විජය කුමාරතුංග නැමති වාම ක්‍රියාධරයාගේ සහ කලාකරුවගේ හැත්තෑ හත්වන උපන්දිනය පසුගිය නමවෙනිදාට යෙදී තිබු හෙයින් කාලයේ වැලිතලාවෙන් වැසීගිය ඔහුගේ වෘතාන්තය සම්බන්දව කෙටි ලියමනක් මෙසේ සයිබර් අවකාශයට මුදාහැරීමට සිත් විය..
විජය කුමාරතුංග කියන චරිතාපදානය ලංකාව ඇතුලේ මේ මොහොතේ පවා හඳුනාගැනෙන්නෙ සුකුමාල ප්‍රේම චරිත රඟදැක්වූ රංගන ශිල්පියෙකු ලෙසය.
නමුත් ලාංකීය සමාජයට නිරාවරණය නොවූ විශාල දේශපාලන කලාපයක් ඔහුගේ බූමිකාව තුල සැඟව තිබින. සිනමාව තුල වුවද යුගයට අදාලව වානිජ හා සම්බාව්‍ය සිනමා ද්විත්වයේම ලෙජන්ඩ් එකක් බවට පත්වීමට අවශ්‍ය තරු ගුණය ඔහු සතුව උප්පත්තියෙන්ම පිහිටා තිබින.
විජය සිනමාවේ සිට දේශපාලන බිමට පය තබන විට ලාංකීය දේශපාලනයේ ජනප්‍රියවාදය බවට පත්වෙලා තිබුනේ සිංහල බෞද්ධ ජාති(ක)වාදය සහ එයින් පිටතට ගලාගිය දෙමළ විරෝධයයි. නමුත් ඒ මොහොතේ විජය සිනමා ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටියද ඔහු දේශපාලන වාසිය උදෙසා එකී ජාති වාදය පැත්තේ හිටගත්තේ නැත.
ඒ වෙනුවට ඔහු දෙමළ ජනයාගේ යුක්තිය පැත්තේ සිට ගත්තේය. විජයගේ අළංකාර මුහුණ වෙඩි පිට වෙඩි උන්ඩවලින් විකෘතිවීගිය බිහිසුනු මරණයක් ඔහුට අත්වුයේද ඔහුගේ එකී යුක්තිගරුක ස්තාවර නිසාය.
මරණ වරෙන්තුව වෙනුවෙන් ඔහුට එරෙහිව තිබූ චෝදනාව වූයේ රට බෙදන පලාත් සබාවට පක්ෂපාතී දේශද්‍රෝහියෙකු වීමය.
ජාතිවාදය කලවම් නොවූ විජයගේ නිර්ප්‍රචන්ඩ වාම දේශපාලනය ඒ යුගයේ ක්‍රමක්‍රමයෙන් සමාජගතවෙමින් තිබින. ඊට සමගාමිව ඔහුගේ විරුද්ධවාදීන් ඔහුට බියවීමට හේතුවු ප්‍රධාන කාරනාව නම් දකුණු ඉන්දියාවේ ඇම්.ජී.ආර්. ට මෙන් මිනිසුන්ගේ ආදරය දිනාගත හැකි විබයක් ඔහු සතුව පැවතීමය.
මෙකී වටපිටාව තුල විජයගේ ගමනට බියවූ දේශපාලන බලවේග දෙකක සතුරෙකු බවට ඔහු පත්විය.
ඔහුගේ දේශපාලනයට බියවූ එක් පුත්ගලයෙක් නම් එවකට සිටි ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනය. ඔහු විජයව නැක්සලයිට් කාරයෙකු ලෙස වාර්ගීකරනය කොට විටින්විට විජයව සිරගත කලේය.
ඊට එරෙහි විජයගේ කලාත්මක රැඩිකල් ප්‍රතිචාරය වූ “දඟගෙයි ඳඬුවම්” ගීතය ලියවුනේද ගැයුනේද මේ යුගයේය.
ඒ යුගයේ ඔහු ඉතිහාසයේ කිසිවෙකු නොකල මහා අවදානමක් සහිත සාම චාරිකාවක යෙදුනේය. යුද්ධය පවතිද්දීම ඔහු සාමයේ පනිවිඩය රැගෙන දකුණේ සොල්දාදුවෙකු මුදවාගෙන ඒම පිනිස එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයට ගොස් ඔවුන් සමඟ සුහද සාකච්චාවකින් පසු නැවත නිරුපද්‍රිතව පැමිනියේය.
අනෙක් පසින් ඔහුගේ මේ දේශපාලනය නොරිස්සූ ඒනිසාම ඔහුගේ ජීවිතය තොරකල අනිත් බලවේගය වූයේ ඒ වනවිටත් රටපුරා ක්‍රියාත්මක වෙමින් තිබූ දේශප්‍රේමී සන්නද්ධ පෙරමුණයි. මෙහිදී විජයගේ ඝාතකයාට හිමිවු ධෛවෝපගත සරඳම නම් විජයට පමණක් නොව කිසිදු ශාක්ශියක් නොතබාම නඩුත් නැතිව අතුරුදන් වූ විජයගේ ඝාතකයාටද යුක්තිය ඉටු නොවීමයි. මන්ද අවසානයේ ඔහු නියෝජනය කල දේශප්‍රේමී කඳවුරවත් පසුකාලයේ ඔහු තමන්ගේ සාමාජිකයෙකු ලෙස පිලිගත්තේ නැත.
ඉතිහාසයේ බොහෝ දේවල් පසුකාලීනව ලේඛන ගතවෙන්නේ සත්‍යය ඔළුවෙන් සිටුවාය. එහිදී එකී ඉතිහාසය තුල සිටි සහ එකී ඉතිහාසය දන්නවුන්ගේ වගකීම ඔළුවෙන් සිටවූ එකී ඉතිහාසය නැවත දෙපයින් සිටුවීමය.
එදා දේශප්‍රේමී කැරළිකරුවන් දියත්කල එක්තරා ප්‍රහාරයකින් එ.ජා.ප.යේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ආරක්ෂාවට තිබූ අවියක් පැහැරගන්නාලද බව එවකට මාධ්‍යවල පලවී තිබින.
පසුව කැරළිකරුවන් විජය ඝාතනය කිරීම සඳහා යොදාගෙන තිබුනේ එකී අවියයි. පසුව විජේ ඝාතනය කිරීමට යොදාගත් අවිය සොයාගන්නා රජයේ ආරක්ෂක අංශ විසින් එහි සීරියල් අංක හරහා අවියේ මුල් හිමිකරු සොයාගන්නා ලදී.
එහිදී එකී එ.ජා.ප.ප්‍රබලයාටද විජේ ඝාතනයේ අපවාදයට කර ගැසීමට සිදුවිය. පසුව චන්ද්‍රිකාද තමාගේ ප්‍රබලතම ප්‍රතිවාදියාවූ එ.ජා.ප.යට අවාසි සලසන එම ප්‍රබන්ධය තමාගේ දේශපාලන මාවත සඳහා යොදාගත්තේය.
විජේ වැනි ජනප්‍රිය චරිතයක් ඝාතනය කිරීමෙන් හිමිවන මහා සමාජ අපවාදයෙන් ගැලවීම පිනිස පසුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වූ දේශප්‍රේමීන් විජය ඝාතනයේ වගකීම එ.ජා.ප. ය පිටම පැටවීය. අවසානයේ දිවි පරදුවට තබා විජය ඝාතනයට පැමිණි දෙශප්‍රේමියා එ.ජා.ප.කුලී මිනීමරුවන්ගේ ගොඩට දැමූ ඔහුගේම දේශපාලන ව්‍යාපාරය අතපිහදාගෙන ඉතිහාසයේ නිදොස් විය.
චන්ද්‍රිකා යනු උග්‍ර ජාතිවාදී පවුලක දියනියකි. නමුත් ජනාධිපති දුරයට පත්වූ චන්ද්‍රිකා තුල එකී මා පිය උරුමයෙන් පැමිණි උග්‍ර ජාතිවාදය තිබුනේ නැත. ඒ වෙනුවට උතුරේ ජනවාර්ගික
ගැඨළුවට “දේශපාලන විසඳුමක් ” පිළිඹඳ කතිකාව (යුද්ධය යන අතරේ උනත්) ඇගේ දේශපාලනය පුරාම දකින්නට ලැබින.
ජ.වි.පෙ. සමඟ ඇය පවත්වාගෙන ගිය දේශපාලන සංධානය බිඳවැටෙන්නේද උතුරේ සුනාමියෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඇය ගෙනා සුනාමි සහන මන්ඩල ව්‍යාපෘතිය නිසාය. මෙහිදී ජ.වි.පෙ. සමඟ සංධානය බිඳවැටුනද ඇය ජ.වි.පෙ. යේ ජාතිවාදය ට යට වූයේ ද නැත. බොහෝ දුරට ඇගේ මේ දෙමාපියන්ගෙන් කණ්ඩනය වූ දේශපාලන බාවිතාව ඇයට උරුම වූයේ විජයගේ අභාශයෙන් විය හැකිය.
එසේම විජයව නොරිස්සූ හා ඔහුව ඝාතනය කල පාර්ශව විසින් විජය යනු නොවටිනා ජීවියෙකු ලෙස වාරගීකරණය කිරීමට භාවිතා කල මුසාව වුයේ ඔහු කිසිදු දේශපාලනයක් නොදන්නා නලුවෙකු පමණකැයි කීමය. නමුත් වර්තමානයේ සිට ආපෝහකව බැලූ විට අපට පෙනී යන්නේ ඉතිහාසයේ එසේ අපවාද නැගූ අයට වඩා විජේ සම්භාව්‍ය වාම දේශපාලනය හදාරා තිබූ අයෙකු බවය .
බණ්ඩාරනායක වැනි ප්‍රබල දේශපාලන පවුලකට ඔහු සම්බන්ද වන්නේම ඔහුගේ දීර්ඝකාලීන දේශපාලන ව්‍යාපෘතියේම එක්තරා උපාය මාර්ගික කොටසක් ලෙසද විය හැකිය. ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ද නොවී සාමාන්‍ය මිනිසෙකුට රාජ්‍ය නායකත්වයට පැමිණිය නොහැකි ලංකාවේ පසුගාමී දේශපාලන පසුබිම අතික්‍රමණය කිරීමේ මාවත එය ලෙස එදා ඔහුගේ මනසට හැගී යන්නට ඇත.
ඇතැම් විට ඔහු 1988දී අකල් මරණයකට ගොදුරු නොවූයේ නම් 1994 මැතිවරණයේදී රාජ්‍ය නායකයා ඔහු වන්නටද තිබිණ.එසේ වූවා නම් ලේ ගංගා මැද ඇවිල ගිය යුදමය ලාංකීය ඉතිහාස කතාව වෙනස් විදියට ද ලියවෙන්නට ඉඩ තිබිණ.
මන්ද ඉතිහාසය එක් එක් දිශාවන්ට හැරවීම සදහා සුවිශේෂී පුද්ගල චරිත සතුව ඇති විභවය අපට කිසිසේත්ම අවතක්සේරු කල නොහැකි නිසාය.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN