රත්තරන් විතරක් නෙමෙයි පදක්කම්

0
204

දැන් රටම තරුෂි වටය.එය වරදක් නැත.ඇය දිනුවේ රන් පදක්කමක්ය.ඊට අමතරව ඇය කාන්තා කණ්ඩායම ලෝකඩ පදක්කමක් කරා ගෙන එන්නට සමත් වූවාය.මිශ්‍ර සහය දිවීම තරුෂි රිදී පදක්කමක් කරා රැගෙන ආවත් එහි තිබූ ධාවන පථ නීති උල්ලංඝණය කිරීමක් නිසා එය අහිමි විය.එම පදක්කමත් ලැබුණේනම් තරුෂි ශ්‍රී ලංකාවට එන්නේ රන්,රිදී සහ ලෝකඩ පදක්කම් තුනක්ම එල්ලා ගෙනය.

“ක්‍රීඩාවට සම්බන්ධ ඉහළ නිලධාරියෙක් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා පදක්කම් ගැන කීවේ අපූරු කතාවක්ය.
අපි තරුෂිනම් දිනනවා කියලා දන්නවා.රන් බැරි වුණත් මොනව හරි එයා දිනයි කියන එක සියයට සියයක් විහ්වාස කළා.අනිත් දේවල් ගැන සැකයක් තිබුණා.නදීශාට පදක්කමක් දිනන්න පුළුවන් කියලා වෙබ් එකේ ලියලා තිබ්බා මං දැක්කා.ඒත් අපිට ඒකනම් හිතුණෙම නැහැ”

නදීශා පදක්කමක් දිනන්නට ප්‍රථම ඇයට ජය ගැනීමට ඇති ඉඩ ගැන අප කියූ සටහන පහත ඇත. https://sinhala.lankanewsweb.net/10/03/73244/

අප කියන්නට යන්නේ ඊට වඩා වැදගත් කතාවක්ය.තරුෂි මත සියල්ල පුරවන්නට යාම නවතා මදකට සිතන්න.ඇය යනු සමස්ත මලල ක්‍රීඩාව නොවේය.ඇය වැනිම තව දූ පුතුන් ඉහළට ගෙන ආ යුතුය.මෙම කණ්ඩායමේම සිටින 2004 උපන්නියක් වන ජයේශ්‍රී උත්තරා එවැන්නියකි.ලක්ෂිමා මෙණ්ඩිස් වයස ඊට වඩා දෙවරක් පමණි.

ක්‍රීඩකයින් කණ්ඩායම බැලුවත් බොහෝ දිග අනාගතයක් ඇති ක්‍රීඩකයෝ ඒ පදක්කම්ලාභින් අතරම වෙති.අරුණ දර්ශන,රාජිත රාජකරුණා ලෙස මේ නම් පෙළ දිගට ලිවිය හැකිය.ඒත් ඇත්ත මේ මොහොතේ වඩාත්ම දක්ෂයා තරුෂිය.අපි එය පිළිගන්නෙමු.වැදගත්ම පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුය.අපි එයද දන්නෙමු.නමුත් සුසන්ත සහ තරුෂි අප්‍රමාණ බාධා කිරීම් මැද ගොඩ නැඟුණු බව අපි කීවෙමු.ලැබුණු සුළු සුළු අනුග්‍රහ ඔවුන්ට මහ මෙරක් විය.නමුත් ඒවා විල්ලුද ඇතිරූ මංනම් නොවිණ.සැබවින්ම කිසිඳු පිළිගත් වැඩ පිළිවෙලක පලයක් හැටියට තරුෂි මතු නොවිණි.

දක්ෂතා ඇගයීම් යම් යම් ආකාරයෙන් සිඳු වූවා හැරෙන්නට,සුසන්තිකා මතු වූ ආකාරයෙන්ම නිශ්චිත නොවන වැඩ පිළිවෙලකින් තොරව වසර විස්සකට පසුවත් ක්‍රීඩකයින් මතුවෙන අපූරු රටකි මෙය.සුසන්තිකා දිනුවාට පසු අපි කෙටිදුර ධාවන සූරියන් රැසක් මේ පොළවේ දුටුවෙමු.අඩුස තරමේ හදුනාගත් පසුව එස්බී දිසානායක සුසන්තිකාලාට,දර්ශලාට,සුගත්ලාට සහ ශ්‍රියාණිලාට දුන් පහසුකමත් ඒ පිරිස නොලද්දෝය.

