*
Thursday, September 26, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 37: නටපු මිස්, ප්‍රේමම් සහ සංස්කෘතික හිරිපොද වැස්ස.

අන්තිමේදී මිස් නැටුවා. සාන්ත දාන්ත මිස් විදුලියක් වගේ ඒ විදිහට නටයි කියල ජෝජ් ජීවිතේට හිතුවෙ නැහැ. ජෝජ් විතරක් නෙමෙයි ඉස්කෝලේ අනිත් ළමයින්වත් ගුරුවරුන්වත් හීනෙකින්වත් හිතුවෙ නැහැ, නිහඬ තැන්පත් මලර් මිස් ඇතුළෙ ඒ තරම් ක්‍රියාකාරී ගැහැණියක් හැංගිලා ඉඳියි කියල. ඒ තරම් ලස්සනට මිස් නැටුවා. ජෝජ්ගෙ හිතේ මලර් මිස් ගැන තිබ්බ ආදරේ ඒ නැටුමෙන් පස්සෙ තවත් වැඩිවුණා.නටපු මලර් මිස් සහ සිසු ජෝජ් හිටියේ මීගමුව කදිරානේ නෙමෙයි දෙදහස් පහළොවේ තිරගත වුණු `ප්‍රේමම්` නම් මලයාලම් චිත්‍රපටයේ.

ගුරුවරියක සහ උසස් පන්තියක සිසුවකු අතර ඇතිවන ආලවන්තකම වටා දිගහැරුණු ප්‍රේමම් කියන්නේ කලාතුරකින් විඳින්න පුළුවන් වෙන සිනමාත්මක මිහිරියාවක්. චිත්‍රපටි බොහොමයක මිස්ලා නටලා ඇති. හිරිපොද වැස්ස චිත්‍රපටයෙත් ලස්සන මිස් කෙනෙක් අනුරාගී නැටුමක් නැටුවා. මරු ඒ නැටුම.

ලියුම්කරු හතේ අටේ පන්තිවල සිටියදී, පාසලට අලුතෙන් ආ අභ්‍යාසලාභී ගුරුවරියන් කීප දෙනෙක්ගෙන් උසස් පෙළ අයියලාගේ මනෝලෝක ඒකාලෝක වූ බව එවකට මල්ලිලාට හොඳින් මතකයි. ඒ ආලෝකය එළියට පෙනෙන්නට තරම් විහිදුණු එකක් බව කිව යුතුයි. අයියලාගේ පාසල් සාදවලදී, රූකාන්තගේ අංගනාවෝ ගීතයේ රූපිකාවෝ කොටස, රූපිකා මිස් යනුවෙන් වෙනස් කොට ගැයුණු හැටි දැක, මල්ලිලාගේ පොඩි හිත් පවා විකසිත වුණා සත්තයි.

නව යොවුන් දරුවන්ට නොව ඊටත් කුඩා දරුවන්ට මව්වත් සිතින් සින්දු කී සෙනේවන්ත සිනෙ ගුරුවරියක් සාරවිටේත්, හෝ ගානා පොකුණේත් හිටියා. ශෝබනී අමරසිංහ ; “අහස සිඹින ගිරි කඳුරු – පොළොව තෙමන වැව් සයුරු – මුහුද අවට බැඳි පවුරු – එරට අසිරි සිරි එයුරූ“ යන ගැයුමට රඟා, අඩ සියවසකට පස්සේ, “කවදාවත් මුහුදක් නොදැකපු අයටයි – මේ ඇරයුම හීන දකින හැමටයි – රොකට් එකේ තව ඉඩකඩ බොහොමයි – එන්න යන්න මුහුද අපේ ළඟමයි“ යන ගැයුමට අනසුයා සුබසිංහ රැඟුවා.  ඒ සියල්ලෙන් පසු දවසක, ලෝක ළමා දිනය දා ගුරුවරියක ළමුන් සමග එක්ව නැටුවාම ලංකාවේ ගතානුගතික ගුවන් තොටිල්ල සසල වෙන්නේ ඇයි ?

