බැරි නැති බව පෙන් වූ බැරි වුණ තරගයක්

0
603

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමට ආසියාවෙන් අවස්ථාව දිනා ගැනීමේ සිහිනය පසුපස හඹා යාමේදී ශ්‍රී ලංකාව වැනි රටක ප්‍රබලම ඉලක්කය වන්නේ ලෝකයේ ශ්‍රේණිගත කිරිම් හී වැටී සිටින පහළ තැනින් යම් ආකාරයක පිම්මක් ඉහට එන්නට උත්සාහ කිරිමය.එහෙත් පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර වශයෙන් තහනම්ව පිඩාවෙන් සිරව සිටි ලාංකේය පාපන්දුව ජාත්‍යන්තර පිටියට සුදුසු ලෙස ක්ෂණයකින් සකස් කිරීමේ පෙළහර අපේක්ෂා කළ නොහැකිය.එ’නමුත් ඉතා සුළු කාලයකින් ජාත්‍යන්තර පිටිය ස්පර්ශ කරන ක්‍රීඩකයන්ද කැඳවමින් යේමනය හා සටන් වදින්නට සකස්වීම සුළු කොට නොසැළකිය යුතු ඇගයිය යුතු කරුණක්ය.
කිසිම ක්‍රිඩාවක් නිරන්තර පුහුණුවකින් තොරව ඉහළ මට්ටමෙන් පවත්වාගෙන යා නොහැකිය.ඇඟේ තිබුණා කියා රටක් තවත් රටක් හමුවන විට ඒ අභියෝගයට මුහුණ දීම පහසු නැත.සවුදි අරාබියේ අබා ක්‍රිඩාංගණයේදී වසර ගණනකට පසු ජාත්‍යන්තර පිටියට පා තැබුව ශ්‍රි ලංකා කණ්ඩායමට බැරි වුණේ බැරි නිසා නොව,පුහුණුව සහ ඊට අවශ්‍යය පසුබිම නොතිබුණ නිසාය.


හුදෙකලා පුද්ගලයන් ලෙස තමන් තමන්ව කළමනාකරණය කර ගැනීම තරමට කණ්ඩායමක් ඇතුළත වැඩ බෙදා ගෙන සැළසුමකට ක්‍රියාත්මක කිරීම පහසු නැත.එකිනෙකා මනසින සහ කයින් දක්ෂතාවලින් සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍යය සාමූහික අවබෝධය අතිශයින් වැදගත්ය.රිද්මය එකිනෙකා අතර හුවමාරු වන ඒකාත්මික මෙහෙයුමක තබා ගැනීම පාපන්දුව වැනි ක්‍රීඩාවකදී අතිශයින් වැදගත් වන අතර තරගය පුරාම මේ අන්තර් සම්බන්ධයේ දුර්වලතා දකින්නට ලැබිණි.


පියෙන් පියට පාපන්දුව හුවමාරු විය යුත්තේ එකෙකුගෙන් අනෙකාට සේ හුස්ම වන්ව වුව ද.ඊයේ දකින්ට ලැබුණේ එවැනි උත්සාහයකට මහන්සි වන කණ්ඩායමක හිස් අවකාශයට මුසුවන හුස්මය.තනිව පන්දුව පාලනය කිරිම අතින් විශාල අඩුවක් නොපෙන් වුව ද,අන්තර් සම්බන්ධතාවය ගිලිහී යාමේ ගැටළුව තදින් දකින්නට තිබිණි.ඒ නිසාම ශ්‍රී ලංකාවට එරෙහිව යේමනය ලබා ගත් ගෝල් තුනෙන් අඩුම ගණනේ දෙකක් නවතා ගන්නට තිබිණි.අවශ්‍යය ආරක්ෂක පෙළ සබඳතාවය ඒ වෙනුවෙන් සකස් වී නොතිබිණි.එසේම යේමනයට එරෙහිව යේමනය ලබා ගත් ප්‍රමාණයටම ගෝල ලබා ගැනීමේ ඉඩ ද ඇහිරිණි.එය ද සබඳතාවය පළුදු වීමේ ප්‍රතිපලයක්ය.


