මා තෙමා ගිය ෆාතිමාවිය
රම්‍ය සුරම්‍ය සුබ
තරම් ය මට නුඹ
මා ළඟා කරගත්
මාළිගා කවදත්
හැරගියත්
අතැර නොයමි
නිතර සොයමි
විහාරෙදී ලිහා රෙදි
සඳක් මත වැතිරුණා
මීවදයක් මිරිකුණා
සිල් පදයක් හිනැහුණා
මහණ වුණු පහන පිරිනිවුණා
සල් වනේ මල් සෙලවුණා
හඳුන්කුරක් දැල්වුණි
දෙව් බඹුන් සාදු නද දුණි
ඔච්චර හෙමින් ඇයි කොඳුරන්නේ
අඳුර නැත අප අදුරන්නේ
කන්ථක ඈතක මුරට උනි
සන්කොට මුවින් ඔහු නික්මුණි
කතාවේ කෙළවර
ගැලූයේ කළුවර
ඉන්පසු තබා අඩි ඉක්මන්
කළාය ඈ අභිනික්මන්
පෝය ගෙවේ අමාවකි
තිතක් වගේ කොමාවකි
ඒ මැද ෆාතිමාවකි
සර්ධාව නැති
ෆර්දාව නැති
ප්‍රේමයේ ප්‍රතිමාවකි
උපුටා ගැනීම
තැන්නේ ඤාණානන්ද හිමිගේ ”පන්සලේ මල්සරා” කාව්‍ය කෘතියෙන්
