“අපි එක අරමුණකට පොදි බැඳ වසර කිහිපයක් වැඩ කරමු. සහතික වශයෙන්ම අපි අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගත හැකියි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු’ – ජනපති අනුර

0
481

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW :

නව පරිවර්තනයක් වෙනුවෙන් රජය තැබූ ප්‍රගතිශීලී පියවර ඉදිරියට ගෙන යාමේ වාහකයන් සහ ආරක්ෂකයන් වන්න
ජනපති සමස්ත ගුරු පරපුරෙන් ඉල්ලයි.

තමන්ට අහිමි වූ අනාගතය තම දරුවන්ට උදා කර දීම වෙනුවෙන් සිහින දකින දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉටු කරනවා
අපට අවශ්‍ය දියුණු ධාරිතාවක් සහිත මානව සම්පතක් ගොඩනැඟිය හැකි නව අධ්‍යාපන පරිවර්තනයක්
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා

වත්මන් රජය බලයට පත් කර ගැනීමට එදා මහා සක්‍රීය බලවේගයක්ව ක්‍රියාත්මක වූ අයුරින්ම රටට අවශ්‍ය නව පරිවර්තනය වෙනුවෙන් වසර කිහිපයක් එකට වැඩ කරමු’යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ගුරු පරපුරට ඇරියුම් කළේය.
අධ්‍යාපනයේ පමණක් නොව රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලී වෙනසකට අවශ්‍ය පියවර රජය මේ වන විට තබා ඇති බවත්, එම පරිවර්තනීය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ශක්තිමත් වාහකයන් සහ ආරක්ෂකයන් වන ලෙස මෙරට ගුරු පරපුරට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (17) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ‘රට නඟන ගුරු පවුර’ ලංකා ගුරු සේවා සංගමයේ අභිමානවත් ජාතික සමුළුව අමතමිනි.


අධ්‍යාපනය රටේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් කර ගෙන ඇති වර්තමානයේ පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක සිහිනය මල්ඵල ගැන්වීම වෙනුවෙන් ගුරු, විදුහල්පතිවරුන් ලෙස කොන්දේසි විරහිතව පෙනි සිටීම අවධාරණය කරමින් පැවති මෙම සමුළුවට මුළු දිවයිනම ආවරණය කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරු විශාල පිරිසක් එක්ව සිටියහ.


මෙම සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව විසින් ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවත්, එහි එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බවත්ය. එබැවින්, අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ගුරුවරුන්ට ඇරියුම් කළේය.


ඉතාමත් දියුණු ධාරිතාවක් සහිත මානව සම්පතක් ගොඩනැඟිය හැකි අන්දමින් අධ්‍යාපනයේ නව පරිවර්තනයක් වෙනුවෙන් රජය කැප වී සිටින අතර, පාසල් පද්ධතියේ නව ස්ථානගත කිරීමක් වෙනුවෙන් කටයුතු කරන බවත්, වෘත්තීය පුහුණු අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයම දියුණු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
තමන්ට අහිමි වූ අනාගතය තම දරුවන්ට උදා කර දීම වෙනුවෙන් සිහින දකින දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉටු කිරීම මෙම සියලු කාර්යවල අපේක්ෂාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ රටේ පුරවැසියන් එකඟ නොවන කිසිදු නීතියක් වත්මන් රජය යටතේ පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවද අවධාරණය කළේය.


අද රටේ දරු පරපුර මෙන්ම, තරුණ පරපුරද ගිල ගනිමින් සිටින මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමට රජය දැඩි පරිශ්‍රමක නිරතව සිටින බවත්, ඒ වෙනුවෙන් විවර කළ යකඩ දොර කෙතරම් භයානක තත්ත්වයක් හමුවේ වුවද කිසිසේත් යළි වසා නොදමන බවත් මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, තැබූ පියවර ඉදිරියටම යමින් මෙරට අනාගත පරපුර වෙනුවෙන් මත්ද්‍රව්‍ය උවදුර විනාශ කර දැමීමට ගත හැකි සියලු පියවර ගන්නා බවද අවධාරණය කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,


