කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියේ පස් වන සැකකරු ඇන්ඩෘ ඉවෝන් පෙරේරා යන අය දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (09) නියෝග කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට අරගලකරුවන් විසින් 2022 වසරේදී සිදු කළ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස නම් කර ඇති විදේශ ගතවී සිටි ඉවෝන් ඇන්ඩෘ පෙරේරා යන අයට නිකුත් කර ඇති විදේශ ගමන් තහනමේ මෙරටට පැමිණීමේ කොන්දේසිය පමණක් තාවකාලිකව ඉවත් කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් හරහා අධිකරණයට භාර වී සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ.
ඒ අනුව ඇප කොන්දේසී ඉදිරිපත් කරමින් රුපියල් මිලියන බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් ළගම ඥාතීන් විය යුතු වන බවත් සැකකරුට ලබන 11 පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
තම සේවාදායකයා වැඩිදුර අධ්‍යාපනය සදහා විදේශ ගත වූ බවත් ඔහු දෙවන වසර නීති සිසුවකු බවත් ජනාධිපති නිතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
තමන් අධිකරණයට වූ එකගතාවය මත අද පෙරවරුවේ ඔහු මෙරටට පැමිණි බවත් පැමිණි වහාම අධිකරණයට පැමිණ භාර වූ බවත් කියමින් නඩුව සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දෙන බැවින් සුදුසු ඕනෑම ඇපයක් මත ඔහු මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ආශිකා බ්‍රාහ්මණ