චන්ද්‍රිකා සුභාෂිණි,ජානි චතුරංගි,සුජානි මේනකා ලෙස මේ නම් ලැයිස්තුව දිගට ලිවිය හැකිය.අද දක්වාම පැමිණ නිමාලි ලියනාරච්චි,ගයන්තිකා අබේරත්න දක්වා ගෙන එන්නට හැකිය.සුසන්තිකාගෙන් සියල්ල නැවතිණ.තව පිරිසක් වෙනුවෙන් පාවඩ එලීම සිඳු නොවිණි.මේ මොහොතේත් සිඳු වෙමින් තිබෙන්නේ එයමය.තරුෂිට ලංකාවට පැමිණ පසුව විවේකයක් නොලැබෙන තරමට මාධයවලින් ආරාධනා එනු ඇත.ඊයේ ප්‍රධාන නාලිකාවක් යූටියුබයකින් දුට්වේ තරුෂිගේ පාසලේ නමවත් හරියට නොසැන එහි ගොස් කරන කතා බහක්ය.මේ විකුණා ගැනීම නවතා දමා තරුෂිව රැක ගැනීම වෙනුවෙන් සිඳුවන මූල්‍ය පරිත්‍යාග ආදිය ගැන වෙනම කතා බහක් ඇති කර ගත යුතුය.ඇයට උසස් පෙළට පාඩම් කරන්නට ඉඩ දිය යුතුය.ඇයගේ ක්‍රීඩා හැකියාවන්ට ගැලපෙනම තැන සොයා ඇයට විදෙස් පුහුණුවකට යොමු කළ යුතු වන්නේ ඒ සිහින් සිරුරට ගැලපෙන ශක්තිය සවිය ගැන තාත්තා තරමට දන්න පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සමඟය.එ දෙදෙනාට එසේ යන විට වියදම් දැරීම,සුසන්තගේ වැටුපට දෙරටක ගැලපෙන ආකාරයට දීමනාවක්ද එකතු විය යුතුය.බිරිඳට සිටින්නේ රෝගීව බැවින් ඇයට සහනයක් වන ආකාරයට ඒ දේවල් සිඳුවීම අත්‍යවශ්‍යයය.

තරුෂි ගැන වැඩ පිළිවෙල ඒ ආකාරයට සකස් කර ගන්නා අයුරෙන්ම මේ ජයග්‍රහණවලට සම්මාදම් වූ ක්‍රීඩකයන් ගැන ද සොයා බැලිය යුතුය.ඔවුන්ගේ වයස දක්ෂතාවය ආදිය සැළකිල්ලට ගෙන ඔවුන් කෙරෙහිද අනුග්‍රහයන් දැක්වීමට පිරිස පැැමිණෙන්නේම් ආසියාවේ දක්ෂතා ඉදිරියට යනු ඇත.නැත්නම් අපට රටක් හැටියට තරුෂි පමණක් ඉතුරු තවත් දශක ගණනාවකට වෙනත් කිසිදු ජයග්‍රහණයක් නොලැබෙන තත්ත්වයක් ඇති වෙනු ඇත.ආයෙත් වසර ගණනකට පසු වසර 17 පසු දිනූ පදක්කම් ගැනත්,වසර 21 ට පසු දිනූ රන් පදක්ක්ම් ගැනත් කතා කරන තෙක් පදක්කම් නියඟයක සුසුම්ලමින් සිටින්නට සිඳුවනු ඇත.

ක්‍රීඩකයින් ගැන මෙන්ම සුසන්ත ප්‍රනාන්දු වෙතට පමණක් හිර නොවී විමුක්ති සොයිසා,අසංක රාජකරුණා,එස්පීඩී සිල්වා,මුද්දික තුෂාර,අනුරාධ නානායක්කාර,හරිජන් රත්නායක,දහම් ආලෝක සහ ප්‍රදිප් නිශාන්ත ගැන ද කතා කළ යුතුව ඇත.

අපි වෙච්චි දේවල් ආයෙ ආයෙත් කරන එක සාමාන්‍ය සිරිතක්.පුළුවන්නම් වෙනස් කරන්න.මලල ක්‍රීඩාව සම්බන්ධ මේ ඡායාරූපය ගත්තම වුණත් තරුෂි ඉදිරියේ නැත්තෙ සමහර විට කාන්තාවක් නිසා වෙන්න ඇති.සැළකිල්ලෙ අඩුවක් නෙමෙයි ඒ ඡායාරූපය හරහා එන්නෙ.සිතුවිල්ලෙ අඩුවක්.නිලධාරි කණ්ඩායම පසුපසින් ගොඩ වෙලා පදක්කම්ලාභි දරුවො ඉස්සරහින් ඉන්න ඡායාරූපයක් දකින්න අපි ආසිය.අඩුම තරමේ එහෙම නැතුව ගැහැණු පිරිමි කළවම් වෙච්චි එකක්වත්.

විවේචන නෙමෙයි අපි වෙනස් වෙමු.රත්තරන් විතරක් නෙමෙයි පදක්කම්.තරුෂි වටා පෙරකන අනුග්‍රාහකයන්ට බුද්ධිය ලැබේවා.

සටහන -නිෂ්මං රණසිංහ