අප තිස් තුන් කෝටියක් දෙව්වරුන් ගැන අසා තිබේ.
අද ඇඩ්ඩා ලියන්නේ තිස් තුන් කෝටි එක් වෙනි දෙවියා ගැනය.
ඒ දෙවියෝ වූකලී බඩු බාර දෙයියෝ ය.
ඕනෑම ඇඩ්වර්ටයිසිං ඒජන්සියක ප්‍රධාන බඩු භාර දෙයියන්ට අමතරව ප්‍රාදේශීය බඩු බාර දෙවියන් කිහිප දෙනෙක් දැකගත හැකිය.
ප්‍රධාන බඩු භාර දෙවිවරුන් වූ කලි එක්තරා පොෂ් කට්ටියකි.
ප්‍රාදේශීය බඩු බාර දෙවිවරුන් එතරම් බලවත් කොට්ඨාසයක් නොවේ.
මේ බඩු බාර දෙයියන් ගෙන් වැඩක් කර ගැනීමට එන කාන්තා පාර්ශ්වය නියෝජනය කරන පිරිස් ඔහු ළග පැය ගණනක් ලතවිය යුතුය.
ග්‍රාන්ට්ස් එකේ සිටි එක බඩු බාර දෙවියෙක් ඇඩ්ඩාට මතකය.
ඔහු ඉංග්‍රීසි පිටපත් රචකයෙකි.
නිර්මාණ අධ්‍යක්ෂවරයෙකි.
බඩු බාර දෙවියන් යන ටයිට්ල් එක නිර්මාණය වූයේ ඔහු නිසාය.

මේ බඩු බාර දෙයියන් ගෙන් වැඩක් කර ගැනීමට එන කාන්තා පාර්ශ්වය නියෝජනය කරන පිරිස් ඔහු ළග පැය ගණනක් ලතවිය යුතුය.
ඒජන්සියට පෙනුමැති යුවතියක් පැමිණිය හොත් මේ බඩු බාර දෙවියන් කරන්නේ පසුවදාම ඔහුගේ නම ගැසූ මල් කළඹක් ඒ යුවතියගේ මේසය උඩ හොරෙන්ම තැබීමයි.
ඒ අදාළ වැඩේ කර ගැනුමටය.
එක්කෝ බ්‍රීෆ් එක හරි නැතැයි කියයි.
නැත්තං බ්‍රීෆ් එක පැහැදිලි මදි යැයි කියයි.
මෙසේ පවසා මේ බඩු බාර දෙයියෝ අදාළ කාන්තා පාර්ශ්වයන් වරින් වර ගෙන්වා ගනී.
මෙකී කාන්තා චරිත බොහෝ විට ඉන්නේ ඔහුගේ පුටුවට පැත්තෙන් බිම වාඩි වී ගෙනය.
සතියේ දින හතරම මෙකී කාන්තා පාර්ශ්වයන් ඔහු ළඟ බිම ඈඳි ගෙන සිටින අතර සිකුරාදා දිනවලට පමණක් බඩු බාර දෙයියෝ බිමට වඩියි.
ඒ ආගම ඇදහීමට ය.
තවත් බඩු බාර දෙයියෙක් ඇඩ්ඩාට හමුවී තිබේ.
ඔහු ග්‍රාන්ට්ස් එකේද, ෆීනික්ස් එකේද මීඩියා අංශයේ වෑඩ සිටියේය.
රූපශ්‍රීයෙන් එතරම් අනූන නොවූ යුවතියක් පැමිණි විටදි මේ මල් පොකුර යන්නේ නැත.
වරෙක යුවතියන් තිදෙනෙකු එකවර ඒජන්සියට බඳවා ගැනිණි.
මල් පොකුර ගියේ එක යුවතියකට පමණි.
එය අසාධාරණය.
ඇඩ්ඩා කළේ දැනට ඇමෙරිකාවේ වෙසෙන මිතුරකු සමග ඩීන්ස් පාරේ පිහිටි මල් ශාලාවකට ගොස් රුපියල් 300 කට මල් ටිකක් මිලදී ගැනීම යි.
ඉන් පසු ඒවා දෙකට බෙදා බඩු බාර දෙයියන් ගේ නම ගසා ලස්සනින් අඩු යුවතියන් දෙදෙනා ගේ මේස මත හොරෙන්ම තැබුවෙමු.
” අනේ ඩාලිං, යූ ආ සෝ ස්වීට් ” කියා අර යුවතියන් බඩු බාර දෙයියන් බදා වැළද ගත්තේ ඔහුව හොල්මන් කරමිනි.
තමාගේ නම ගසා මල් එවුවේ මොකාද කියා බඩු බාර දෙයියන් අවුරුදු ගණනක් යනතුරු දැන උන්නේ නැත.