නමුත් ඊ ළඟ හමුවීමට තව සුළුවෙන් හෝ තිබෙන කාලය පලදායි කර ගැනීමට හැකියාවක් ඇත.එය ශ්‍රී ලංකාවේ පැවත්වෙන විට ලැබෙන භූමියේ වාසිය මෙන්ම දිරිදීම් ද ශ්‍රී ලංකාව පැත්තට වැදගත්ය.නමුත් වැදගත්ම දේ කණ්ඩායමක් හැටියට පෙන් විය යුතු ඒකාබද්ධ මෙහෙයුම සහ එහි රිදමයය.ඒ සඳහා වැඩි අවස්ථාවක් යොදා ගැනීමෙන් ඉනික්බිති පෞද්ගලිකව කණ්ඩායමට සිය හැකියාවෙන් දෙන දායකත්වය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට යේමනයට අභියෝග කිරීම අපහසු නැත.ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 204 වන තැන ද යේමනය 156 වන තැන ද සිටින බව සැබෑය.ඒ ඉලක්කම්වල අගය අනුව තරගයේ ජය පරාජය තීරණය වන්නේනම් තරග පැවත්වීම පලක් නැත.නමුත් ලෝකයේ ශ්‍රේණි මෙන්ම ජය පරාජයද මොහොතින් මොහොත වෙනස්වන සුළුය.පාපන්දු මෙතරම් ආශ්චර්යමත් විනාඩි 90 ක් ලෙස ලෝකයේ බහුතරය වැළඳ ගන්නේ එබැවින්ය.


තරගයට පෙරාතුව ශ්‍රේණි ලෙස තිබෙන ඉලක්කම් නොසළකා තරගයෙන් පසුව කණ්ඩායම් ඉදිරියේ සටහන් වන ගෝල ප්‍රමාණයට අදාළ ඉලක්කම් ජයග්‍රාහකයා සහ පරාජිතයා තීරණය කරන බව මෙනෙහි කරන්න.බැරි නැත.නමුත් බැරි විය.වැදගත් ඒ බැරිකම වෙනස් කරගෙන හැකි බව පෙන්විමය.ඔත්තෝම්බර් 17 වන දින ශ්‍රී ලංකාවේ පාපන්දුවට ආදරය කරන මිනිස්සු ඒ සඳහා සිය හඬින්,හඬ නැඟෙන දෑත්වල ශබ්දයෙන් ඒ වෙනුවෙන් කොළඹ තුරඟ තරග පිටිය පුරවනු ඇත.එයට සාධාරණය ඉටු කරන්න මේ දින කිහිපය වෙහෙසෙන්න.බඩට නොකන මිනිස්සු පවා පාපන්දුව ආදරයෙන් සිප ගන්න බව සිතන්න.ඔවුන්ගේ දුප්පත්කමෙන් තැවෙන හිත්වලට හිනාව ගේන විශ්මිත හැකියාව ඇත්තේ පිටියට බසින ක්‍රිඩකයන්ගේ දෙපාවල බව ඔවුන්ට කියන්න.පාපන්දු ක්‍රීඩාවක් නොව දේශපාලනයක්ය.මිනිස්සු සතුටු කළ හැකි විජ්ජාවක්ය.මැදුරුවලට වඩා පැල්පත්වලට සතුට දනවන දුප්පත්කමට සතුට මුසු කරන ආස්වාදජනක මොහොතක්ය.


අපි ශ්‍රි ලංකා පාපන්දුව නැවතී නොතිබි බව පෙන්විය හැකි මට්ටමට සවුදි අරාබි පිටියේ වැරදි අඩු පාඩු ඇතිව හෝ දක්ෂතා දැක් වූ පාපන්දු ක්‍රීඩකයන්ට සුබ පතන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