ලංකා ගුරු සේවා සංගමයේ සමුළුව පැවැත්වෙන අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. මීට පෙරත් අවස්ථා කිහිපයකදී මම මෙම සමුළුවට සහභාගී වී තිබෙනවා. හැබැයි, ඒ සෑම අවස්ථාවකම අපේ අරමුණ බවට පත් වුණේ, ගුරුවරු ලෙස මුහුණ දී සිටින ගැටලු මෙන්ම රටක් ලෙස මුහුණ දී සිටින ගැටලු තේරුම්ගෙන එම පරිවර්තනය සඳහා අවශ්‍ය බලවේගයක් ගොඩනැඟීමයි.
ඒ නිසා මීට පෙර සෑම සමුළුවකම අවධාරණය කළේ බලය අත්පත් කර ගැනීම සඳහා අපි පෙළ ගැසෙන්නේ කෙසේද කියලයි. මීට වසරකට පෙර අප ඒ කාර්යභාරය අවසන් කර තිබෙනවා. එහි ප්‍රමුඛතම කාර්යභාරය අපේ රටේ ගුරුවරු-ගුරුවරියන් විසින් සිදු කළා. බිය ගැන් වී සිටි සමාජය අවදි කරන්න ඔබ විශාල කාර්යභාරයක් සිදු කළා. පැවති පාලනය බිඳ දැමීමේ පළමු කුළු ගෙඩි පහර එල්ල කළේ අපේ රටේ ගුරුවරු-ගුරුවරියන්.


අද අපි මේ සමුළුව පවත්වන්නේ බලය අත්පත් කර ගත් ව්‍යාපාරයක සමුළුවක් ලෙසයි. එදා තිබූ අභියෝග, අපේක්ෂා සහ අද තිබෙන අභියෝග, අපේක්ෂා අතර ඉතා බරපතළ වෙනස්කම් තිබෙනවා. පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව අපට බලය ලබා දීමේදී ඔවුන් තුළ විශාල අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් සහ අරමුණක් තිබුණා. දැන් ආණ්ඩුව ලෙසත්, වැඩකරන ජනතාව ලෙසත් අප වෙත පැවරී ඇති කාර්යභාරය වන්නේ මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාස තබා ලබා දුන් එම බලය ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙහෙය වීමයි. ඒ වෙනුවෙන් අපි විශාල වැ
ඩ කොටසක් ආරම්භ කර තිබෙනවා. අවසානයේ අපිට සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත හැකියි.

අපි කවුරුත් දන්නවා දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක, දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කළ දේශපාලන සංස්කෘතියේ ප්‍රතිවිපාක, දීර්ඝ කාලයක් අපේ රටේ තිබූ නීතියේ ආධිපත්‍යයේ බිඳ වැටීමේ ප්‍රතිවිපාකවලට රටක්, ජනතාවක් ලෙස අපි පසුගිය කාලයේ මුහුණ දුන්නා.


අපි සතුව තිබෙන අභියෝගය පළමුව අපේ රටේ ඉතා ශක්තිමත් සහ ස්ථාවර ආර්ථික පදනමක් නිර්මාණය කර ගැනීමයි. හැබැයි, නීතියේ ආධිපත්‍යය තහවුරු නොකර, ගැටුම්වලින් තොර සමාජයක් නිර්මාණය කරන්නේ නැතිව ආර්ථිකය පමණක් ඉලක්ක කර ගෙන රටක් ගොඩනැඟිය නොහැකියි. ඒ නිසා ආර්ථිකය ගොඩනැඟීමත් ඊට අදාළ පදනම සකස් කිරීමත් අපේ මූලික වගකිමක්.
බොහෝ අය සිතාගෙන සිටියා තමන්ගේ රැස් වළල්ල විසින් හෝ තම බලය අරෝපණය කර ගෙන තිබෙන පවුල් පසුබිම නිසා හෝ තමන් කෙරෙහි නීතිය ළඟා වෙන්නේ නැහැ කියලා. හැබැයි, අපි සමාජයට ඔප්පු කරමින් තිබෙනවා නීතියට ළඟා විය නොහැකි කිසිවෙකු ලංකාව තුළ නැහැ කියලා. සියලු දෙනාම නීතියට යටත්. ඒ වගේම දේශපාලන සංස්කෘතියේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුයි. ඊට සමගාමීව ආර්ථිකයේ ස්ථාවරභාවයක් සහ වර්ධනයක් අත්පත් කර ගත යුතුයි.


අද බොහෝ අය කියනවා 2028 වසරේ අපි ණය ගෙවීම ආරම්භ කළ යුතුයි, හැබැයි, 2028දී මේ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වෙයි කියලා. ඒ නිසා 2028දී ණය ගෙවිය හැකි, ඊට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැඟීම අපේ න්‍යාය පත්‍රයේ කොටසක් කරගෙන තිබෙනවා. එහිදී වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ලංකා ඉතිහාසයේ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව වැඩිම ආදායම ලබා ගන්නා වසර බවට මේ වසර පත් කළ හැකියි. ක්‍රමානුකූලව ණය ගැනීම අඩු කරමින් ස්වශක්තියෙන් රට ගොඩනැඟීමට අවශ්‍ය අඩිතාලම අපි දැන් සකස් කරමින් තිබෙනවා.