තවත් වරෙක ක්ලයන්ට් කෙනෙක් ක්ලයන්ට් සර්විසිං ඩිරෙක්ටර් වී ඒජන්සියට පැමිණියේ ය.
සාමාන්‍යයෙන් ක්ලයන්ට් සර්විසිං ඩිරෙක්ටර් කෙනෙක් කරන්නේ තමා යටතේ සිටින අය ගෙන් වැඩ ගැනීමයි.
හැබැයි මොහු කළේ තමා යටතේ සිටි ක්ලයන්ට් සර්විසිංවරියන් ගේ වැඩ කිරීමයි.
වරෙක මේ සම්බන්ධයෙන් ගැටුමක් නිර්මාණය වී ක්ලයන්ට් සර්විසිං බඩු බාර දෙයියන්ට පහර දීමට සැරසුනේ ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ සිටි බඩු බාර දෙයියෙකි.
ඇඩ්ඩාත්, හේමන්තත් මැදිහත් වී වැඩේ බැලන්ස් නොකළා නම් එදා දේව මණ්ඩල අතර යුද්ධයක් පවා ඇති වීමට ඉඩ තිබුණි.
ඉන්දීය ජාතික නිර්මාණ අධ්‍යක්ෂ පියුෂ් පාන්ඩේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක අර්වින් විරක්කොඩි සාදයක් සංවිධානය කළේ විශාල බෝට්ටුවක ය.
ඒ බෙන්තොට පැත්තේය.
අර්වින් ශූර මොළකාරයෙකි.
ඔහු මෙම සාදය බෝට්ටුවක් තුල සංවිධානය කළේ අපේ බේබදුකම ගැන දන්නා නිසාය.
මුහුදු සුළං වදින විට කාලක් ගැසූ එකාටත් එදා තුන් කාලක වැදුණි.
සෙල්ලම පටන් ගැනුනේ පිරිස ඩාන්ස් කරන්නට පටන් ගැනුමත් සමගය.
එදා කිසිම ජෝඩුවකට නිදහසේ, පාඩුවේ නටන්න ලැබුනේ නැත.
නැටුම මැදට බලෙන් කඩා පනින ක්ලයන්ට් සර්විසිං බඩු බාර දෙවියන් පිරිමි පුද්ගලයාව පසෙකට කර ඔහු කැමති යුවතියන් සමගින් නටන්නට පටන් ගනී.

බෝට්ටුව ගොඩබිමට ළං වන තුරුම මේ සිද්ධිය සිදුවිය.
එය සිහිපත් කළේ මිස්ටර් බීන් චිත්‍රපටියක ජවනිකාවකි.
තවත් අවස්ථාවක මීඩියා එකට පැමිණි ඉන්දීය ජාතික තරුණියකට මහ රෑ ලිෆ්ට් එකක් දෙන්න මේ බඩු බාර දෙයියෝ වැඩි සේක.
දැන් වෙලාව රෑ 10 ත් පහුවෙලා ය.
ගේ ළඟට පැමිණි බඩු බාර දෙයියන් මෙහෙම කිව්වා.
” ගේ ඇතුලේ හොරෙක් ඉඳීද දන්නේ නෑ …පොඩ්ඩක් ඉන්න මං චෙක් කරන කන්…”
මෙහෙම කියපු බඩු බාර දෙයියන් අර ඉන්දීය ජාතික තරුණියගේ ගෙට රිංග ගත්තා.
ඔහු ඊට පස්සේ වීරයෙක් වගේ ගේ ඇතුළට ගිහින් කාමර පවා චෙක් කළා.
අර තරුණිය තාම දොරකඩ ළඟ.
අපේ බඩු බාර දෙයියන් ඇවිත් සැටියේ වාඩි වෙලා මෙහෙම කිව්වා.
” ඔන්න මං සේරම චෙක් කළා… ඇඳන් යටත් බැලුවා.. කිසි ප්‍රශ්නයක් නෑ…”
” ප්‍රශ්නයක් නැත්තං ඔයා යන්න … “
තරුණිය කිව්වා.
බඩු බාර දෙයියන් අකුලගෙන පල්ලං බැහැලා ගියාට පස්සේ තමයි අර ඉන්දීය යුවතිය ගේ ඇතුළට ආවේ.
තවත් බඩු බාර දෙවි කෙනෙක් ඇඩ්ඩාට මතක් වේ.
මේ බඩු බාර දෙවියන් ගේ සිත් ගත් යුවතියක් වැඩට ආවේ කෝච්චියෙනි.
ඈ එන කෝච්චිය බම්බලපිටිය ස්ටේෂන් එකට එන්නේ උදේ 7.30 ට විතරය.
