සටහන : සශිකලා මධුෂාණී
ශ්රී ලාංකේය සිනමාවටත්, ගීත සාහිත්යයටත් සිය නිර්මාණශීලී දායකත්වය ලබාදුන් ප්රවීණ ගේය පද රචකයකු, තිරපිටපත් රචකයකු සහ චිත්රපට අධ්යක්ෂවරයකු වූ සෝමපාල ලීලානන්ද මහතා අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට 82 වැනි වියේ පසුවූ ඒ මහතාගේ අභාවය මෙරට කලා ක්ෂේත්රයට මෙන්ම ඔහුගේ නිර්මාණ රසවිඳි රසික ජනතාවට ද සංවේගජනක පුවතකි.
සෝමපාල ලීලානන්ද මහතාගේ දේහය පොල්ගස්ඕවිට, පාලගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ඔක්තෝබර් 16 වැනි සිකුරාදා එනම් අද සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.
පරම්පරා ගණනාවක රසික හදවත් තුළ මතකයේ රැඳුණු ජනප්රිය ගීත රැසක නිර්මාණකරුවකු වූ සෝමපාල ලීලානන්ද මහතා රචනා කළ ගීත අතරින් කිහිපයක් මෙසේය.
- “අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා”
- “පාට පොදක් තිලකලා නළල් තලාවේ”
- “පෙම් රස වෑහෙන මංගල ගීතේ”
- “බඹරා වගේ මට තවම විසේ”
- “පෙම්වතියන්නේ”
- “බිළිඳුනේ දරුවනේ”
- “වාසනාව දොර ඇරලා”
- “කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා”
- “සිටු මැදුරේ හෝ පුංචි පැලේ”
- “නිල්ල නඟන ස්වර්ණ කිකිණි රාවේ”
- “සැරයටියෙන් අපි යනෙන තුරා”
මෙම ගීත අදටත් ශ්රී ලාංකේය සංගීත රසිකයන් අතර ජනප්රියත්වය රඳවාගෙන තිබේ. ප්රේමය, මව් සෙනෙහස සහ ජීවිතයේ විවිධ සංවේදී අවස්ථා ගී පද ඔස්සේ ප්රකාශ කිරීමට ඔහු දැක්වූ හැකියාව මෙම නිර්මාණ තුළින් මැනවින් පිළිබිඹු වේ.
පුවත්පත් කලාවේ සිට සිනමාව දක්වා
සිය වෘත්තීය ජීවිතය පුවත්පත් කලාවෙන් ආරම්භ කළ සෝමපාල ලීලානන්ද මහතා පසුව ගුවන්විදුලි පිටපත් රචනය, ගීත රචනය, චිත්රපට දෙබස් සහ තිරපිටපත් රචනය මෙන්ම චිත්රපට අධ්යක්ෂණය දක්වා සිය නිර්මාණශීලී හැකියාවන් පුළුල් කළේය.
ඔහු අධ්යක්ෂණය කළ “චණ්ඩි පුතා”, “බඹර පැටික්කි”, “මුල්ලේරියාව” සහ “ආත්මා” වැනි චිත්රපට ඔහුගේ සිනමා මෙහෙවරේ වැදගත් නිර්මාණ අතරට එක් වේ.
එසේම ප්රවීණ චිත්රපට අධ්යක්ෂ සේන සමරසිංහ මහතාගේ චිත්රපට සඳහා තිරපිටපත් සහ ගීත රචනා කරමින් ද සෝමපාල ලීලානන්ද මහතා සිංහල සිනමාවට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබේ.
කලාකරුවකුගේ ජීවිතය අවසන් වුවද ඔහු නිර්මාණය කළ ගීත, චිත්රපට සහ වචන සමාජය තුළ දිගු කලක් ජීවමානව පවතී. සෝමපාල ලීලානන්ද මහතා ද එවැනි නිර්මාණකරුවෙකි.
ඔහු රචනා කළ ගී පද හරහා ප්රේමයේ සුන්දරත්වය, මව් සෙනෙහසේ ගැඹුර සහ ජීවිතයේ විවිධ සංවේදී අවස්ථා රසික හදවත් තුළ සටහන් විය. දශක ගණනාවක් පුරා ශ්රී ලාංකේය කලා ක්ෂේත්රය පෝෂණය කළ සෝමපාල ලීලානන්ද මහතාගේ නාමය ඔහුගේ නිර්මාණ ඔස්සේ ඉදිරි පරම්පරාවන් අතර ද රැඳී පවතිනු ඇත.
ප්රවීණ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව!