එහිදී අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. පසුගිය කාලයේ අපේ රාජ්‍ය සේවය සැලකිය යුතු ප්‍රමාණයකින් දේශපාලනීකරණයට ලක්ව තිබුණා. සමහර රාජ්‍ය ආයතන ගොඩනැගුණේ සහ ගොඩනැගිලි ඉදිකෙරුණේ දේශපාලන අරමුණු වෙනුවෙන්. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට නම් එය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ යුතුයි. ඒ අනුව, දීර්ඝ කාලයකට පසුව අපි රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප අදියර තුනකින් වැඩි කිරීමට පියවර ගත්තා. ඒ වෙනුවෙන් රජය 2025 වසරේ වැටුප් වැඩි වීම ගෙවීමට පමණක් රුපියල් කෝටි 11,000ක් වැය කර තිබෙනවා. ඒ අනුව 2025, 2026,2027 වසර තුන සඳහා රුපියල් කෝටි 33,000ක් දරනවා. වැටුප් වැඩි වීමෙන් පමණක් නොවිසඳෙන වැටුප් විෂමතා තිබෙනවා. අපි ඒ කෙරෙහිත් අවධානය යොමු කර වැටුප් විෂමතා අවම කිරීම සඳහා කඩිනම් පියවර ගන්නවා.
මා දන්නවා ගුරු විශ්‍රාම වැටුප් ලාභීන්ගේ විශ්‍රාම වැටුප් අතර විෂමතාවක් තිබෙනවා. 2020 වසරට පෙර විශ්‍රාම ගිය සියලු දෙනා 2020 වසරේ වැටුපටත්, 2025 ජනවාරි 01 වනදා සිට විශ්‍රාම යන සියලු දෙනාට 2027 වැටුපටත් විශ්‍රාම වැටුප ගණනය වෙනවා. හැබැයි, ගුරුවරුන්ගේ විශේෂ කණ්ඩායමක් සිටිනවා 2022 විශේෂ වැටුප් වැඩිවීමක් සිදු වූ. එම විෂමතා විසඳනවා. ඒ සඳහා කාලයක් අවශ්‍යයි. ක්‍රමානුකූලව පියවරෙන් පියවර ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කරමින් තිබෙනවා.


ඒ වගේම අපි දියුණු මානව සම්පතක් ගොඩනැඟිය යුතුයි. ඒ නිසා ඉතාමත් දියුණු ධාරිතාවක් සහිත පුරවැසියෙක් ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් අවශ්‍යයි. එහිදී අපි වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම ශක්තිමත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන 25ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයේ අඛණ්ඩතාව ඇති කිරීම වෙනුවෙන් අපි අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සිදු කරනවා.


ඒ වගේම පාසල් පද්ධතියේ බෙදීම් අපි ඉවත් කළ යුතුයි. අතිදුෂ්කර, දුෂ්කර සහ හුදෙකලා පාසල්වල ගුරුවරුන් වෙත ලබා දෙන දීමනාවේ යම් වැඩි වීමක් සිදු කිරීමට අපි මෙවර අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. පාසල් පද්ධතියේ නවීකරණයක් අවශ්‍යයි. එහිදී විශාල ප්‍රතිවිරෝධතා මතු විය හැකියි. ඒ වුණත්, අපි පාසල් පද්ධතියේ නව ස්ථානගත කිරීමක් වෙනුවෙන් කැප වෙනවා. ඒ වෙනුවෙන් ඔබේ සහාය අපට අවශ්‍යයි. මේ රටේ සෑම දෙමාපියෙකුටම සිහිනයක් තිබෙනවා. ඒ මට වඩා හොඳ අනාගතයක් මගේ දරුවාට හිමි විය යුතුයි කියලා. අපේ අපේක්ෂාව එම දෙමාපියන්ගෙන් ප්‍රාර්ථනා ඉටු කිරීමයි. ඒ නිසා එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.
ඒ වගේම පනත් සංශෝධනයක් පිළිබඳ යම් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. එහෙත් එම පනත පාර්ලිමේන්තුවේ සම්මත වී නැහැ, නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නොවෙයි. නීති හදන්නේ පොදු පුරවැසියන් වෙනුවෙනුයි. පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සහතික වෙනවා. පාලකයන්ගේ අවශ්‍යතාවට නීති හදපු සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙනවා.


ඒ වගේම, අපේ රටේ දරුවන් මුහුණ දී තිබෙන විශාලම ගැටලුව බවට මත්ද්‍රව්‍ය පත්ව තිබෙනවා. ඒ වගේම, හිරිමල් වයසේ දරුවෝ වේගයෙන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙමින් තිබෙනවා. එය විශාලතම සමාජ ඛේදවාචකයක්. ජාති, ආගම්, කුලමල ආදී කිසිදු භේදයකින් තොරව මහා සැඬ සුළඟක් වගේ අපේ තරුණ පරපුර විනාශ කරමින් මේ මත්ද්‍රව්‍ය පැතිර යමින් තිබෙනවා. මෙය අනිවාර්යයෙන් නතර කළ යුතුයි. මත්ද්‍රව්‍ය සහ අපරාධ කියන යකඩ දොර අපි විවෘත කළා. එය විවෘත කර බලන විට අපි හිතනවාටත් වඩා භයංකාර චිත්‍රයක් පෙනෙන්නට තිබෙනවා. රාජ්‍යය, දේශපාලන අධිකාරිය, නීතිය පිළිබඳ උත්තරීතර තැන් අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා. අපිට මේ දොර යළි වසා දමා නිහඩව සිටිය හැකියි, නැතිනම් දොර විවෘත කර අප තැබූ මේ පියවර ඉදිරියට ගෙන යා හැකියි. අපි ආණ්ඩුවක් ලෙස තීරණය කර තිබෙනවා මේ දොර නැවත වසා නොදමා ඉදිරියටම ගොස් මෙම ව්‍යසනය අවසන් කරනවා කියලා. උගත්, දැනුවත් අනාගතය පිළිබඳ විශ්වාසයක් තැබිය හැකි දරු පරපුරක් නිර්මාණය කරනවා නම් මේ කාර්යභාරය ඉටු කළ යුතුයි. ඒ නිසා මත්ද්‍රව්‍ය උවරදුර විනාශ කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.

ඒ වගේම සමාජයක් සෑම විටම අලුත් පරිවර්තන දෙස සැකයෙන් බලන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය මිනිසුන්ගේ ලක්ෂණය පුරුද්දට ඇබ්බැහි වීමයි. වෙනස්කම්වලට බිය වෙනවා. හැබැයි මේ වෙනස්කම් අපි ඉදිරියට ගෙන යා යුතුයි. මේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලි වෙනස්කම්, ඉදිරිගාමී වෙනස්කම්වලට අවශ්‍ය පියවර අපි තබා තිබෙනවා. එම පියවර ඉදිරියට ගෙන යාමේදී එදා බලය පිහිටු වීම සඳහා මහා සක්‍රිය බලවේගයක් වූ ලෙසම මෙම ප්‍රගතිශීලි, ඉදිරිගාමී පියවර ඉදිරියට ගෙන යාමේ වාහකයන් සහ ආරක්ෂකයන් බවට ඔබ පත් විය යුතුයි.
අපේ ආණ්ඩුව ගනු ලබන කිසිදු තීන්දුවක්, අපේ ආණ්ඩුව සම්මත කරන ලද කිසිදු පනතක් හෝ කිසිදු ව්‍යාපෘතියක් පුද්ගලිකව මගේ හෝ අපේ අමාත්‍ය මණ්ඩලයේ හෝ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන ඒවා නොවෙයි. ඒ සියලු වෙනස්කම් පොදු ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන්. අපේ නිර්ණායකය ජනතාවට ලැබෙන ප්‍රතිලාභයයි. අද ලංකාවේ පළමු වතාවට තමන්ගේ පුද්ගලික පටු අරමුණු වෙනුවෙන් මෙහෙය වූ රාජ්‍යයක් පොදු ජනතාවගේ අරමුණු වෙනුවෙන් මෙහෙය වන රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සෑම තීන්දුවක්ම සෑම තීරණයක්ම පොදු ජනතාව වෙනුවෙන්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා සැකය විමසන්න, අවිශ්වාසයක් තිබෙනවා නම් අහන්න. හැබැයි, ඒ තීරණ වෙනුවෙන් පෙනී සිටින්න. මොකද මෙම පරිවර්තනය සිදු කිරීමට විශේෂයෙන්ම අපේ රටේ ප්‍රබල මතවාදී බලයක් තිබෙන ගුරු පරම්පරාව වන ඔබගේ සහාය අපිට අවශ්‍යයි.


අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පමණක් නොව මේ රටට අවශ්‍ය පූර්ණ පරිවර්තනයේදී ඔබගේ දායකත්වය ඉතා වැදගත්. අපි එක අරමුණකට පොදි බැඳ වසර කිහිපයක් වැඩ කරමු. සහතික වශයෙන්ම අපි අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගත හැකියි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු’යි කියා මම ඔබට ආරාධනා කරනවා


කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම, උප ලේකම් කෝරලසිංහම් ප්‍රකාශ්, ලංකා ගුරුසේවා සංගමයේ මීගමු කලාප ලේකම් චිත්‍රානි මංචනායක යන මහත්ම මහත්මීහුද සමුළුව ඇමතූහ.