ඇය එනතුරු මේ බඩු බාර දෙවියන් ස්ටේෂන් එක ඉස්සරහ තම කාර් එක නතර කරගෙන සිටීම එකල සුලබ දසුනකි.
90 ගණන්වල මැද වන විට මේ බඩු බාර දෙයියන් ගේ අවධානය දිනාගෙන සිටියේ වෙනත් යුවතියකි.

බඩු බාර දෙවියන් එක ඉරිදාවක ඈ වැඩ කරන ඒජන්සියට ගොස් ඇගේ කාමරය පේන්ට් කර දුන්නේ හරියටම කුස ජාතකේ කුස රජ්ජුරුවන් මෙනි.
මෙකී බඩු බාර දෙවිවරුන් නිසා ඩිප්‍රෙස් වූ යුවතියන් අනන්තය.
අප්‍රමාණ ය.
මොවුන් විශාදයට පත්ව පිස්සු කෙළින විට එහි පරිප්පුව කෑමට සිදුවූයේ විශේෂයෙන්ම ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකට ය.
ඉහතින් සඳහන් කළ සියලු බඩු බාර දෙවිවරුන් හයි ක්ලාස් බල සම්පන්න දෙවිවරුන් ය.
දැන් කියන්නට යන්නේ ප්‍රාදේශීය බඩු බාර දෙවි කෙනෙක් ගැනය.
මේ බඩු බාර දෙවියන් වැඩ කළේ ස්ටුඩියෝ එකේය.
කතන්දරේ මෙහෙමය.
මේ බඩු බාර දෙවියන් ගෙන් ෆයිනල් ජොබ් එකක් කරගැනීමට නම් අදාළ යුවතිය ඔහුගේ මේසය ළඟ සිටිය යුතුය.
පුරුෂ පක්ෂයට එවැනි ප්‍රශ්නයක් නැත.
වරක් අල්ලපු කොම්පියුටර් එකේ හිටපු එක කෙල්ලෙක් ගේ ෆොෆයිල් එකක් හදාගෙන චැට් කරන්න පටන් ගත්තේ ස්ටුඩියෝ බඩු බාර දෙවියන් සමගය.
චැට් එක නැගලා ගිය තැන දෙදෙනා හමුවීමට දිනයක් ද යොදාගන්නා ලදි.
බඩු බාර දෙවියන් පැය දෙකක් පමණ කේරි කොලෙජ් එක ගාව හිටගෙන හිටි අතර ඔහුව නැවත කාර්යාලය වෙත කැටුව එන්නට සිදු වූයේ ද අපටම ය.
තවත් වරෙක ලනුවක් කෑ මේ බඩු බාර දෙවියන් කාර් එකක් රැගෙන රාගම යන්න ලැහැස්ති වූයේ නැති වූ යුවතියක් හොයන්නට ය.
මේ බඩු බාර දෙවියන් ගේ වදය ඉවසන්න බැරිව ඇතැම් යුවතියෝ රැකියා අතහැර හෝ වෙනත් ඒජන්සි කරා හෝ ගියහ.
මේ බඩු බාර දෙයියන්ට බොරැල්ල පැත්තේ අලුත් කාර්යාලයකට යන්නට සිදුවිය.
එදිනම ඔහු තම අඟල් 32 කොම්පියුටර් ස්ක්‍රීන් එකට පිටුපා සෙල්ෆියක් ගෙන ” my work station “ යනුවෙන් කැප්ෂන් එකක් දමා ෆේස්බුක් එකේ පිංතූරයක් දැම්මේය.
ඊළඟට අපේ උන් ඒක එඩිට් කළේ කොම්පියුටර් ස්ක්‍රීන් එකට නිරුවත් කාන්තා රූපයක් බස්සවාය.
බඩු බාර දෙයියන්ට එදා හොඳටම මල පැන්නේ ගමේ පංසලේ හාමුදුරුවෝත් ඔහුගේ ෆෙන්ඩ් ලිස්ට් එකේ සිටි නිසාය.
කෙසේ වෙතත් අපට හමුවූ බඩු බාර දෙයියන් අතරින් කොලිටියක් නැතිම බඩු බාර දෙයියා මොහුය.
මේ බඩු බාර දෙවිවරුන් නරකම මිනිසුන් නොවේ.
එසේම මේ බඩු බාර දෙවිවරුන්ට ලැජ්ජාවක් කියා එකක් තිබුනේ ද නැත.
කෙසේ වෙතත් මේ බඩු බාර දෙවියන් සියලු දෙනාටම ඒජන්සිවල සිටි සියලුම පිරිමි පරාණ ඉරිසියා කළ බවත්, ඉදිරියටත් කරන බවත් ඉර හඳ පවතින තෙක් පවතින්නා වූ සත්‍යයකි.
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
Thrleader.lk
