙයික් නගරයේදී එම සාකච්ඡා ආරම්භ වී ඇති බවයි . ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත සාම සැලැස්ම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමේ අරමුණින් මෙම සාකච්ඡා ආරම්භ වී තිබේ.

ඊජිප්තු රාජ්‍ය බුද්ධි අංශයට සම්බන්ධ අල් කහේරා ප්‍රවෘත්ති සේවාව අනාවරණ කර ඇත්තේ, රතු මුහුද ආශ්‍රිත නිවාඩු නිකේතනයකදී ආරම්භ වී ඇති එම සාකච්ඡාවලදී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ඡා කරමින් සිටින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, පලස්තීන සිරකරුවන් සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡා සිදු වන බවද ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය එහි මැදිහත්කරුවන් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදු වන බවයි.

ගාසා යුද්ධයට හේතු වූ 2023 වසරේ ඔක්තෝබර් මස 07 වනදා දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයේ දෙවන සංවත්සරයට පෙර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එම සාකච්ඡා ආරම්භ වී තිබෙන බව වාර්තා වේ.

මීට දවසර 02 කට පමණ පෙර සිදුවූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් ඇති අතර තවත් ඊශ්‍රායල් ජාතිකයින් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබුණි.

හමාස් සංවිධානය මගින් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනාවරණ කර ඇත්තේ, ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කළ අතර එම මෙහෙයුම්වලදී පලස්තීන වැසියන් 67,160 දෙනෙකු මිය ගොස් ඇති බවයි.