ඒ නැටුම ජනප්‍රිය ධාරාවේ සංකේතාත්මක එකක් නොවී පැරණි පන්නයේ එකක් වූවා නම් ඔච්චරම මෙව්වා එකක් නොවෙන්නත් තිබුණා. ඇත්තටම කිව්වොත් ඒ නැටුම ටිකක් සෙක්සියි.  කට්ටියට උහුලාගන්න බැරි තැන අන්න එතැනයි. සංස්කෘතික වශයෙන් අප ඉදිරියට යන වේගය එක්ක බැලුවාම දුර්වලම ගොළුබෙල්ලා පවා අධිවේගියි. මිස් කෙනෙක් නටන එක දරාගන්න බැරි තරම් සෙත්සිරිපායේත් තවත් බොහෝ පායවලත් ලිලිපුටු පුටු, ලෝක දැක්මෙන් දිරාපත් සහ ජරාපත්.  ලෝකයක් තරු සැණකෙළිවල විනෝදයෙන් ජීවත්වෙනකොට අපි තාම ගුල්ලන් ගැසූ හණමිටි ඔතමින් පිළිකණුවල. කණගාටුයි.

ගුරු නැටුම ආරක්ෂා කළේ සමාජ මාධ්‍ය හඬ. “නටපු ගුරුවරුන් එදා නිකුත් කළ පළමු සංඥාව වූකලි අතිශය විභාග කේන්ද්‍රීය, රෙජිමේන්තුගත, ‘විනයගත,’ රාමුගත, අධ්‍යාපන ක්‍රමයකින් දවසකටවත් නිදහස් වීම මොන තරම් නම් ප්‍රීතියක්ද යන්නයි…අවශ්‍ය නම් අර ගුරුවරිය වෙනුවෙන් අපි තව දවසක ලංකාව පුරා නටමු“ මහාචාර්ය ලියනගේ අමරකීර්ති එහෙම කියනකොට ජයන්ත කහටපිටිය මෙහෙම ලිව්වා. “මම දුන්නෙ කිස් එකයි සිංදුවට පාසලේ නටන්න ඉඩ ලැබෙන දිනයක් එන කම් බලාගෙන ඉන්නවා. ලංකාවට සිප ගැනීම හඳුන්වලා දෙන්න ඕනි. සුද්දො දළඹුවො කාලෙ ඇරලා ගිය හැව පොරවාගෙන ඉන්න අය රිදවා ගන්න එපා. ඔයත් සමනලයෙක් වෙන්න.“ මේ සටහන් කළේ ලොකු අදහස් ගොන්නකින් දෙකක් විතරයි.

සමාජ මාධ්‍ය මතවාදී අරගලයෙන් විනය පරීක්ෂණ ලියුම පස්සට ගියත් විවෘත මනසක් සහිත සංස්කෘතික මිනිහෙක් හදන වැඩේ පිමි ගණනාවකින් ඉස්සරහට ගත යුතුය කියන අදහස යළි යළිත් තහවුරුයි. එනිසාම අර කණගාටුවෙන් නොනැවතී සමාජ සතුටක් වෙනුවෙන් වැඩි වැඩියෙන් වැඩකරන්නට අවශ්‍යයි. මේ බිම සංස්කෘතික කතරක් වෙනවාට පතොක් දේශපාලනය එක්වරට සියවරක් කැමතියි. අන්න ඒ නිසා, වහින්නට ඕනෑ මේ කාන්තාරයට සිරිපොද වැහි දහසක්. මොකද කියන්නේ…? අපි වෙමු ඒ වැස්ස වස්සවන සටන්කාමී සෞන්දර්යවාදී අහසක් !

විමල් කැටිපෙආරච්චි  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan