සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකායට සම්බන්ධ බවට සැක කෙරෙන පිරිසක් බ්‍රිතාන්‍යයේ ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ප්‍රහාරයක් සැලසුම් කළ බවට බ්‍රිතාන්‍ය රජය චෝදනා කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සම්බාධක පැනවීමට ද බ්‍රිතාන්‍යය පියවර ගෙන ඇත.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, දකුණු එංගලන්තයේ පිහිටි RAF Fairford ගුවන් හමුදා කඳවුර ආශ්‍රිතව වාර්තා වූ සැකකටයුතු සිද්ධිය ඉරානයේ සම්බන්ධීකරණයෙන් සිදුවන්නට ඇති බවත්, එය ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මෙහෙයවන්නට ඇති බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයේ භූමිකාවක් ඇතැයි චෝදනා කරමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එඩ් මිලිබෑන්ඩ් ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සම්බාධක පැනවීම නිවේදනය කර තිබේ. එමෙන්ම, ඉරානයේ අපරාධ ජාල හරහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂාවට තර්ජන එල්ල කිරීම වැළැක්වීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නා බව ද බ්‍රිතාන්‍ය රජය අවධාරණය කර ඇත.
සැප්තැම්බර් 27 වැනිදා ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී ත්‍රස්තවාදී ක්‍රියා සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ වැරදි පිළිබඳ සැකය මත බ්‍රිතාන්‍ය ජාතිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්ට සම්බන්ධ වාහන තුනක තිබී පෙට්‍රල් සොයාගෙන ඇති නමුත් පුපුරණ ද්‍රව්‍ය හමු නොවූ බව පොලිසිය සඳහන් කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් පසුව දැඩි ඇප කොන්දේසි යටතේ මුදාහැර තිබේ.
කෙසේ වෙතත්, ඉරානය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර බ්‍රිතාන්‍යයේ ඉරාන තානාපති අලි මූසවි බ්‍රිතාන්‍ය බලධාරීන් හමුවේ ඉරානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සඳහා සහයෝගය ලබාදීමට ද ඉරානය සූදානම් බව ප්‍රකාශ කර ඇත.

